[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

සම්බුදු සිරිපා

සමන් දෙවිඳු ආරාධනයක් කෙරුවා
සමනොළ සිරසේ බුදු හිමි සිරිපා තැබුවා
අඳුරු පටලයෙන් හෙළයන් අත් මිදුවා
සිරිපා පහස ලැබ ලක්මව් සැනසෙව්වා

දුරුතු සඳ කිරණ මිහිකත සරසනවා
සමනොළ සිරස සඳ කිරණෙන් බබළනවා
සිරිපා මළුව බොදු සිසිලෙන් දිදුලනවා
සැදැහැති දනන් බුදු සිරිපා නමදිනවා


ලස්සන උදෑසනේ

ඉර පායා එළිය වූවා
කුරලු පැටව් ගීත ගයා
මේ ලස්සන උදෑසනේ

සාධුකාර දසත ඇසේ
පුංචි ළමයි සුදු ඇඳගෙන
පන්සල වෙත පියනඟයි
මේ ලස්සන උදෑසනේ


මෙවර ජයග්‍රාහී කවියදේව ධර්මය

බෝසත් මහිංශාසක නම් කුමරු එදා
දම් දෙසුවා දිය රකුසකු හට එ සඳා
දේව ධර්මය යි ඔහු විමසුවේ එදා
ලජ්ජා බිය දෙක දෙව් දම් අසනු සදා

පව් කම් කිරීමට ආශා සිතෙන විට
බිය උපදවනු සිත පවකට යෙදී මට
ලජ්ජා වන නිසා පව් කළහොත් ඔබට
දහමට සිත යොදනු පින් සිත ගනු පෙරට


සසරක හැටි

වසරක් නිමා වී තව වසරක් එළඹෙන්නේ
සිරුරත් දිනෙන් දින දුබල ව වැහැරෙන්නේ
සිතිවිලි හැදුම පමණයි කළ යුතු වන්නේ
පරක් තෙරක් නැති සසරෙහි අප යන්නේ

සසරෙහි සැපක් නැහැ කිසිවිට පෙනෙන්නේ
දුකමයි සැප ලෙසින් පැදකුණු කරන්නේ
ඉපදුම නැසුම පමණයි කළ යුතු වන්නේ
දහමෙහි අගය මෙවිටයි පැහැදිලි වෙන්නේ


සිරිපා වඳිමු

සුමන සුරිඳු ආරාධනයෙන් වැඩියා බුදු හිමියන්
සමන් කූට අඩවියෙ වම් ශ්‍රී පා තැබූ එවන්
තුන් සරණය කියමින් අපි හිමේ නගිමු බැතියෙන්
වඳින්න කරුණා කරන්න බුදු හිමි දකිනා තුටින්

ගෙත්තම් පානේ හැඩකොට නූලෙන් වියමන් කරන්න
කෝඩු සැවොම එකතුවෙලා මැව්වා වියමනක් සොඳින
සාදු නාද දිදී එන්න මහගිරි දඹ පසු කරන්න
කිරි කෝඩුට කරුණාවයි සිරින් පතුල හිස තබන්න

අහස් ගව්ව අර පෙනෙන්නෙ ශ්‍රී පා මළුවත් දකින්න
ඝාණ්ඪාර හඬ අතරින් සාධු නාද ළඟ ඇසෙන්න
දොළොස් මහේ පහන් එළිය මළුව පුරා පැතිර යන්න
ශි‍්‍ර පතුලේ නළල තබා වඳිමු අපිත් පින් ලබන්න


දඹදිව් තලයේ සිහි වූ බුදු බණ

බුදු හිමි පහස ලත් ඒ පින්බර බිමෙහි
නළලත තබා වැඳ වැටුණා දුටු කෙනෙහි
බුදුහිමි පිරිනිවුන රුව දුටු විට සිතෙහි
මැවුණා දුක් සුසුම් ගොන්නක් මගෙ ලයෙහි

බුදුහිමි වැඩ සිටිය මේ පින්බර පොළොවේ
පින් මද අපත් සිටියැයි මට නිති සිහිවේ
ජීවමාන රුව නැති මුත් අප හමුවේ
දෙසූ දම් කඳෙන් සම්බුදු හිමි රුව දිස්වේ


දුරුතු පෝදා

පන්දහසක් කල් සසුන සුරකින මේ ලක් දෙරණේ
සිරි මුවින් අගය වදහළ පින් බිම වරුණේ
බුදු බව ලබා නම මසකින් මෙහි වැඩිය සැනේ
නාග යක්ස අරගල නිම වී දුරුතු පොහො දිනේ

