[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හෙළදිව ධර්ම ද්වීපයක් වූ පොසොන් පෝදා

හෙළදිව ධර්ම ද්වීපයක් වූ පොසොන් පෝදා

පොසොන් පුන් පෝදා ලංකාවාසී අප සියලු දෙනාට ම ඉතාමත් ම වටිනා දිනයක් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාද්වීපයට වැඩම කිරීමත්, දෙවනපෑතිස් රජතුමාට බුදුදහම දෙසා අවබෝධ කරවීමත්, ශ්‍රී ලංංකාවේ සම්මාසම්බුද්ධ ශාසනය පිහිටුවීමත්, මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දෙවියන්ට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීම හා දෙවනපෑතිස් රජතුමා ඇතුළු හතළිස් දහසක් පිරිසට චුල්ලහත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්මය දේශනා කිරීමත්, භණ්ඩුක කුමරු පැවිදි කර උපසම්පදා කරවීමත් පොසොන් පුන් පොහෝ දා සිදු වූ නිසා ය.

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර 218 ක් ගතවනවිට බුදු සසුනෙහි පැවිදි වූ බොහෝ භික්ෂූන් විනය විරෝධීව කටයුතු කරන්නට වූ හෙයින් භික්ෂු ශාසනය පිරිසුදු කොට ථෙරවාද සම්ප්‍රදාය ආරක්ෂා කර ගැනීම පිණිස ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් පැලලුප්නුවර මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තුන්වන ධර්ම සංගායනාව පවත්වන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් උන්වහන්සේ විසින් රටවල් නවයකට ධර්මදූතයාණන් වහන්සේලා පිටත්කර යවන ලදහ. ඒ වන විට ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් දඹදිව බුදුසමය හාත්පස පැතිරෙන්නට වූ නමුත් අනාගතයේ දී බුදු සමය දඹදිවින් තුරන්ව යන බව දිවැසින් දුටු මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විශේෂයෙන් ම දඹදිවින් පිටත පිහිටා තිබුණු දුර බැහැර රාජ්‍යවලට මෙසේ ධර්ම දූත පිරිස් පිටත් කර යැවූ සේක.

බුද්ධ වර්ෂ 236 වැන්නේ පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූතයාණන් වහන්සේලා මේ ලංකාද්වීපයට වැඩම කරවන ලද්දේ ද ඒ අනුව ය. උන්වහන්සේ සමග ඉට්ඨිය, උත්තිය, සම්බල හා භද්ධසාල යන හිමිවරුන් ද, සුමන සාමණේරයාණන් වහන්සේ හා භණ්ඩුක උපාසකයාණන් ද ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වූ අතර අනුරාධපුරයේ මිස්සක පර්වත මස්තකයේ දී දෙවනපෑතිස් රජතුමාට ඒ ධර්මදූත පිරිස දැක ගන්නට ලැබුණි. එදින එම පර්වත මස්තකයේ වැඩසිටිමින් මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේවානම්පියතිස්ස රජතුමා සමඟ කළ සංවාදය ලෝකයේ ප්‍රථම ලේඛනගත බුද්ධි පරීක්ෂණය ලෙස හැඳින්වේ.

එදින සමස්ත ලංකාද්වීපය පුරාම ‘මුල් නැකැත් සිත් හමු වූ සුවිශේෂ උත්සවයක් පැවැත්විණ. රජතුමා හතළිස් දහසක් පමණ වූ පිරිවර සමඟ නැකැත් කෙළියට ගොස් මිහින්තලය ප්‍රදේශයේ පිහිටි මිස්සක පර්වත මුදුනේ දී මිහිඳු මහරහතන් වහන්සේ දැක පැහැදී අනෙකුත් දූත පිරිස් ද ගෞරව පූර්වකව පිළිගත් අතර එහිදී මිහිඳු මාහිමියන් විසින් දේශනා කරන ලද චුල්ල හත්ථි පදෝපම සූත්‍රය ශ්‍රවණය කර අතිශය සංතෝෂයට පත් වී පසු දින දවල් දානයට මහා සංඝරත්නයට ආරාධනා කර නගරය බලා පිටත්ව ගියේ ය.

