[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 53 : යුදඟනාව වෙහෙර

යුදඟනාව වෙහෙර

‘කොටවෙහෙර’ නමින් හඳුන්වනු ලබන මෙය ස්තූප විශේෂයට අයත් ය. මහා සෑයක් බැඳීමට පටන් ගෙන පේසාවළලුවලට ඉහළින් දාගැබ බැඳීම නවතා, සමතලා කොට එහි මැද කුඩා ස්තූපයක් ගොඩනගා තිබීම කොට වෙහෙර නමැති ස්තූප වර්ගයේ විශේෂ ලක්ෂණයකි.

බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා හා චක්‍රවර්ති රජවරුන්ට අයත් ධාතූන් වහන්සේලා තැන්පත් කර ස්තූප (දාගැබ්) නිර්මාණය කිරීම සුදුසු බව මහාපරිනිබ්බාන සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

ඉන්දියාවේ ද, පසු කාලයේ දී මෙම ස්තූප ඉදිකළේ බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා නිධන් කිරීමට පමණක් ම නොවේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ සාරානාතයේ ද දාගැබක් සාදා ඇත. ඒවා ස්තූප, ස්මාරක ස්තූප හෝ ස්මාරක දාගැබ් ලෙසින් හැඳින්වේ. ලංකාවේ ද පුරාණ කාලයේ දී එවැනි ස්මාරක ස්තූප කීපයක් ම දක්නට ලැබේ. ඒවා නම් අනුරාධපුරයේ දුටුගැමුණු රජතුමාගේ දේහය ආදාහනය කළ ස්ථානයෙහි සාදන ලද දකුණු දාගැබ ද, මහාපරාක්‍රමබාහු රජතුමා උපන් ස්ථානයෙහි කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම කොටවෙහෙර හා මහා පරාක්‍රමබාහු රජතුමාගේ මව්තුමියගේ දේහය ආදාහනය කළ යුදගනා දාගැබ ද වේ.

(පැරැණි හෙළ කලා විස්කම් , සිරිසමන් විජේතුංග පි. 114- 115 සමුද්‍ර පොත් ප්‍රකාශකයෝ – 2017)

යුදඟනාව දාගැබ

වැල්ලවාය – මොණරාගල පාරේ වූ බුත්තල නගරයේ සිට වමට පිහිටා ඇති මාර්ගයෙහි සැතපුම් දෙකක් පමණ ගියවිට යුදඟනාව දාගැබ හා ඒ ආශි‍්‍රත පුරාණ නටබුන් දැකගත හැකි ය. ‘කොටවෙහෙර’ නමින් හඳුන්වනු ලබන මෙය ස්තූප විශේෂයට අයත් ය. මහා සෑයක් බැඳීමට පටන් ගෙන පේසාවළලුවලට ඉහළින් දාගැබ බැඳීම නවතා, සමතලා කොට එහි මැද කුඩා ස්තූපයක් ගොඩනගා තිබීම කොට වෙහෙර නමැති ස්තූප වර්ගයේ විශේෂ ලක්ෂණයකි. වඩාත් ප්‍රකට දැදිගම කොටවෙහෙර ද වේ. මෙම දාගැබ සාදා ඇති ගඩොල් පොළොන්නරු රාජධානි සමයට අයත් ය.

(සිංහල දේශික විශ්වකෝෂය – ආචාර්ය සෝමපාල ජයවර්ධන පි. 161- ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ - 1996)

මහා පරාක්‍රමබාහු රජතුමාගේ මව්තුමියගේ නාමය රත්නාවලී බිසව නමින් ප්‍රකට ය. මෙම චේතිය ඉදිකරවන ලද්දේ මහපරාක්‍රමබාහු රජතුමාගේ මෑණියන් වු රත්නාවලී දේවිය ආදාහනය කරනු ලැබූ ස්ථානයේ ය. රත්නාවලී දේවිය රුහුණේ දී කලුරිය කළ බවත්, ඇයගේ දේහය ඛීරගාම නම් ස්ථානයක ආදාහනය කළ බවත් චූලවංශය සඳහන් කරයි. ඛීරගාම යන්න සිංහලෙන් කිරිගම හෝ ගිරිගම හෝ විය හැකියැයි මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා සඳහන් කරයි. එතුමා මේ පිළිබඳ තවදුරටත් පහත සඳහන් පරිදි විස්තර කරයි. මහගම සිට මහියංගනය බලා ගමන් ගත් දුටු ගැමුණුරජුගේ සේනාව බුත්තලින් පසු කිරිගම වාඩි ලා ගත් බව ථූපවංසයේ සඳහන් වේ. එබැවින් රත්නාවලී දේවිය ආදාහනය කරනු ලැබූ ස්ථානය බුත්තලට උතුරින් යුදහමුදාවකට දවසකින් ගමන් කළ හැකි ස්ථානයක් විය යුතු ය. මෙය මාගම සිට රජරටට වැටී ඇති පුරාණ මාවතේ පිහිටි ස්ථානයක් බව එහි වර්තමාන පන්සල් භූමියේ දක්නට ලැබෙන නිශ්ශංකමල්ල රජුගේ ශිලා ලිපියක් සහිත ගව්ත කණුවෙන් ඔප්පුවෙයි. මේ දාගැබ පොළොන්නරුවේ දෙමළ මහා සෑයටත්, දැදිගම සූතිඝර චේතියටත් (මහා පරාක්‍රමබාහු රජු උපන් ස්ථානයේ ඉදිකළ) සමාන වූවකි. පේසා වළලුවලට ඉහළින් පිහිටි දාගැබ් ද මැදින් නිමවා සමතලා කොට එය මැද කුඩා ස්තූපයක් පිහිටුවා ඇත. එහි යොදාගෙන ඇති ගඩොල් පොළොන්නරු යුගයේ භාවිත වූ ගඩොල්වල ප්‍රමාණයේ ඒවා ය. මේ අනුව යුදඟනාවේ දාගැබ මහා පරාක්‍රමබාහු රජතුමා තම මෑණියන්ගේ දේහය ආදාහනය කළ ස්ථානයෙහි ඇය සිහිවීම පිණිස ඉදි කළ දාගැබ විය හැකි ය.