ලක්දිව මැද රටේ මහියංගණ පුරයේ
සුමන සමන් දෙවිඳු පුදට සමනොළ සිරිපා තැබුයේ
දිවමන් කේශදා සුරකින මියු ගුණ සෑයේ
බුදු රුවනට පුදදෙමු නිති හද බැතියේ


මල්

පිපුණු මල්
හැලෙන මල්
සියල්ලම
එක ඉත්තෙ


කර්ම ඵලය

ක්‍රියාව කර්මය වෙනවයි
චේතනාව මුල් කරගෙන
ටික ටික ඵල දෙනවා අනේ
කරුමෙ නිසා මේ මිහිපිට
කොපමණ පින් කළමුත්
දුන්නේ දැන් පඩිසන්
පෙර අකුසල් කරපු නිසා
දිට්ඨ ධම්ම කම් ඵලය
මේ භවයේ දුන්නෙමි දැන්
බුදු දහමෙන් දැක්වෙන
නිති සිල පන්සිල් පද
බුදු සමිඳුන් හට වුවත්
පොදු වුණි අට ලෝ දම
ගුණ දම් රැකුණොත් අද
වෙයි අහෝසි කර්මය


රේරුකානේ චන්දවිමල මහ නාහිමි

රන්දවන දෙඅත් හිස මුදුනත බැතිනේ
වින්දවන දහම් රස හද තුළ නිතිනේ
චන්දවිමල ගරු හිමි රේරුකානේ
වැන්ද යුතු ය සිහිකර මොහොතක් ගානේ

සරල මට සිලිටි බස යොදමින් ලියන
විරල දහම් පොත් රැසකිය සිත නිවන
වෙරළ ඉක්මවා නොයනා රළ ලෙසින
තුමුල සඟ රුවන ලැබගෙන ඇත නිවන


මිසදිටු ලෝකය හිරු සඳු දහසක් ගුවන අරා

පායා දිලුන ද අඳුර ඉරා
මිනිස් සිත් සතන් දවන පුරා
නැඟ එයි නිති තණ්හා වපුරා
වපුරන බිජුවට සමව අරන්
සොබාදම් දිනිතිය දෙනව වරම්
අකලට මහ වැසි අඳුර ඉරන්
මිසදිටු බව ලොව තුරුළු කරන්


සම්මා සම්බුදු පියාණෙනි

බුද්ධ ගයා බෝ සමිඳුන් අබියස
දස මරසෙන් පරදා බුදු බව ලද
සම්මා සම්බුදු පියාණෙනි
දම්සක් සුතුරෙන් බරණැස එළිකළ

සුරනර පූජිත ලෝක සිවංකර
නිර්මල බුදුදම ලොවට පසක් කළ
සම්මා සම්බුදු පියාණෙනි
නමදිමු සිරි පා හද බැතිනී


නොපමාව දිව යමි

ගිල්වුණු සිතිවිලි අතරේ
අතරමැදින් නිවන් සොයමි
නෙක බාධා යළි සිහි වී
දෑසම කඳුළින් තෙත් වුණි
නොහැකි ව සැබැවින් යෙදුමට
නිවනෙහි සුව සිතින් විඳිමි
වැරයෙන් ලැබුණොත්
වරමක්
නොපමා අරගෙන දිව යමි


මව් ගුණ

අම්මා යන වදනේ අකුරු
තුන වේ ලොවෙහි මුල කුරු
යන්න වටහා දුන්න ගුරු
ඔබය අම්මේ මගේ මුල් ගුරු

මව් තුමියනි බැතියෙන
සිහි කර ගුණය සැම දින
දිනෙන් දින නමදින
සිළුමිණ ය ඔබ සදා නොමැකෙන


බොදු පින්වතා

ගෞතම මුනිඳු දෙසූ දහමින් සැනසෙන්න
මෛත්‍රිය දයා දසත පුරා පැතිරෙන්න
ගුණවත්කමින් සැම හදවත් පිරවෙන්න
සිත කය වචනයෙන් හැම පින් කරගන්න

මිනිසත් භවෙන් නිසි ප්‍ර‍්‍රතිඵල ලැබ ගන්න
සැම විට කුසලයන් රැස් කර රැක ගන්න
හැකිවෙත් එලෙස බුදු හිමි දම් පිළි ගන්න
සැබෑ බෞද්ධයා මෙලෙසයි දැන ගන්න


දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 24 වනදා සිකුරාදා පූර්ව භාග 02.17 ට ලබයි. 25 වනදා සෙනසුරාදා පූර්වභාග 03.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 24 වනදා සිකුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 02 වනදා ඉරිදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 24

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]