[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ත්‍රිවිධ රත්නය හැර ගුණයක්ලොවේ කොතැනකවත් නෑ

ත්‍රිවිධ රත්නය හැර ගුණයක් ලොවේ කොතැනකවත් නෑ

පොසොන් පුර පසළොස්වක පොහොය දවස ලංකාවාසී බෞද්ධ ජනතාවට විශේෂිත දවසක්. කොයි කවුරුත් දන්නා කාරණය ලෙස මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පින්බර දවස යි.

මිහින්තලා පර්වතයට වැඩම කර, එතැනින් ආරම්භ කළ සසුන් ගමන නිස යි, අද දක්වා ම ලංකා බුද්ධ ශාසනය පවතින්නේ. සංස්කෘතික, ජාතික, ආගමික වශයෙන් ඉහළම තත්ත්වයකට මේ රට පත්වුණේ මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීමෙන්. උන්වහන්සේ වැඩම කරන මොහොතේ ලංකාවේ දේවානම් පියතිස්ස මහ රජතුමා රාජ්‍ය කළේ. එතුමා ගෞරවයෙන් මේ ගුණ ධර්ම පිළිගත් නිසා ශාසනය දියුණු කරගන්නට පුළුවන්කම ලැබුණා. වෙහෙර විහාර, භික්ෂු, භික්ෂුණී, උපාසක උපාසිකාවන් ඇති වුණා. දාන, ශීල , භාවනා පින්කම් වැඩිවුණා. ඒ නිසයි බුදු දහම පොසොන් පුර පසළොස්වක පොහෝ දවසේ ලංකාවේ දීප ව්‍යාප්ත වුණේ.

ධජග්ග සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටියදී භික්ෂූන් වහන්සේ අමතමින් දේශනා කළා. උන්වහන්සේ පැරැණි කතාවක් කියනවා. දෙවියන් ,අසුරයන් අතර යුද්ධයක් තිබුණා. ඒ මොහොතේ තව්තිසා දෙව්ලොව වාසය කරන සක්දෙව් රජතුමා කියනවා, නුඹලාට බයක් තැතිගැන්මක්, කරදරයක් ,ලෝමහංසනයක් ඇති වුණොත් මගේ කොඩි අග හෝ පජාපතී, වරුණ, ඊසාන දෙවියන්ගේ හෝ කොඩි අග බැලීමෙන් භය, තැතිගැන්ම, ලෝම හංසනය දුරු වෙනවා යනුවෙන්. මේ කරුණු මුල් කරගනිමින් බුදුරජාණන් වහන්සේ විශේෂ දේශනාවක් සිදු කළා. සක්දෙව් රජතුමාගේ හෝ පජාපතී, වරුණ, ඊසාන දෙවියන්ගේ කොඩි අග බැලීමෙන් භය, තැතිගැන්ම, සන්ත්‍රාසය දුරු වන්නේ නැහැ. හේතුව ඒ අය රහත් බවට පත් වී නැහැ. ආරණ්‍ය ගතෝ, රුක්ඛ මූල ගතෝ , සේනාසන ගතෝ , විවේක සුවයෙන් සිටිය දී නුඹලාට භය, තැති ගැනීම , ලෝම හංසනය, කරදර පීඩාවක් , බාධකයන් ඇති වුණොත් තථාගතයන් වහන්සේ සිහි කරන්න යනුවෙන් දේශනා කරනවා.

කෙසේද, සිහි කරන්නේ? ඉතිපි සෝ, භගවා, අරහං , සම්මා සම්බුද්ධෝ යන පාඨය සිහි කළ යුතු යි. මා සිහි නොවුණොත්, මගේ ධර්ම රත්නය සිහි කරන්නැ’යි වදාළා. ස්වාක්ඛාතො භගවතා ධම්මො යනුවෙන්. මෙයින් ඔබලාගේ භය, තැතිගැන්ම දුරුව යනවා. ධර්මය සිහි නොවුණොත් මගේ ශ්‍රාවක සංඝයා සිහි කරන්නැ’යි වදාළා. සුපටිපන්නො භගවතො සාවකසංඝො යන පාඨය පැහැදිලි කළා. මෙයින් නුඹලාගේ භය තැති ගැන්ම දුරුව යයි. බොහොම අගනා දේශනාවක්.

