[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතය පිළිබඳ නිවැරැදි දර්ශනයක්

ජීවිතය පිළිබඳ නිවැරැදි දර්ශනයක්

මෙම ලිපියෙහි තෙවන කොටස දුරුතු අව අටවක (ජනවාරි 17) පත්‍රයෙහි පළවිය.

පාලි පදයේ පටිච්ච යන පාලි පදය පටිච්ඡ යනුවෙන් වෙනස් කර ඉච්ඡ යන්නෙන් කැමැත්ත අදහස් වන බව ද කියති. සං යනුවෙන් රැස් කිරීම අදහස් වන බව දක්වා උප්පාද යන්නට ඉපදීම යැයි අර්ථ දී ඇත.

ඒ අනුව ‘කැමැත්තට බැඳීම නිසා සං හෙවත් රැස්කිරීම හටගන්නා ආකාරය පටිච්ඡසමුප්පාදයෙන් කියවේ’ යැයි විකාරරූපී අර්ථකථනයක් සපයා ඇත. ත්‍රිපිටක බුද්ධ වචනයේ මෙම පදය සඳහන් වන්නේ පටිච්චසමුප්පාද යනුවෙනි. පාලි භාෂාවට අනුව පටිච්ච යනු නිපාත පදයකි. එය නිසා යන තේරුමෙන් යුක්ත ය. එම පදය දෙකට බෙදිය නොහැකි ය. ඉච්ඡ යනුවෙන් එහි වෙනම පදයක් ද නැත. සං යන්නට ධර්ම විකෘතිකයන් දී ඇති අදහස ද භාෂාවට හෝ ධර්මයට අදාළ වූවක් නොවේ. සූත්‍ර දේශනාවල පටිච්චසමුප්පාදය පිළිබඳ කිසිදු දේශනාවක මොවුන් දක්වන ආකාරයේ විකාර අදහසක් කිසි ලෙසකින්වත් සඳහන් වී නැත.

සැබවින් ම පටිච්චසමුප්පාද විග්‍රහයෙන් සිදු වී ඇත්තේ හේතූන් නිසා ඵල උපදින ආකාරයත්, හේතු නැතිවීමෙන් ඵල නැති වන ආකාරයත් ය. ආත්මයක් ඇත, ආත්මයක් නැත, පුද්ගලයෙක් ඇත, පුද්ගලයෙක් නැත යනාදී ශාශ්වත උච්ඡේද දෘෂ්ටීන්හි ගැලී සිටිනා සත්වයාට එම අන්තවලින් මිදී යථාර්ථ වශයෙන් පවතින්නේ හේතුඵල දහමක් බව තේරුම් ගැනීම සඳහා පටිච්චසමුප්පාද ධර්මය දේශනා කොට තිබේ. පුද්ගලවාදය, ආත්මවාදය හෝ දේවනිර්මාණවාදය වැනි මිථ්‍යාදෘෂ්ටීන්ගෙන් යුක්ත වූ සත්වයෝ තමන්ගේ විමුක්තිය සඳහා දෙවියන් යැදීම වැනි අසත් මාර්ගවල ගමන් කිරීමෙන් අන්ධකාරය කරාම ගමන් කරන බැවින් තමාගේ ජීවිතය පිළිබඳ නිවැරැදි දර්ශනයක් ලබා දීම මෙයින් සිදු කෙරේ. එම විග්‍රහයේ දී

ලෝකසත්වයාට දුක උපදින්නේ කිසිවකුගේ මැවීමක් වැනි ක්‍රියාවක් මත නොව හේතුඵල දහමක ක්‍රියාකාරීත්වයෙන් බව විග්‍රහ වේ. එසේ ම දුක යනු පුද්ගලයෙක් හෝ ආත්මයක් විසින් වින්දනය කරන්නක් නොව හේතූ නිසා හටගන්නා ඵල ධර්ම බව පැහැදිලි කෙරෙන අතර, එම හේතු නැති කිරීමෙන් දුකෙහි නිරෝධය වන ආකාරය දැක්වේ.