(පුරා විදු පර්යේෂණ මහාචාර්ය සෙනරත් පරණවිතාන පි. 228 විසිදුණු ප්‍රකාශනයකි. 2001)

මෙම ස්ථානය දශක තුනකට පමණ පෙර කඳු ගැටයක් මෙන් දිස්වුණු දාගැබ ඉලුක්, මානා හා එරමිණියා සහ විශාල ගස් සහිත කැලයකින් වැසී තිබුණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 1979 දාගැබ දර්ශනය වන ලෙසට ගොඩනගා දැඩි කැපවීමකින් යුතුව සංරක්ෂණය කර ඇත.

කැලයෙන් වැසුණු දාගැබෙහි පේසාව පළමුව මතුකර ගැනීමට පුරාවිද්‍යා කැණීම් ආරම්භ කරන ලදී. මෙහිදී ගරා වැටුණු පස්, ගඩොල් කැබලි ආදිය ඉවත් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිවලට අනුව පුරාවිද්‍යා කැණීම් සිදුකර ඇත. පැරැණි බැමි කොටස් ඉදිරියට පෙනෙන ලෙසටත්, ඊට පිටුපසින් සංරක්ෂණ බැමි බැඳීමත් සිදුකර ඇත. එම නිසා බැමිවල දෙපස පැහැදිලි ලෙසින් හඳුනා ගැනීමට හැකි ය. පිටතින් ඇති පැරැණි බැමිවල ගඩොල් දෙකක් අතර ඇති කුස්තුර ඉතාම කුඩා වන අතර කාසියක් දැමිය හැකි තරම් කුඩා ය. ඒ අයුරින් සියුම් ව බැමි බැඳීම පිළිබඳ අවධානය යොමු කළ විට එම ගඩොල් අතර මැටි කොටස් ඉතා සියුම් වන අතර, එහි වැලි ,ගල් ප්‍රමාණය ඉතා අඩු තත්වයක ඇත. මෙම මැටි පස්වලින් සියුම් පස් වෙනම වෙන්කරගෙන එම පස් ජලය සමඟ මිශ්‍ර කර ඉතාමත් කුඩා ඝණකමක් සිටින සේ ගඩොල් දෙක මැටි බදාමයෙන් සම්බන්ධ කරනු ලැබේ. බිස්කට් දෙකක් ක්‍රීම් වලින් සම්බන්ධ කරන ආකාරයට සිදුකර ඇති ක්‍රියාවලියක් සේ මෙය දක්නට ලැබේ. මෙම යුදඟනාව දාගැබේ වට ප්‍රමාණය අඩි 944 පමණ වේ. සම්පූර්ණ උස අඩි 95 කි. මෙම ස්තූපය සංරක්ෂණයේ දී මැටි භාවිත නොකරන අතර, ඒ සඳහා සිමෙන්ති, හුනු අළු සහ වැලි ප්‍රමාණානුකූල මිශ්‍රණය කර භාවිත කෙරේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි සිදුකරන ලද පුරාවිද්‍යා කැණීම් වලින් කරඬුවක්, සමාධි බුදුපිළිම තුනක්, දේව හෝ බෝසත් පිළිමයක් ආදිය හමුවී ඇත. පිළිම ගෙයක් ද මෙහි දක්නට ලැබේ.

(ඓතිහාසික යුදඟනාව, ලාල් හෙට්ටිආරච් පි. 9-10 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි -2011)

මෙම දාගැබ අසල පැරැණි ගොඩනැගිල්ලක අත්තිවාරම මත මහනුවර සමයෙන් මෑත ඇරඹි බව සිතිය හැකි විහාරයක් හා ආවාසයක් තිබේ. මහනුවර යුගයේ ගොඩනැගිලිවල මෙන් ඝන බිත්ති බැඳ ඝණකමට ඇති ලීයෙන් උළුවහු සාදා ලෑලි වලින් දොරවල් සවිකොට මෙම ආවාසය තනා ඇත. බුදුගෙය මැටි බිත්තියෙන් තැනූවකි. සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ( 1798- 1815) දී තිබෙන යුදඟනා වෙහෙර සන්නස අනුව බුදුගෙය දහ අට වැනි සියවස අග භාගයට අයත් සේ සැලකේ.

(සිංහල දේශික විශ්ව කෝෂය ආචාර්ය සෝමපාල ජයවර්ධන පි. 162)

නවම් මස පුර අටවක පෝය

නවම් මස පුර අටවක පෝය පෙබරවාරි 01 වන දා සෙනසුරාදා අපර භාග 06.11 ට ලබයි. 02 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම පෙබරවාරි 02 වන දා ඉරිදා ය.

මීළඟ පෝය පෙබරවාරි 08 වන දා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]