[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අගතියට යන්නාට සුගතියක් නැත

අගතියට යන්නාට සුගතියක් නැත

නමො තස්ස භගවතො අරහතො

සම්මා සම්බුද්ධස්ස
චන්දා දොසා භයා මොහා
යො ධම්මං අතිවත්තති
නිහීයති තස්ස යසො
කාල පක්ඛෙව චන්දිමා

“සුපින්වත්නි, සකල සතවෙත පතළ මහා කරුණා ඇති අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සත්ත්වයන්ගේ ජීවිතය පිරිහීමට පත්කරන කාරණ හතරක් දේශනා කොට වදාළ සේක.

යමෙක් ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට ගොස් ධර්මය ඉක්මවා යන්නේ ද ඔහු අවපක්ෂයෙහි චන්ද්‍රයා මෙන් පිරිහීමට පත්වන්නේ ය.

තමාගේ පෞද්ගලික කැමැත්තෙන් මේ මාගේ මිත්‍රයා, නෑයා, මෙවන් ලාභයක් ලැබෙන්නේ යැයි සිතා යම් තනතුරකට අහිමියෙකු හිමි කෙරේද, හිමියෙකු අහිමියෙකු කෙරේ ද, එය ඡන්දයෙන් අගතියට යාමයි. එමෙන්ම ද්වේෂයෙන් නොමග ගොස් අහිමියෙකු හිමිකොට, වෛරී චේතනාවෙන් ම හිමියෙකු අහිමි කෙරේ ද එය ද්වේෂාගතියයි.

මෙතෙම රාජ්‍ය බලය ඇත්තෙකු වේ ද, විෂම අදහස් නිසා මට අනර්ථයක් කෙරේ ද, යනාදී නයින් බියෙන් නොමගට යන්නේ නම් එය ද්වේෂා ගතිය නම් වන්නේ ය.

සමාජය හා ධර්මය පිළිබඳ ව අවබෝධයක් නොමැතිව නොමග යන්නේ නම්, එය මෝහාගතිය නම් වන්නේ ය.

පුද්ගලයා හා පුද්ගලාන්තර අන්‍යොන්‍ය අවංක විශ්වාසය මූලික කරගෙන අතීතයෙන් වර්තමානයට මෙන්ම, අනාගතයට ද මානව සමාජය නොසිඳී ගමන් කරන්නේ ය. එහෙත් පෘථග්ජන මිනිසා සමාජයේ සියලු සාධාරණතා ඉක්මවා අගතිගාමී ව ක්‍රියා කරන්නේ ය.

මානව පරපුර සාධාරණ සමාජයක් වශයෙන් එකිනෙකාට නම්‍යශීලී ව පෙරගමන් යන විට ඉදිරියට පැමිණෙන සියලු බාධක මෙම සතර අගතිය මූලාධාර කරගෙන ඇතිවන්නේ ය. කුලමල භේද, පක්ෂ භේද, ජාති ආගම් භේද පමණක් නොව දේශ දේශාන්තර සීමා අවුල් වියවුල් ඇතිවන්නේ ද මෙම අගතිගාමී චින්තනය නිසාම ය.

මිනිසාගේ පරම පවිත්‍ර චේතනාවන් හුදු සංකල්ප බවට පරිවර්තනය කොට හිස් මිනිසෙක් කරන්නේ මෙම අගතිගාමී ක්‍රියාවන්ගේ ප්‍රතිඵල වශයෙනි. ලෝභය, මූලික ව පවත්නා ඡන්දාගතිය කෙලෙස් වශයෙන් මහා අකුසලයක් වන අතර එයින් මිනිසාට හරි වැරැදි , මග නොමග, කුසල්, අකුසල් නොතේරෙන්නේ ය. මෙලොව වශයෙන් කිසිම යහපතක් සිදුනොවන අතර මරණින් මතු දුගතිගාමී වන්නේ ය.

දෝෂාගතිය වෛරය, ක්‍රෝධය නිසා ඇතිවන අකුසල මූලයක් වන අතර එයින් ආවේශවන පුද්ගලයාට යුක්තිය ධර්මය, සාධාරණත්වය අමතක වී අගතිගාමී ව ක්‍රියාකොට ඔහු පමණක් නොව ආශි‍්‍රත ජනයා ද, පිරිහීමට පත්වන්නේ ය.

භයාගතිය හා මෝහාගතිය මෝහය මූලිකව පවතින අතර මෙම අගති දෙකින් ම මහා අකුසලයක් සිදුවන අතර මෙලොව හා පරලොව පිරිහීමට පත්වන්නේ ය.

