[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඇලීම හා බැඳීම පාලනය කරගැනීම පින්පිරි දිවියකට හිතකර ය

ඇලීම හා බැඳීම පාලනය කරගැනීම පින්පිරි දිවියකට හිතකර ය

ධනය හෝ දූ දරුවන් තබා තමන්ට තමන්වත් හිමි නොවන බව බුදු වදනින් කියැවේ. මේ බුද්ධභාෂිතය මෙම පොසොන් සමයේ බෞද්ධයන් හිතට ගෙන කටයුතු කිරීම ඔවුන්ගේ දිවි පෙවෙත යහපත් වීමට හේතුවේ.

හය හතර තේරුණදා සිට අප හැමවිට ම උනන්දුවන්නේ යම්දෙයක ඇලීමටය. ඇසට හමුවන ප්‍රියමනාප රූපයට අප ඇලෙන්න කැමති ය. කනට වැටෙන මිහිරි හඬට ඇලෙන්න කැමතිය. දිවට දැනෙන හොඳ රසයට අප ඇලෙන්න කැමතිය. එසේ ම සිරුරට දැනෙන සුමිහිරි ස්පර්ශයට ඇලෙන්න කැමතිය. එසේ වුව ද අපේ කැමැත්ත හෝ ආශාව ඇතිවූ තරමට ඒවාට හැමවිට ම ඇලෙන්නට ලැබෙනවා ද? නමුත් එය එසේ සිදුනොවේ. ජීවිතයේ ගැටලු හා ප්‍රශ්න ඇතිවන්නේ එවිටය.

ඇලෙන්න අපට අවශ්‍යයි. ඇලෙන්න බැරි වූ විට අප කරන්නේ ගැටුම් ඇතිකරගැනීම ය. අප අපේ දිවි පැවැත් ම දෙස උපේක්ෂාවෙන් යුතුව බැලුවොත් මේ යථාර්ථය තේරුම් ගැනීමට බැරිකමක් නැත. අපේ ජීවිත පුරා ගලාගෙන යන්නේ ඇලීම හෙවත් බැඳීම සහ ඒවා නොලත් තැන ගැටීමයි.

අපේ ජීවිත පුරාවට අපට අවශ්‍ය වන්නේ ඇලි ඇලී නැතහොත් බැඳි බැඳී ජීවිතය පිනවීමටයි. නමුත් හැමදා නිරතුරුව ඇලී හෝ බැඳී ඉන්නට පුළුවන්කමක් නැත. ඒ නිසා නිරන්තරයෙන් අපේ ජීවිතවලට ගැටීම් ඇතිවෙයි. අපේ දිවි පැවැත්ම නිරන්තරයෙන් ම ඇදවැටෙන අන්තදෙක වන්නේ ඇලීම හා ගැටීමයි.

ඇලෙනවිට අපට දැනේනේ සැපක්, සතුටක් මිහිරියාවක්. ඒ වගේ ම ගැටෙන විට අපට දැනෙන්නේ දුකක්, වේදනාවක්, පසුතැවිල්ලක්, කෝපයක්, ක්‍රෝධයක් නමුත් මේ සියල්ලේ නොවැළැක්විය හැකි අන්තය වන්නේ දුකය. ජීවිත හා බැඳී ඇති මේ පැවැත් ම තුළ අන්තිමට ඉතිරිවන යථාර්ථය දුක නම් අප කළයුත්තේ බැඳීම්වලින් ඇලීම්වලින් හා ගැටීම්වලින් ඉවත්වීම ය. මේ බැඳීම්වලින් හා ගැටීම්වලින් ගැලවෙන්නේ කෙසේ ද? ගැටීමෙන් ගැලවෙන්න නම් අප කළයුත්තේ ගැටීමට හේතුව සොයා බැලීම ය. ගැටීමට හේතුව ඇලීමයි. හෙවත් බැඳීමයි.

ප තුළ ඇතිවන අකැමැත්තට හේතුව කැමැත්තයි. අප කැමති දේ තියෙන්නා වගේ ම අප අකැමැතිදේත් පවතී. මේ සාපේක්ෂභාවය තුළ ලෝකය පවතී. ඇලීමට ප්‍රති විරුද්ධව ගැටීම, බැඳීමට ප්‍රතිවිරුද්ධව විප්‍රයෝගය, සිනාවට ප්‍රතිවිරුද්ධව කඳුළ මේලෝක ස්වභාවයයි. එකක් ඉවත් කළ විට එහි ප්‍රතිවිරුද්ධය ද ඉවත් වේ. සැපත ඉවත් කළ විට දුකද නැතවී යයි. ඊට හේතුව එක් පැවැත්මක් අනෙකට සාපේක්ෂවීමයි. සාපේක්ෂ බව ඉවත් කළ හොත් එතැන මතුවන්නේ නිරපේක්ෂභාවයයි. නිරපේක්ෂය යනු නිර්වාණයයි. නිමීමයි. ඒ නිමීම හෙවත් සංසිඳීමට භාවනා කළයුතුයි. භාවනාවේ දී ඇලීමත්, ගැටීමත්, දෙක ම නියත වශයෙන් ප්‍රතික්ෂේප කළ යුතු ය.

පොසොන් සමයේ දී පෙහෙවස් සමාදන් වී බණ භාවනා කරන අයට මෙම මග පෙන්වීම නියත වශයෙන් ම යහපත් වේ. මේ යථාර්ථය තේරුම් ගෙන බණ භාවනාවෙහි යෙදීමෙන් නිවන් මග පාදා ගත හැකිය.

පොසොන් උදාවත් සමඟ අපේ සිත් සතන් ආගම දහමට නැඹුරුවෙයි. බුදුබණ පෙරටුකරගත් මිහිඳු භාෂිතය තුන් සිංහලය පුරාම ගලාගොස් ආගම දහමට මුල්තැන දුන් ජන සංස්කෘතියක් මේ රටේ පැල පදියන් විය. පොසොන් පෝදාට තුන් සිංහලයේ හතර දිග් භාගයෙන් අනුරපුරයට සැදැහැවත් ජනතාව ඇදී එන්නේ ඒ නිසා ය. ඇලීම් හා බැඳීම් මුල්කොට සිංහල බෞද්ධ ජනජීවිතය ගැටීම්වලින් කිලිටි වී යමින් පවත්නා යුගයක මිහිඳු භාෂිතයෙන් ආලෝකවත් වී ඇති අනුරපුරයට පැමිණ සිරිමා බෝරදුන් හා ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වැඳපුදා ගැනීමෙන් කිළිටිවී ගිය සිත්සතන් සුවපත් කර ගැනීමට පුළුවන. “ යෝධම්මං පස්සති සෝ මං පස්සති” යන බුදුවදන අනුව ගෙදරදී ම බණභාවනා කිරීමෙන් සම්බුදු හිමියන් දැකීමට ද පුළුවන. එහිදී ද ඇලීම් හා බැඳීම්වලින් මිදී ගැටීම් පිටු දකින්නට අපට පුළුවන්කම ලැබේ.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]