[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තෙවළා බුදු වදන් අතරින් 29 : අඹුසැමි සෙනෙහස ශක්තිමත් කරන අධ්‍යාත්මික බලවේග

තෙවළා බුදු වදන් අතරින් 29 :

අඹුසැමි සෙනෙහස ශක්තිමත් කරන අධ්‍යාත්මික බලවේග

බුදුරජාණන් වහන්සේ භගුරට සුංසුමාරගිරි නුවර භේසකලා වන නම් මුවන්ගේ අභය භූමියෙහි වැඩ වෙසෙන සමයෙහි එක් දිනක පෙරවරු කාලයේ නකුල පිතාගේ නිවස බලා වැඩම කළ සේක. ඉක්බිති නකුල පිතා හා නකුල මාතා යන අඹු සැමි දෙදෙන භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් පිළිගෙන උන්වහන්සේ වෙත පැමිණ නමස්කාර කොට එක්පසෙක හිඳ උන්වහන්සේගෙන් ඔවුනොවුන් පිළිබඳ පවතින සෙනෙහස හා විශ්වාසය ගැන කරුණු විමසූහ.

පළමුව නකුල පිතු උපාසක තුමා “ස්වාමිනී භාග්‍යවතුන් වහන්ස යම් දිනෙක තරුණු වියෙහි සිටි මා විසින් එබඳුම තුරුණ වියේ වූ නකුල මාතාව කැඳවා ගෙන ආවේද, එදා පටන් අද දක්වා ම ඇය සිතින් වත් මා ඉක්මවා ක්‍රියා කළ බවක් නොදනිමි. කයින් ඉක්ම වීම ගැන කවර කතාවක් ද?, ස්වාමිනී අප දෙදෙනා මෙලොව මෙන්ම පරලොවත් ඔවුනොවුන් දකින්නට කැමැත්තෙමු ” යනුවෙන් ප්‍රකාශ කළේ ය. අනතුරුව නකුල මාතා උපාසිකා තුමිය ද තරුණ වියේ සිටි ඇය හා විවාහ වූ දින පටන් මේතාක් කලක් නකුල පිතා ද තමා සිතින්වත් ඉක්මවා සිතූ බව නොදක්නා බවත්, කයින් කවර කථාවක්ද යනුවෙන් පවසා දෙදෙනාම මෙලොවදී පමණක් නොව පරලොවදී ද ඔවුනොවුන් දැකීමට කැමැත්තෙන් පසුවන බව ප්‍රකාශ කළා ය. මේ අනුව නකුල මාතා හා නකුල පිතා යන අඹු සැමි දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි පවතින විශ්වාසය හා සෙනෙහස සංසාරික වශයෙන් තවදුරටත් පවත්වාගෙන යාමට කැමැත්තක් දක්වන බව බුදුරදුන් අභියස ප්‍රකාශ කළහ.

සිතින් වත් ඔවුනොවුන් එකිනෙකා ගැන නොසලකා තෙවැන්නෙකු ගැන නොසිතූ නකුල මාතා හා නකුල පිතා බෞද්ධ සාහිත්‍යයේ හමුවන පරමාදර්ශී අඹුසැමි දෙදෙනකි. මෙම ආදර්ශමත් අඹුසැමි දෙදෙනාගේ ඒකායන පැතුම ඉටුවන්නේ කෙසේදැ’යි බුදුරජාණන් වහන්සේ ඔවුන්ට පැහැදිලි කළහ. ඒ අනුව අඹු සැමියන් වශයෙන් මෙලොව දී පමණක් නොව පරලොව ද ීත් ඔවුනොවුන් දකිනු කැමැත්තෝ නම් ශ්‍රද්ධා, ශීල, ත්‍යාග හා ප්‍රඥා යන අධ්‍යාත්මික ගුණයන්ගෙන් එකිනෙකා සම විය යුතු වේ. මෙකී අධ්‍යාත්මික ගුණ අඹුසැමි දෙදෙනා තුළම එක හා සමානව පවතින්නේ නම් ඔවුනොවුන් මෙලොව දී පමණක් නොව මරණින් අනතුරුව ද නැවත හමුවන බව දේශනා කළහ. මෙම අධ්‍යාත්මික ගුණ බෞද්ධ දෘෂ්ටියෙන් විග්‍රහ කළ විට පළමු වැන්නෙන් තුණුරුවන් කෙරෙහි පවතින ශ්‍රද්ධාවත්, සදාචාරාත්මක ශික්ෂණයත්, පරිත්‍යාග ගුණයත් ප්‍රඥා සම්පත්තියත් අදහස් වේ. බෞද්ධ නොවන දෘෂ්ටියෙන් ගත් විට ශ්‍රද්ධාව වෙනුවට තමන් අදහන ආගම කෙරෙහි පවතින භක්තිය අදහස් කළ හැකි ය. සෙසු අධ්‍යාත්මික ගුණ ආගමික භේදයකින් තොරව සියල්ලන්ට ම පොදු වේ.