පරම්පරාවෙන් පරම්පරාවට ලැබෙන බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේ ගෙන් අපට ලැබුණු ලොකුම දායාදය බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ මෙනෙහි කරන්නැ’යි දුන් අවවාදය යි. එයින් බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව තුනම සම්පූර්ණ වෙනවා. එසේනම්, තුනුරුවන්ගේ ගුණ ඇතුළත් ඉන් එහා පාඨ තවත් ලොවේ නැහැ. මේ ගුණ විසි හතර අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් කවුරුත් මෙනෙහි කළ යුතු යි. අරහං, සම්මා සම්බුද්ධො, විජ්ජාචරණ සම්පන්නො, සුගතො, ලෝකවිදූ , අනුත්තරො පුරිස දම්ම සාරථී, සත්ථා දේව මනුස්සානං , බුද්ධො, භගවා , ස්වාක්ඛාතො, සංදිට්ඨිකො, අකාලිකො, එහිපස්සිකො, ඕපනයිකො, පච්චත්තං වේදිතබ්බෝ, විඤ්ඤූහි , සුපටිපන්නො, උජුපටිපන්නො, ඤායපටිපන්නො, සාමීචිපටිපන්නො, අහුණෙය්‍යො, දක්ඛිණෙය්‍යො, අඤ්ජලි කරණීයො, අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස යනුවෙන් මෙහි ගුණ විසි හතරක් තිබෙයි.

ඉහත සඳහන් කළේ අනුලෝම ක්‍රමය යි. එය ප්‍රතිලෝමවත් මෙනෙහි කිරීමෙන් තමන්ට විශාල ආරක්ෂාවක්, පිහිටක් ලැබෙනවා. ලැබෙන සැනසුම මෙපමණයි යනුවෙන් කියන්න පුළුවන්කමක් නැහැ. විශාලා මහනුවරට විශාල කරදරයක් සිදුවුණ මොහොතේ බුදුරජාණන්වහන්සේ දේශනා කළේ රතන සූත්‍ර දේශනාව යි. එම සූත්‍රයේ ඇත්තේ බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ පමණයි. මේ දේශනාව අවසන් වෙද්දී ම රෝග, අමනුෂ්‍ය භය දුරුව ගියා. දුර්භික්ෂ භය දුරුවෙලා රටට ශාන්තියක් සැලැසුණා. ධාරානිපාත වැසි වසින්න පටන් ගත්තා, ඇළ දොළ ගංගා පිරී ඉතිරී ගියා. ගොවිතැන සරු සාරවත් වුණා. යක්ෂ ප්‍රේත අමනුෂ්‍යයෝ දුව පැන ගියා. රෝග, පීඩා බිය සංසිඳී ගියා. ඒ රාජ්‍යයට සම්පූර්ණයෙන් ම සෙත , ශාන්තිය , යහපත සැලැසුණේ රතන සූත්‍ර දේශනාවෙන්. එසේම ඔබේ ගේ දොරවලත් කරදර , පීඩා ඇත්නම්, යක්ෂ ප්‍රේත, භූත අමනුෂ්‍ය කරදර ඇත්නම්, හැම කෙනෙක්ම රතන සූත්‍රය ම සජ්ඣායනා කරන්න. බහුලව ම සජ්ඣායනා කරන තරමට ම ආරක්ෂාව ලැබෙනවා. එතරම් ම බලගතු දේශනාවක්. බුදු ගුණ, දහම් ගුණ , සඟ ගුණ වලට එහා ගුණ ලොවේ කා ළඟවත් නැහැ. ඒ ගැන නිබඳව ම සිතන්න. මෙනෙහි කරන්නට ඕනේ. එවිට තමන්ට ලැබෙන ශක්තිය ඉමහත්. ඒ ගුණ ධර්මයන් දියුණු තියුණු කරගත් විට එය භාවනාවක් වගෙයි. එදිනෙදා ආරක්ෂාව ලැබෙනවා. යහපත සැලසෙනවා. සංසාරයේ දුක් විඳින්නේ නැතිව සුගතියක ම වාසය කරනවා.

බුදුරජාණන් වහන්සේ ධජග්ග සූත්‍ර දේශනාවට අනුව සෑම කෙනෙකුම බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ නිබඳවම මෙනෙහි කරන්න පුරුදු විය යුතු යි. මේවා පැහැදිලි කළේ ලොවුතුරා බුදුවරු යි. දෙවියෙක්, බ්‍රහ්මයෙක් නො වෙයි. බුදු ගුණ සීමාවක් නැහැ. ශ්‍රී සද්ධර්මයේ ගුණ , ආර්ය මහා සංඝරත්නයේ ගුණ සීමාවක් නැහැ. අසීමිත ගුණයන්ගෙන් සමන්වාගත යි. ඒ උතුමෝ ගැන සිතද්දී අපේ කායික , මානසික සුවය යහපත් වෙයි. දරුණු පිළිකා රෝගියෙක් සිටීනම්, ඒ තැනැත්තා නිතරම සූවිසි ගුණ මෙනෙහි කර තුනුරුවන්ටම පූජා සත්කාර කරන්න. එවිට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ගමන් ම තුනුරුවන්ගේ ගුණයෙන් පිළිකා රෝගය බොහෝ දුරට සුවපත් වෙනවා.

