[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පැන විසඳුම් ජයග්‍රාහිකාව:

ලක්දිවට පෑයූ පොසොන් සඳ

පැළලුප්නුවර අශෝකාරාමයේ පැවැති තුන්වන ධර්ම සංගායනාවෙන් පසු විදේශ රටවල් නවයකට බෞද්ධ ධර්මදූතයන් පිටත්කර යවන ලදී. ඒ අනුව මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන සෙසු ධර්මදූත පිරිස වන ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරවරුන් ද, සුමන සාමණේරයන් ද, භණ්ඩුක උපාසකයන් ද කැටිව අනුරාධපුරයෙන් නැගෙනහිර දෙසට පිහිටි මිස්සක පව්වට පොසොන් පුන් පෝ දින වැඩමවා වදාළ සේක. ලාංකේය බෞද්ධ වාර්තා අනුව මිහිඳු මා හිමියන්ගේ ලංකා ගමනය සිදුවූයේ බුද්ධ වර්ෂයෙන් දෙසිය තිස් හය වැනි (236) වර්ෂයේ පොසොන් මස පුර පසළොස්වක දිනයක දී ය. එදින මෙරට පාලනය සිදුකරන ලද්දේ මුටසීව රජුගේ වැඩිමල් පුතුවන දෙවනපෑතිස් රජු ය. මුව දඩයමෙහි නිරතව සිටි රජු අමතා එතුමාගේ නුවණ, පිරික්සා ඔවුනොවුන් හඳුනාගත් පසු මාලිගයට වැඩමකර රජු ඇතුළු රැස්ව සිටි පිරිසට චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ. අපගේ යහපත උදෙසා උන් වහන්සේගේ වැඩමවීම බෞද්ධ ඉතිහාසයේ වෙසෙස් සන්ධිස්ථානයක් බවට පත්විය. උන්වහන්සේගේ වැඩම වීමෙන් අපට බුද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය, රාජ්‍ය පාලනය , කලා ශිල්ප ,සිරිත් විරිත්, ආදී බොහෝ දේ ලැබුණි. එදා ලක්දිවට පෑයූ පොසොන් සඳ අනුබුදු මිහිඳු මා හිමියන් ය.


පොසොන් වරුණ

පොසොන් සඳමඬල මිහිතලය සිප
මිහින්තලයෙන් ගෙන එයි සිල්සුවය සැප
නුබුදු කසාවත මවනා සඟුන් සැප
යක් දෙව්නාග ලක්වැසි දුටු නිවන් සැප

සමනය වන්න මහරජ අප බුදු සව්වෝය
දඹදිව සිට වැඩියේ ඔබ හට අනුකම්පාවෙන් ය
ගෙන ආවෙමි උතුම් සම්බුදු පණිවුඩය
කප් සුවහසක් කල් රකිනු මැන ලක් වැසි ය


දහම් සිසිල

ඉන්දියාවේ රාජ්‍ය පාලනය කළ අධිරජ ධර්මාශෝකයන්ගේ හා දේවී කුමරියගේ පුත් මිහිඳු නම් විය. නැගෙණිය සංඝමිත්තා විය. අධිරජ ධර්මාශෝකයින් තෙරුවන් සරණ ගොස් බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා වෙහෙර විහාර රාශියක් ඉදි කළේ ය. තම පුත් කුමරු හා දූ කුමරිය ද බුදු සසුනට පූජා කළේ ය. තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා ධර්ම ප්‍රචාරක කටයුතු සිදුවිය. ශ්‍රී ලංකාවේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා මිහිඳු හිමි ඇතුළු පිරිස දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ දී අනුරාධපුරයේ මිහින්තලාවට වැඩම කළහ. මේ හේතුව වැදගත් කොට ගෙන ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනයා පොසොන් පොහොය උත්සවශ්‍රීයෙන් සමරති.


වඩිනු මැන මිහිඳු මා හිමියනි

මිස්සක පාමුල වැල්ලේ – ළමා පෙළක් සැනසිල්ලේ
දෑතට ගෙන කුසුම් මිටක් – වඩිනතුරා මිහිඳු සමිඳු
පුන්සඳ පායා සඳ රැස් – අම්බස්තල දෙපස ගලයි.
අප තාමත් අඳුරු ඉමේ –සඳ කිරණට ගත නොගැටේ
අන්න අන්න කහ පාටින් – පුන්සඳ නැග ගල මුදුනේ”
සාදු සාදු මිහිදු සමිඳු – ගල මුදුනේ රැස් විහිදේ”
මිහිඳු සමිඳු වැඩ හිඳිනව – වගේ එදා පොසොන් දිනේ
තිස්ස නිරිඳු අද නාවේ – දරුකැල ඇත හිමි පාමුල”
සාදු සාදු මිහිඳු සමිඳු – ගලමුදුනේ රැස් විහිදේ”


මිහිඳු සමිඳු වැඩිය නිසා

මිහින්තලය අපට උතුම්
මිස්සක පවුවේ මනරම්
කසාවතින් විය සැරහුම්
අපිට පොසොන් පොහොය උතුම්

මිහිඳු සමිඳු වැඩි පොසොන් දිනේ
තිස්ස රජුන් පිහිටියා තිසරණේ
හෙළ දිවයින බොදු බැතියෙන් පිදුනේ
ලොවේ දහම් දිවයින සේ වැනුනේ


ඒකාලෝක විය ලක්දිව

ගහ කොළට ඉර හඳට වැන්දා ඇදහුවා මිය ගිය පිරිස්
කෙළි කළා වන සතුන් මැරුවා පුරුද්දක් ලෙස හිනැහෙමින්
විවිධ ආගම් පැවතුණා කුල ප්‍රශ්න තිබුණා පැතිරෙමින්
මිහිඳු හිමියන් කියා දුන්නා දහම ජාතිය පිළිවෙලින්

බොහෝ දායාදයන් ලැබුණා අපට මහින්දාගමනයෙන්
මෙරට ශාසන ඇරඹුමත් දාගැබ් පිළිම වැනි කලාවන්
විවිධ භාෂා සංස්කෘත හා ශිල්ප වැනි නිර්මාණයන්
අපට දුන්නා මිහින්තලයට හිමි වැඩි පෝදා පොසොන්


පොසොන් පෝදා

පොසොන් පෝය දා අනුබුදු හිමි – ලංකාවට වඩිනා විට
තිස්ස රජතුමා ගිහිල්ල – වනන්තරේ දඩයමකට
තිස්ස තිස්ස නවතිනු යැයි –අනුබුදු හිමි අමතන විට
බුදු දහමේ ඇති බලයෙන් – දුනු ඊතල වැටුණෙ බිමට


පැන විසඳුම්

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලිව ලියා අප වෙත එවන්න.

ඇසළ පොහොයට මූලිකවන සිදුවීම් අතර මහනුවර දළදා පෙරහර වැදගත්වේ. මහනුවර සිරි දළදා ඇසළ පෙරහර පිළිබඳව නිර්මාණාත්මකව කෙටියෙන් ලියා අප වෙත එවන්න.

ජයග්‍රාහි දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් අගනා දහම් පඬුරක් පිරි නැමේ.


පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]