[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝධි පූජාව බුද්ධ පූජාවකි

බෝධි පූජාව බුද්ධ පූජාවකි

කයේ පැවැත්ම සඳහා හේතුවන කාරණා කර්ම, චිත්ත, සෘතු ආහාර යනුවෙන් අප පොසොන් පුර පසළොස්වක පෝදා ලිපියෙන් සඳහන් කළා. කර්ම සහ චිත්ත කියන කොටසටත් මෙය සෘජුවම බලපානු ලැබේ. භාවිත කාය භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා ආදිය ගුරුවරු සොයාගෙන හෝ පොතපතෙන් හෝ දැනගෙන තමන්ගේ නිවසේ දී ම භාවනා කිරීමට පටන් ගත යුතුයි.

ඊළඟට බෝධිපූජා පවත්වන්න පුළුවන්. බෝධි පුජා පැවැත්වීම කළ යුත්තේ කොහොමද? බෝධි පූජාව පැවැත්වීම ඉතාම හොඳ දෙයක්. ඒ සඳහා අවශ්‍ය මොනවාද? පාට පාට මල්වර්ග නවයයි. තෙල් වර්ග, බුලත් කොළ නවයයි, ආදී වශයෙන් අවශ්‍ය වන්නෙ නෑ. එහෙම නියමයක් කොතනක වත් නෑ.

ඉතින්, බෝධි පූජාව කියන්නේ කුමක්ද? බුද්ධ පූජාවක්. බෝධීන් වහන්සේ අබියසට ගිහින්, බුදුරජාණන් වහන්සේගේ ගුණ, මෙනෙහි කර, ධර්මයෙහි ගුණ මෙනෙහි කර, මහා සංඝරත්නයෙහි ගුණ මෙනෙහි කර, නිසි අයුරෙන් බුද්ධ පූජාව තැන්පත් කර තමන්ගේ සීලය නැවත අධිෂ්ඨාන කර ගත යුතුයි. ඉතාම ශ්‍රද්ධාවෙන් බෝධීන් වහන්සේ අබියස දී කල්පනා කළ යුතුයි. මගේ මේ සියලු කාරණා සඳහා යහපත උදාකර දුන්, නිවන් දැකීමට යහපත උදාකර දුන්, අවබෝධය බුදුරජාණන් වහන්සේ උදාකර දුන්නේ මේ වගේ බෝධි මූලයක වැඩහිඳලානේ ද කියන කල්පනා ඇති කර ගත යුතු යි.

එබඳු ස්ථානයකට ගිය විට පුදුමාකාර සැහැල්ලුවක් හිතට දැනෙනවා. අහම්බෙන් හෝ බෝධීන්වහන්සේ නමක් රෝපණය වී තිබෙන ස්ථානයක අනෙකුත් ස්ථානවලට වඩා ලොකු සිසිලසක් එම ස්ථානයේ පවතිනවා. එතැන පවතින්නේ ඉතා ම සුබ දායක තත්ත්වයක්. එබඳු ස්ථානයකට ගොස් මිථ්‍යා දෘෂ්ටිය පැතිරෙන ආකාරයට කළ යුත්තේ යැදිල්ලක් නොවේ. යැදිල්ලක් කර ඇති ඵලක් නෑ. කාටද යදින්නෙ. එහෙම කාහටවත් යදින්න බෑ. එබඳු ස්ථානයකට ගිහින් තමන්ගේ කර්මය ක්ෂය කර ගන්නා වැඩ පිළිවෙළ කළ යුතුයි. හේතුව නම් ඉතාම පිළිවෙළට මල් පහන් තැන්පත් කර, ඉතා පිරිසුදුව සූදානම් විය යුතුයි. සමහර පින්වතුන් එබඳු අවස්ථාවලට ගොස් අදාළ ස්ථානය අපිරිසුදු කරනවා. බෝධි ප්‍රාකාරය ඉතා දර්ශනීය ආකාරයෙන් ස්වාමීන් වහන්සේලා සූදානම් කර තිබෙනවා. එහෙත් අපේ ඇතැම් ඇත්තන් පහන් දල්වන ආකාරය දන්නෙ නෑ. හඳුන්කූරු තිබිය යුතු තැන ද දන්නේ නෑ. බෝධීන් වහන්සේට හානි වුවත් කමක් නෑ. තමන්ගේ හිතුමතයට තමන් ගැන පමණක් හිතා කටයුතු කරනවා.

අනතුරුව පූජාවට ගෙනියන දේවලින් භාගෙට භාගයක් ඒ ස්ථානයේ දාලා එනවා. හඳුන්කූරු පෙට්ටි එක ස්ථානයක දමනවා. මල්වට්ටි තවත් තැනකට දානවා. ගත්ත කළ ටිකත් තවත් තැනකට දානවා. දෙවියෝ බලාගෙන හිටියොත් මොකද වෙන්නෙ කියල හිතල බලන්න.

බෝධීන් වහන්සේට අධිගෘහිත දෙවිවරුන්ගේ පිහිට, ආරක්ෂාව ලබාගත හැකි ක්‍රමයක් තිබෙන බව අමතක කරන්න එපා. අපේ ඇත්තන් කෙතරම් කීවත් යන්නෙ කුමකටද කියා සිතා බලන්න. ඉතින් අර රතුමල්, නිල්මල්, කහ මල් කියල නවය බැගින් අරගෙන යන්නෙ අර අවබෝධයෙහි තිබෙන දුර්වලතාවය නිස යි.

බෝධීන් වහන්සේලා ආසන්නයේ දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබෙන්න පුළුවන්. දෙවිවරුන්ට අවශ්‍ය කරන්නෙත් පින්. එබඳු ස්ථානයකට ගොස් අප එබඳු ස්ථානයක් විනාශ කර දැමීම නුසුදුසු යි. සිල් රකින්නෙත් නොමැතිව, මුසා කියමින් භාවනාවක්වත් සිහි නොකර කොහොමද පින් ඇතිවෙන්නේ? එසේ නම් පින් අනුමෝදන් කරන්නත් බෑ. පින් අනුමෝදන් කරන ක්‍රමය පොසොන් අමාවක පෝදා ජූලි 02 වනදා පත්‍රයෙන් බලාපොරොත්තු වන්න.

පොසොන් අව අටවක පෝය

පොසොන් අව අටවක පෝය ජුනි 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.12 ට ලබයි. 26 වන දා බදාදා පූර්ව භාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 25 වනදා අඟහරුවාදා ය.

මීළඟ පෝය ජූලි 02 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

Full Moonපසෙලාස්වක

ජූලි 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]