අංගුත්තර නිකායේ එන මෙම නකුල පිතු සූත්‍රය කීප ආකාරයකින් ම වැදගත් කරුණු රැසක් අනාවරණය කරයි. විවාහය අර්බුදයට ලක්කෙරෙන ප්‍රධානතම හේතුව අවිශ්වාසය හා සැකය යි. නකුල පිතාට මෙන්ම නකුල මාතාවට ද ඔවුනොවුන් කෙරෙහි අල්පමාත්‍ර හෝ සැකයක් නොතිබුණි. එයට හේතුව ඔවුන් දෙපළ විවාහ වූ දින පටන් සිතින්වත් වෙනත් අයෙකු ගැන කල්පනා නොකළ බව ඔවුනොවුන් පැහැදිලිවම දන්නා බැවිණි. සිතින් වත් දෙවැන්නෙකු ගැන නොසිතූ ඔවුන් දෙපළට කයින් නම් කවර ඉක්මවීමක් විය හැකිද? එවැනි පිරිසුදු අඹු සැමි දිවියක් ගෙවූ ඔවුන් දෙපළට බුදුරදුන් වැනි උතුමෙකු ඉදිරියේ ඒ ගැන ප්‍රකාශ කිරීමට කිසිත් පැකිලීමක් නොතිබුණි. ඔවුන් දෙපළට ඇති වූ එකම ගැටලුව වූයේ මෙලොවදී එක් වූවාක් මෙන් පරලොව දී ත් එකට එකතු වන්නට අවස්ථාව සැළසේ ද යන්න ය. පරලොව තබා මෙලොවදීවත් එක්ව වාසය කිරීමට අකැමැති අඹු සැමියන් වෙසෙන ලෝකයක නකුල මාතා හා නකුල පිතා යන දෙදෙනා වැනි ආදර්ශමත් අඹු සැමියන් දක්නට ලැබීම විශ්මය දනවන කරුණකි. ඔවුන් දෙදෙනාගේ අහිංසක ප්‍රාර්ථනාව මල් ඵල ගන්වමින් බුදුරදුන් දේශනා කොට වදාළේ යට දක්වන ලද අධ්‍යාත්මික ගුණ පහ අතින් ඔවුනොවුන් සමාන වන්නේ නම් නැවතත් පරලොව දී එකිනෙකාගේ හමුවීම සිදුවන බවයි.

මෙම සූත්‍රයෙහි අඹුසැමි සම්බන්ධතාව අධ්‍යාත්මික අර්ථයකින් විග්‍රහ කොට තිබේ. එවැනි අධ්‍යාත්මික ගුණවලින් පූර්ණත්වයට පත් අඹුසැමි සබඳතා වර්තමානයට පමණක් සීමා නොවේ. එය සංසාරික වශයෙන් අඛණ්ඩව ඉදිරියටත් ගලායයි. බුදුරදුන් දේශනා කොට වදාළ සම ශ්‍රද්ධා, සම ශීල, සම චාග හා සම ප්‍රඥා යන සිව් වැදෑරුම් කරුණු මගින් අධ්‍යාත්මික මෙන්ම භෞතික අංශයත් අවධාරණය වේ.

පළමු කරුණට අනුව අඹු සැමියන් අතර පවතින අන්තර් සම්බන්ධතාව ශක්තිමත් වීමට ආගමික ශ්‍රද්ධාව බෙහෙවින් උපයෝගී වේ. තෙරුවන් කෙරෙහි සකාරණව ඇතිකරගන්නා විශ්වාසය හා පැහැදීම ශ්‍රද්ධාව යි. අඹු සැමි දෙදෙනා තුළම තෙරුවන් කෙරෙහි පවතින ශ්‍රද්ධාව එක හා සමානව පිහිටා තිබේ නම් එහි ප්‍රතිඵලයක් වන ආගමික නැමියාව සම්බන්ධයෙන් අන්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කළ හැකි වේ. දෙවැන්නෙන් සදාචාරය හා ශික්ෂණය අදහස් වේ. අඹු සැමියන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය හා සෙනහස තහවුරු වන්නේ ශීලය හෙවත් සදාචාරයෙනි. පර ස්ත්‍රී සේවනය මෙන්ම පරපුරුෂ සේවනයත් පවුලේ සාමය විනාශ වීමට බලපාන ප්‍රබලතම හේතුවයි. නකුල මාතා මෙන්ම නකුල පිතා ද සිතින් වත් ඔවුනොවුන් අභිබවා වෙනත් අයෙකු ගැන නොසිතූහ. වර්තමානයේ සිතින් පමණක් නොව කයින්ද එකිනෙකා ඉක්මවා අනාචාරයේ යෙදීම නිසා පවුල් ජීවිත බොහොමයක් අසාර්ථක වී තිබේ.