තුනුරුවන්ට පූජා සත්කාර, වන්දනා මාන , වැඩි කරගන්න. එසේම බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ නිබඳවම මෙනෙහි කරන්න. සත්‍ය ක්‍රියාවකුත් කරගන්න. නීරෝගීකම ඒකාන්තයෙන් ලැබෙනවාම යි. මේවා ලොවුතුරු බුදු දහමට අනුව ම කල්පනා කර, ශ්‍රද්ධා දී ගුණයන් හොඳින් දියුණු කරගනු ලැබුවොත්, අපට වරදින්න විදිහක් නැහැ. ඒ ගැන නිතර සිතිය යුතු යි. කල්පනා කළ යුතු යි. තමන්ගේ ජීවිතයේ ඇති වාසනාව හොඳින් සිතිය යුතු යි.

පොසොන් පුර පසළොස්වක පොහෝ දවස සමස්ත ලංකාවාසීන් අප්‍රමාණ පින් දහම් කරන දවසක්. ඒ පින්දහම් කරන්නේ අපට තුනුරුවන් ලැබුණු දවස නිස යි. බුදුරජාණන් වහන්සේගේ පණිවුඩය අරගෙන වැඩම කළ දවස . එසේනම්, ලංකාවාසී අපට ඇති ලොකුම දායාදය තමයි, පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ තුනුරුවන් ලංකාවට ලැබීම. ඒ ගැන කල්පනා කර බලන විට එවකට හිටපු රජ දරුවන් ශාසනය වෙනුවෙන් ඇප කැප වූවා. ඒ නිසා වෙහෙර විහාර දියුණුවෙන් ඔබ අප සැමටම ලංකාතලය වාසනාවන්ත ධරණී තලයක් බවට පත් වී තිබෙන ආකාරය දැක ගන්නට ලැබී තිබෙන්නේ. සොළොස්මස්ථාන ලංකාව පුරා විහිදී තිබෙනවා. මේවා වාසනාවට ලැබුණු දේ. මේ ගැන සිතා, වැඳුම් පිඳුම් සිදු කළ යුතු යි. ‘වන්දාමි චේතියං’ ගාථාව සජ්ඣායනා කරද්දී බඹලොව, දෙව්ලොව, මනුලොව සියලුම සිද්ධස්ථාන වන්දනා කළා වෙනවා. එබඳු දේ සිදු කරගත්තොත්, අපේ සංසාර ගමන අඩුවක් වෙන්නේ නැහැ. පිනෙන් පිරී ඉතිරී යනවා. සංසාරයේ සම්පත් ලබන්න පුළුවන්කම ලැබෙනවා. දුක් නොවිඳ යහපත් ජීවිතයක් ලබාගෙන සම්මා සම්බුද්ධ ශාසනයත් රැකගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා.

පින් ඇත්තෝ ලොවේ සැපයෙන් වාසය කරනවා. පින් නොකළ ඇත්තෝ ලොවේ අප්‍රමාණ දුක් විඳිනවා. සතර අපායන් පිරී යන්නේ පන්සිල් ආරක්ෂා නොකර පින් මඳි ඇත්තන් නිස යි. මේ උතුම් පොසොන් පුර පසළොස්වක දිනයේ අධිෂ්ඨාන තබා ගත යුත්තේ මම අද පටන් මවට, පියාට, වැඩිහිටියන්ට හොඳින් සලකනවා. තුනුරුවන් වඳිනවා. පුදනවා. දාන, ශීල, භාවනා , පින්කම් කරනවා. සුරාවෙන්, දුරාචාරයෙන් වළකිනවා. පින්වත්, ගුණවත් , නැණවත් ජීවිතයක් ගත කරනවා, යනුවෙනි.

අනුරපුරෙන් පටන්ගත් සසුන් දායාදය ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විහිදී ගියා. ලංකාවෙන් බොහෝ රටවල භික්ෂූන් වහන්සේ මේ ශාසන දායාදය රැගෙන වෙහෙර විහාර ඇතිකර, ශ්‍රද්ධා දී ගුණ දියුණු කර තිබෙනවා. මේ වාසනාව ගැන සිතා සතුටට පත් ව ශීලා දී ගුණ දියුණුවෙන් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට ශක්තිය බලය වාසනාව ලැබේවා!

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]