මේ දින ලංකාද්වීපයට වැඩම කරන ලද ධර්මදූතයාණන් වහන්සේලා ඉතා සුවිශේෂ රාජකීය පසුබිමක් සහිත පිරිසක් බව කිව යුතු ය. මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක අධිරාජයාගේ පුත්‍රයා ය. සුමන සාමණේරයාණන් වහන්සේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේගේ ගිහිකල පුත්‍රයා ය. අශෝක අධිරාජයාගේ මුණුපුරා ය. තව ද භණ්ඩුක උපාසක තුමා මිහිඳු මහරහතන් වහන්සේගේ පුංචි අම්මාගේ දුවගේ පුතා ය. ධර්මාශෝක අධිරාජයා විසින් රාජකීය ලේ සහිත මෙපමණ ධර්ම දූතයාණන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාද්වීපයට එවන ලද්දේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ එක්තරා ප්‍රකාශයක් නිසා ය. එනම් ලෝකයේ අන්තිමට බුද්ධ ධර්මය සුරක්ෂිත වන්නේ ප්‍රත්‍යන්ත රටරාජ්‍යවලය යන්නයි. ඒ අතර ශ්‍රී ලංකාද්වීපයට ප්‍රමුඛස්ථානය ලැබුණේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ දිවැසින් ඒ බව දුටු නිසා ය. සමස්ත ලෝකයේ ම බෞද්ධාගම සුරැකෙන අවසාන රාජ්‍යය වන්නේ මේ ශ්‍රී ලංකා ද්වීපය හෙයින් එබඳු රාජකීය ධර්මදූත පිරිසක් මෙරටට එවීමට උන්වහන්සේ අතිශයින්ම ප්‍රඥා සම්පන්න වූ සේක. ඒ අනුව ශ්‍රී ලංකාද්වීපය පාලනය කරන රාජ්‍ය පාලකයා බෞද්ධ, ප්‍රතිපත්තිගරුක, ත්‍රිවිධරත්නය සරණ ගිය, පංචශීලය සුරකින අයෙකු බවට පත් වූයේ පොසොන් පුන් පොහෝදා ය.

ලංකා බෞද්ධ ඉතිහාසය තුළ මුල්ම මහණ උපසම්පදා පින්කම පවත්වන ලද්දේ ද මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාවට වැඩම කළ පොසොන් පුන් පොහෝ දින රාත්‍රී කාලයේ ය. බුද්ධ නියමයට අනුව දඹදිව මධ්‍ය දේශයෙන් බැහැර ඕනෑම ප්‍රදේශයක දී භික්ෂුවක් උපසම්පදා කිරීමට උපසපන් භික්ෂූන් පස් නමක් ප්‍රමාණවත් හෙයින් එදින භණ්ඩුක උපාසකතුමා පැවිදි කොට උපසම්පදා කළහ.

ඉන් අනතුරුව මිහිඳු මහ රහතන් වහන්සේ දෙවියන්ට ධර්ම දේශනා කිරීමට කැමැති ව ධර්මශ්‍රවණය කිරීමට මුළු තම්බපණ්ණි දිවයිනේ ම සිටින දෙවිවරුන්ට කාල ඝෝෂා කරන මෙන් සුමන සාමණේරයාණන් වහන්සේට දැනුම් දුන් සේක. එම අවස්ථාවේ දී සුමන සාමණේරයාණන් වහන්සේ අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සම වැදී කාලඝෝෂා කළ අතර තලාටු, භූමාටු දෙවිවරුන්ගේ පටන් බ්‍රහ්මලෝකය දක්වා වූ විවිධ දෙවිවරු බණ ඇසීමට රැස්වූහ. මෙහිදී මිහිඳු මහරහතන් වහන්සේ ඔවුන්ට සමචිත්තපරියාය සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක.

සැරියුත් මහරහතන් වහන්සේ සමචිත්තපරියාය සූත්‍රය මුල්වරට දේශනා කරන ලද්දේ සැවැත්නුවර පූර්වාරාම විහාරයේ දී ය. එහිදී උන්වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙසේ වදාළ සේක.

“ඇවැත්නි මම ඔබලාට ඇතුළත හා බාහිර සංයෝජන ඇති පුද්ගලයන්ගේ ලක්ෂණ දේශනා කරමි. එය අසන්න, මනාව ධාරණය කරගන්න. මම දැන් දෙසමි.’ එවිට භික්ෂූහු, හොඳයි ඇවැත්නි යනුවෙන් උත්තර දුන්හ.

මේ සසුනෙහි ඇතැම් භික්ෂුවක් ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සිල්වත්ව, පැවැත්මෙහි හා ආහාරයෙහි සංවරව, කුඩා අකුසලයකට වුව බිය ඇතිව ශීලය ආරක්ෂා කරගනීද, හෙතෙම මරණින් පසු එක්තරා දේව නිකායක උපත ලබා, එයින් චුත ව මෙම ආත්මභාවයටම එන අතර අනාගාමී වෙයි. මේ වනාහී ඇතුළත කාමභව පිළිබඳ ඡන්දරාගය ඇති පුද්ගලයා අනාගාමී වන ආකාරයයි.

තවද මේ සසුනෙහි ඇතැම් භික්ෂුවක් ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සිල්වත්ව, පැවැත්මෙහි හා ආහාරයෙහි සංවරව, කුඩා අකුසලයකට වුව බිය ඇති ව, සීලය ආරක්ෂා කර ගනී ද, හෙතෙම මේ ආත්මයේ දී ම ධ්‍යානයකට පැමිණ මරණින් පසු පංචසුද්ධාවාසවලින් එකක උපත ලබා එයින් චුතව අනාගාමී පුද්ගලයෙක් වෙයි. මේ අනාගාමී වූ බාහිර සංයෝජන ඇති පුද්ගලයාගේ ස්වභාවයයි.