ඡන්දා දොසා භයා මොහා
යො ධම්මං නාතිවත්තති
ආපුරති තස්ස යසො
සුක්ක පක්ඛෙව චන්දිමා

යමෙක් ඡන්දයෙන් අගතියට නොගොස් යුක්තිය, සාධාරණත්වය, නෛතිකභාවය ඉක්මවා නොයන්නේ නම්, ඔහුගේ යසස කීර්තිය, ප්‍රශංසාව පුර පක්ෂයෙහි චන්ද්‍රයා මෙන් වර්ධනය වන්නේ ය. එමෙන්ම අගතිගාමී නොවන නැතැත්තාගේ චිත්ත සන්තානය පවිත්‍රකරගැනීමෙහිලා කාය, වේදනා, චිත්ත, ධම්ම යන සතර සතිපට්ඨානයෝ මහෝපකාරීවෙති. මෙම සතර අගති මාර්ගඥානයෙන් සමුච්ඡේද ප්‍රහාණයෙන් ප්‍රහීණ කළ යුතු ය.

සෝවාන් ආදී මාර්ගඵලලාභී පුද්ගලයා ලෝභාදී අකුසල මූලයන් ප්‍රහීණ කරන හෙයින් අගතියට නොයන බැවින් ‘නාග‘ යනුවෙන් හඳුන්වා දී ඇත.

පුද්ගලයා පුද්ගලාන්තර්ගත ව සමාජයක් හැදෙන බැවින් සෑම දෙනාම ආත්මාර්ථකාමිත්වය තුනී කරගෙන ඉතා සරලව ජීවත්වන්නේ නම්, ඡන්දාදී අගතියට මෙතරම් නැඹුරු වන්නේ නැත. සංකීර්ණ සමාජය විශ්ලේෂණය කිරීමේ දී කෙනෙකු අගතිගාමී වීමට හේතු කීපයක් දක්නට පුළුවන.

විද්‍යාත්මක ලෝකයේ තරගකාරී ජීවන ක්‍රමය,

නූගත්කම හා ඇති නැති පරතරය යි.

වර්තමාන ලෝක සමාජය විද්‍යාත්මක ජීවන රටාවට අනුගත වන බැවින් මානව සමාජයේ සෑම දෙනාම එකිනෙකා පසුබා කෙසේ හෝ පත්සුක වනුයේ ජීවත්වීමට ය. එයටම නූගත්කම එක් වූ විට ආගම දහම, යුක්තිය, නීතිය ඉක්මවා අගතිගාමී ව ක්‍රියා කරන්නට මෙන්ම උදව් උපකාර කරන්නට නිතැතින් පෙළඹෙන්නේ ය.

ධර්මඞ ප්‍රාගේව චින්ත්‍යඞ

සියල්ලටම වඩා ප්‍රථමකොට ධර්මය පිළිබඳ ව අවධානය, සැලකිල්ල, ගරුත්වය, ක්‍රියාකාරීත්වය තිබිය යුතු වන්නේ ය. වර්තමාන ජන සමාජය වඩාත් නැඹුරුවන්නේ ධර්මය සංකල්පයට යටත් කොට ඡන්දාදී අගතියෙන් ජීවන රටාව ගෙනයාමටය. මේ නිසා ජන සමාජයේ සෑම ජන කොටසක් ම එකිනෙකා පසුබා අධර්මයෙන් කෙසේ හෝ ජීවත්වීමට ය. මෙහි ප්‍රතිඵල වශයෙන් සමාජයේ අධර්මය, අයුක්තිය, අසාධාරණය, අනීතිය, ක්‍රියාත්මක වීමෙන් අනේක විධ අපරාධ වීමට ඉඩ ඇත.

මෙම ධර්ම දේශනාව කියවීමෙන් හා ඒ පිළිබඳව සිතීමෙන් එමෙන් අගතිගාමී නොවී ක්‍රියා කිරීමෙන් දෙලොව ශාන්තිය උදා කරගන්න.

ඔබ සැමට තෙරුවන් සරණයි

වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් මස 21 වන දා සඳුදා පූර්ව භාග 06.44 ට ලබයි. 22 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.25 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 21 වන දා සඳුදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 27 වන දා ඉරිදා ය

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

Full Moonඅමාවක

ඔක්තෝබර් 27

First Quarterපුර අටවක

නොවැම්බර් 04

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]