[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන දහම් සරසවිය බුද්ධධර්ම ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය

දහම් සරසවිය බුද්ධධර්ම ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මැයි මස 08 වනදා

 

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන දහම් සරසවිය බුද්ධධර්ම ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය මහරගම ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මැයි මස 08 වනදා.


සමාජමය වශයෙන් පිළිගැනීමක් ලැබීමටත් හේතු වේ

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව ක්‍රියාත්මක කරනු ලබන දහම් සරසවිය බුද්ධධර්ම ඩිප්ලෝමා පාඨමාලාව (ධ්ඍඅදියර) සමත් වූ සිසුන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමට සමගාමීව සුබාසිංසන පිරිනැමීමට ලැබීම සතුටට කරුණකි. ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධීක්ෂණය යටතේ දහම් සරසවිය බුද්ධධර්ම ඩිප්ලෝමා පාඨමාලාව හදාරා සාමාර්ථ්‍ය ලැබූ විද්‍යාර්ථීහු 889 දෙනෙක් මෙවර ඩිප්ලෝමාධාරීන් බවට පත්වී ඇත්තාහ.

බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම සඳහා රජය වෙත පැවරී ඇති ව්‍යවස්ථාමය වගකීම ඉටුකිරීමෙහි ලා බුද්ධශාසන අමාත්‍යංශයට හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පැවරී ඇති වගකීම ඉමහත් ය. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මෙහෙවර වන්නේ බුද්ධ ධර්මය, පාලි භාෂාව හා තදානුබද්ධ විෂය ඥානයෙන් උපලක්ෂිත, විවිධ කුශලතාවයන්ගෙන් පරිපූර්ණ, තථාගත ධර්මයෙන් විශදවන ජීවන දර්ශනයෙන් යුතු ශාස්ත්‍රධරයන් ලොවට දායාද කිරීම ය.

එබැවින් දහම් සරසවිය ආරම්භයේ සිට ම පාඨමාලාව සාර්ථකව සිදු කරගෙන යාම සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට පූර්ණ සහයෝගය ලබා දී ඇති බව සතුටින් සඳහන් කරනු කැමැත්තෙමි.

වර්තමානයේ ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් බුදුදහම ඉගෙනීමට හා හැදෑරීමට බොහෝ පිරිසක් යොමුව ඇති බව ප්‍රකට කරුණකි. මෙම පාඨමාලාව දහම් පාසල් අධ්‍යාපනය ඉහළ ගුණාත්මක භාවයට රැගෙන යාමට උපයෝගී වන බැවින් 2017 වර්ෂයේ සිට අධ්‍යයන වර්ෂ දෙකක් පුරා ක්‍රියාත්මක වන උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් දක්වා සංවර්ධනය කර ඇති බව සතුටින් ප්‍රකාශ කරමි. එය දහම් පාසල් ගුරුභවතුන්ගේ සේවාව තවදුරටත් ඵලදායීව සිදුකරගෙන යාමටත් සමාජමය වශයෙන් පිළිගැනීමක් ලැබීමටත් හේතු වනු ඇත.

සමස්ත ලංකාවම ආවරණය වන පරිද්දෙන් දිස්ත්‍රික්ක 19 ක පාඨමාලාව පැවැත්වීමට අවශ්‍ය සම්බන්ධීකරණය හා පහසුකම් ලබාදීම සඳහා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දක්වන කැපවීම ප්‍රශංසනීය වේ.

මෙම පාඨමාලාව සඳහා දහම් ගුරුභවතුන් තවදුරටත් උනන්දුකරවීමේ අරමුණෙන් දහම් සරසවිය ඩිප්ලෝමාධාරීන්ට ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වීමටත්, එම උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ශාස්ත්‍රපති, දර්ශනපති, දර්ශනසූරි (ආචාර්ය) යන පශ්චාද් උපාධි දක්වා උසස් අධ්‍යාපනයේ නිරතවීමට, ඉඩ ප්‍රස්තාව සලසා ඇති බවත් සතුටින් දැනුම් දෙමි.


අතිශය වැඩදායී අධ්‍යයන වැඩපිළිවෙළක්

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ 2017 වර්ෂයේ දහම් සරසවිය, බුද්ධධර්ම ඩිප්ලෝමා පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට ලැබීම පිළිබඳ ව මහත් සේ සතුටු වෙමි. දහම් පාසල් සිසු දරුදැරියන්ගේ ධර්ම ඥානය වඩාලමින්, සේවාවෙහි යෙදෙන ගුරුභවතුන්ට විශ්වවිද්‍යාලයීය බාහිර උපාධිය ලබා ගැනීමට අවස්ථාව සැලසීම වෙනුවෙන් පවත්වන මේ පාඨමාලාව අතිශය වැඩදායී, සප්‍රයෝජනවත් අධ්‍යයන වැඩපිළිවෙළක් හැටියට අගය කළ හැකි ය.

වාර්ෂිකව පැවැත්වෙන මේ පාඨමාලාවට දහම් පාසල් ගුරුභවතුන් 2000 ක් පමණ සහභාගි වන අතර, දිස්ත්‍රික්ක 19 ක දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ පවතින මධ්‍යස්ථානයන්හි වසරකට ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබීමට මේ පිරිසට අවස්ථාව ලැබේ.