බුදුදහමෙහි එන මෙම සුවිශේෂී ධර්ම විග්‍රහය විකෘති අදහස්වලින් කිළිටි කිරීම මෙම ධර්ම විකෘතිකයන් විසින් කරනු ලැබේ. ලෝකයෙහි සමුදය හා ව්‍යය පිළිබඳ අතිශය දාර්ශනික පසුබිමක් තුළින් විග්‍රහ කොට නිර්මාණවාදී, ආත්මවාදී මිථ්‍යාමතවලින් මිදීම සඳහා දේශිත ධර්මය ලඝු කිරීම බලවත් පාපයකි. ධර්ම විකෘතිකයන් ‘කැමැත්තට බැඳීම නිසා රැස්කිරීම උපදින ආකාරය පටිච්චසමුප්පාදයෙන් දේශිත යැ’යි පැවසීමෙන් පුද්ගලවාදය ම තහවුරු වී අනාත්ම ලක්‍ෂණය යටපත් වී ඇත. එහි කැමැත්තෙන් බැඳෙන පුද්ගලයෙක් ඇත. එහෙත් බුදදහමෙන් දැක්වෙන්නේ පුද්ගලභාවය ඉක්මවා සිටි අනාත්ම දර්ශනයකි.

ධර්ම විකෘතිකයන් විසින් ගැඹුරු බුදුදහම වශයෙන් දක්වන ‘ලෝකයෙහි ද්‍රව්‍ය තුළ සතුට නැති බවත්, තණ්හාවෙන් ආශ්වාදනය කිරීමෙන් සතුට මෙන් ම ඒවායෙහි විපරිණාමයෙන් දුක් ද ඇති වන බවත්, තේරුම් ගැනීම මහා ගම්භීර කරුණක් නොවේ. එවැනි දේ ඇතැම් අන්‍යාගමික ශාස්තෘවරු පමණක් නොව ඇතැම් දාර්ශනිකයෝ ද පවසති. තවත් ආකාරයකින් ධර්ම විකෘතිකයන් විසින් පෙළ දහම ද විකෘති කරමින් ‘ආශ්වාදය ඉෂ්ට කිරීමට නොහැකි බවත් කැමැත්තට බැඳීම නිසා රැස්කිරීම උපදින ආකාරයත් බුදුදහම තුළින් තමන් සොයාගත් මහා ගැඹුරු සොයාගැනීමක් වශයෙන්’ දක්වන දෙය ඇතැම් දාර්ශනිකයන් ද කියන කරුණකි. එහෙත් දුක පිළිබඳ බුදුරදුන්ගේ අවබෝධය පෙර ඇසූවිරූ දෙයක් නොව බුදුදහමට ම අනන්‍ය වූවකි. එසේ ම බුදුදහමෙහි දුකට හේතුව තණ්හාව වශයෙන් සිදු කෙරෙන විග්‍රහය ද අතිශය දාර්ශනික පදනමකින් සිදු වූවකි. එය ධර්ම විකෘතිකයන් කියන ආකාරයට ‘රූපයේ ආශ්වාදයක් නොමැති බැවින් ඇසින් රූපය සමග කැමැත්තෙන් බැ¼දී (පටි+ඉච්ඡ) ආශ්වාදයක් මානසික ව සාදා ගෙන එම ආශ්වාදය රූපයෙන් සෙවුව ද එය නො ලැබෙන බව‘ හෝ ‘දුක උපදින්නේ කැමත්තට අනුව ලෝකය නො පවතින බැවින් යැ’යි කියන තරමේ සරල වූවක් නොවේ.

දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 24 වනදා සිකුරාදා පූර්ව භාග 02.17 ට ලබයි. 25 වනදා සෙනසුරාදා පූර්වභාග 03.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 02 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]