එදා සැරියුත් මහරහතන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයේ දී මෙම සූත්‍රය දේශනා කරන මොහොතේ රැස් ව ධර්මශ්‍රවණය කළ දෙව්බඹුන්ගේ ප්‍රමාණය යම්තාක් ද එපමණ ම දිව්‍යබ්‍රහ්ම පිරිසක් මෙදා පොසොන් පුර පසළොස්වක පොහෝදා මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවේ දී එම සූත්‍රය දේශනා කරන මොහොතේ රැස්ව එය ශ්‍රවණය කළ බව අට්ඨකතාවේ සඳහන් වී තිබේ.

මිහිඳු මහරහතන් වහන්සේ මහත් වූ සෘද්ධිබලයෙන් යුක්ත අතිශ්‍රේෂ්ඨ බුද්ධපුත්‍රයාණන් වහන්සේ නමක් වූ සේක. දේවානම්පියතිස්ස රජතුමා උන්වහන්සේ සමඟ කතා කරන අවස්ථාවේ දී උන්වහන්සේ වැඩම කළේ කුමන මාර්ගයකින් දැයි විමසූ විට උන්වහන්සේගේ පිළිතුර වූයේ ගොඩබිමිනුත්, නොවේ, මුහුදිනුත් නොවේ යන්නයි. එනම් අහසින් ය යන්නයි. මේ බව තවදුරටත් ඔප්පු වන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ රජගලින් සොයාගත් ක්‍රි.පූ. 2 වන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් ලියවුණු සෙල්ලිපියකිනි.

යේ ඉමදීප පටමය ඉදිය අගතන ඉඩික (තෙරම) හිඳ තෙරහ තුබේ’ යනුවෙන් සඳහන් වන අතර එහි තේරුම මෙම දිවයිනට පළමුව සෘද්ධියෙන් වැඩම කළ ඉට්ඨිය තෙරුන්ගේ හා මහින්ද තෙරුන්ගේ ස්ථූපය, යනුවෙන් පරිවර්තනය කළ හැකි ය. මේ අනුව පැහැදිලි වනුයේ උන්වහන්සේලා පිරිනිවන් පෑ විගස ධාතූන් වහන්සේලා නිදන් කොට චෛත්‍ය කරවා උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වය ද සඳහන් කර මතුපරපුරට දැකබලා ගැනීමට සලස්වන ලද බවයි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය ඈත අතීතයේ පටන් ම ලොව පුරා ප්‍රචලිත වූ සිද්ධියක් බවට පත් විය. දඹදිවට වැඩම කළ චීන ජාතික ථාං ෂ්‍යුඇන් ත්සාං (හියුංත්සාං) හිමියෝ එහිදී මිහිඳු මහරහතන් වහන්සේ හා ධර්මදූත පිරිස පිළිබඳ තොරතුරු දැනගෙන තම භ්‍රමණ වෘත්තාන්තයට එම තොරතුරු ඇතුළත් කළහ.

හතරවන සියවසේ ලංකාවේ රජකළ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා මිහිඳු මහරහතන් වහන්සේගේ රන් පිළිමයක් කරවා එය මිහින්තලාවේ සිට අනුරාධපුරය තෙක් මහ පෙරහරකින් වඩමවා මුල්වරට මිහිඳු පෙරහරක් පවත්වන ලද බව මහාවංශයේ සඳහන් වී ඇත.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව මෙරට බෞද්ධයා තුළ අද දක්වාම පවතින්නේ අප්‍රමාණ කෘතඥතා පූර්වක හැඟීමකි. ඒ නිසා අද වන විට මෙරට සෑම දිස්ත්‍රික්කයකම පාහේ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණය අනුස්මරණය කරනු වස් පොසොන් පුන් පොහෝදා මිහිඳු පෙරහර පවත්වන බව සඳහන් කළ යුතු ය. මිහිඳු මාහිමියන් විසින් සිරිලක ජනතාවට දායාද කරන ලද්දේ සුපිරිසුදු බුදුදහම පමණක් නොවේ. ඉතා විධිමත් සංස්කෘතියක් උන්වහන්සේ මෙරට වැසි ජනතාවට දායාද කළ සේක. ඒ නිසාම විවිධ හැලහැප්පීම් මධ්‍යයේ වුවද විදේශිකයින් විස්මයට පත් කරවන විශිෂ්ට ශිෂ්ටාචාරයක් හිමි ජාතියක් බවට මෙරට ජනතාව පත් විය.

පොසොන් පුර පසළොස්වක පෝය

පොසොන් පුර පසළොස්වක පොහොය ජුනි 16 වන දා ඉරිදා අපරභාග 02.02 ට ලබයි.17 වන දා සඳුදා අපරභාග 2.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 16 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය ජුනි 25 වන දා අඟහරුවාදා

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 16

Second Quarterඅව අටවක

ජූනි 25

Full Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 09

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]