තෙවැන්නෙන් පරිත්‍යාගය හෙවත් අධ්‍යාත්මික හා භෞතික දෑ සියල්ල ඔවුනොවුන් අතර බෙදා ගැනීම අදහස් වේ. යුග දිවිය සම්බන්ධයෙන් පරිත්‍යාගය ඉතා පුළුල් අර්ථයකින් භාවිත විය යුතුවේ. ඔවුනොවුන් අතර බෙදා ගත යුත්තේ ආහාර පාන, ඇදුම් පැළඳුම් මිල මුදල් ආදී භෞතික දෑ පමණක් නොව ආදරය, සතුට, ගෞරවය, ආරක්ෂාව සුරක්‍ෂිත බව, රැකවරණය විශ්වාසය ආදී මානසික වටිනාකම් ද නොමඳව ඔවුනොවුන් අතර හුවමාරු වීම අවශ්‍ය වේ. පරිත්‍යාගයේ නිසි අරුත එයයි. මානසික වටිනාකම් ගැන නොසලකා හුදෙක් භෞතික වටිනාකම් පමණක් බෙදාගත් පමණින් අඹු සැමි සම්බන්ධය සාර්ථක නොවන බව ඉතා ධනවත් පුද්ගලයන්ගේ පවුල් ජීවිත පවා අවුල් වී තිබීමෙන් පෙනේ. ඇතැම් විටෙක භෞතික දෑ අතින් දුප්පත් වුවද, මානසික වටිනාකම් පමණක් පවතින ඇතැම් අයගේ පවුල් ජීවිත බෙහෙවින් සාර්ථක වී තිබේ. බුදුසමයට අනුව අඹුසැමි දෙදෙනා අතර වන පරිත්‍යාගය භෞතික හා අභෞතික යන අංශ දෙකෙහි ම සමතුලිත සංකලනයක් විය යුතු වේ. අඹු සැමි සම්බන්ධය සංසාරික බැඳීමක් බවට පත්කරන අවසන් කරුණ ප්‍රඥාව යි. අඹු සැමි දෙදෙනා අතර පවතින සම ප්‍රඥාව ලෞකික ජීවිතය හා සම්බන්ධ අවබෝධය පදනම් කරගත්තකි. එය විදසුන් නුවණ හා සැබැඳී ප්‍රඥාව නොවේ. ජීවිතය මෙන්ම ලෝකය හා සමාජය ගැනත් නිසි අවබෝධයක් සහිත තැනැත්තාට නුවණ මෙහෙයවා තමා මුහුණ දෙන අර්බුද විසඳා ගත හැකි වේ. යමක් සම්බන්ධයෙන් දුර දැකීමේ නොහැකියාවත්, උපාය කෞශල්‍ය ඤාණයෙන් තොරවීමත්, විචාර බුද්ධියෙන් තොරව අන්‍යයන්ගේ උපදෙස් පිළිගැනීමත්, මිථ්‍යා විශ්වාස පිටුපස හඹා යාමත් නිසා අඹු සැමි සම්බන්ධය ඛේදවාචකයක් කරගත් අය කොතෙකුත් දක්නට ලැබේ. සෙසු කරුණු මෙන් දෙදෙනා තුළම ප්‍රඥාව සමව පිහිටා තිබේ නම් ඔවුන්ගේ යුග දිවිය බෙහෙවින් අර්ථවත් වේ. බුදුරදුන් ආලවක යක්ෂයාට දේශනා කළේ ප්‍රඥා සම්පන්න ජීවිතය වඩාත් උසස් ජීවිතය බවයි (පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨං). අඹුසැමියන් වශයෙන් ඔවුනොවුන් අතර පවතින බැඳීම ශක්තිමත් එකක් බවට පත්වන්නේ යථෝක්ත සිව් වැදෑරුම් ගුණ හේතුවෙනි. තුණුරුවන් කෙරෙහි පවතින ශ්‍රද්ධාවත්, සදාචාරමය ශික්ෂණයත්, ඔවුනොවුන් අතර පවතින පරිත්‍යාගය හා බෙදාගැනීමේ රුචියත්, විනිවිද දක්නා ප්‍රඥාවත් සමතුලිතව සංකලනය වීමෙන් ඇතිවන බැඳීම සංසාරික වශයෙන් එකිනෙකා නැවත නැවතත් හමුවන එකට එක්කරන ශක්තිමත් බලවේගය වේ.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]