මුල් බුදු සමයේ මූලික ඉගැන්වීම්, බෞද්ධ සමාජ විඥානය, ශ්‍රී ලාංකික බෞද්ධ සම්ප්‍රදාය, පාලි භාෂාව ව්‍යාකරණය හා භාෂාවබෝධය ඇතුළු විෂයයන් කිහිපයක් මේ පාඨමාලාවට ඇතුළත් වේ. දහම් පාසල් ගුරුභවතුන් බුදුසමය හා ඊට පාදක වන විවිධ පාර්ශ්ව පිළිබඳව ප්‍රාමාණික අවබෝධයක් සහිත බහුශ්‍රැත පුද්ගලයන් බවට පත්වීමට මේ අධ්‍යයන පාඨමාලාවෙන් සිදු වනුයේ අනල්ප මෙහෙයකි. දහම් පාසල් අධ්‍යාපනයේ ප්‍රවර්ධනය පිණිස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මෙලෙස පුළුල් අයුරින් කැප වනුයේ වෙසෙසින් ම බොහෝ දුෂ්කරතා මධ්‍යයේ කටයුතු කරන දහම් පාසල් ඇදුරු සමූහයාට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදෙමින් ඔවුන් ස්වකීය විෂය ක්ෂේත්‍රයේ පරිණත පුද්ගලයන් බවට පත් කිරීම පිණිස ය.

2017 වර්ෂයේ සැප්තැම්බර් මස පැවැත් වූ විභාගයෙන් සමත් 889 දෙනෙකුට දහම් සරසවිය ඩිප්ලෝමා සහතිකපත්‍ර පිරි නැමෙන මේ මොහොතේ, ඒ සියලු ගුරු භවතුනට මාගේ හෘදයංගම සුභාශිංසනය පිරිනමන අතර, දිගු කලක් මේ අනගි පාඨමාලාව මගින් සමාජීය මෙහෙයක් ඉටු කිරීමට හැකි වේවා යි ද ප්‍රාර්ථනය කරමි.


ඉගෙනුමයි කුසලතාවය යි ඉතා වැදගත්

බුදු දහම, ආගම යන්න අභිබවා ගිය මානව සහ සමාජ ජීවිතයත්, සමස්ත විශ්වයේ පැවැත්මත් ගැඹුරින් විශ්ලේෂණය කරන, මනුෂ්‍ය පැවැත්ම වඩා අර්ථවත් කිරීම සඳහා ජීවන මාර්ගයක් පෙන්වා දෙන සුවිශේෂ අධ්‍යාත්මික දර්ශනයකි. බුද්ධධර්මයේ ගැඹුර සහ හරය සරලව ළමා පරපුර වෙත ප්‍රවේශ කිරීම සඳහා දහම් පාසල් අධ්‍යාපනය වඩාත් පුළුල් වීම සහ නම්‍යශීලි වීම යුගයේ අවශ්‍යතාවය කි. මේ සඳහා දහම් පාසල් ගුරුභවතුන් දැනුමින් සහ කුසලතාවයෙන් සන්නද්ධ කිරීම ඉතා වැදගත් වේ.

බුද්ධ ශාසන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය ඒකාබද්ධව වාර්ෂිකව පවත්වනු ලබන දහම් සරසවිය බුද්ධධර්ම ඩිප්ලෝමා පාඨමාලාව නිපුණ දහම් ගුරුවරුන් බිහිකිරීමේ විෂයය ධාරාවකින් පොහොසත් බව පැහැදිල ි ය.

2017 වර්ෂයට අදාළව දහම් ගුරු ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කර සහතිකපත් ලබන සියලු ම ගුරුභවතුන් , දූ දරුවන් සඳහා බෞද්ධ දහම් අධ්‍යාපනය ලබා දීමේ දී කැපවුණු අර්ථසම්පන්න මෙහෙවරක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරමින්, හෘදයාංගම සුභාශිංසන එක්කරමි.


නැණ නුවණින් හා ගුණ දහමින් පිරිපුන් ප්‍රජාවක්

මනුෂ්‍යයා තුළ වැදගත් වන්නේ චර්යාව යි. හැසිරීම යි. කොතරම් නිලය, බල පරාක්‍රමයක් පැවතිය ද ඔහුගේ හෝ ඇයගේ වටිනාකම රැඳෙන්නේ අධ්‍යාත්මික සදාචාරාත්මක ස්වරූපය ප්‍රායෝගික වූ තරමට ය. භෞතික හා අධ්‍යාත්මික දියුණුව උදෙසාත් පුද්ගල සංවර්ධනය උදෙසාත් , සිරිත් – විරිත්, කුසල් – අකුසල් , හොඳ – නරක, කළයුත්ත– නොකළයුත්ත , ආචාර ධර්ම හඳුනාගෙන ප්‍රඥාවෙන් යුතුව නිවැරැදි ජීවිතයක් ගත කිරීමට මඟ පෙන්වීම දහම් අධ්‍යාපනයේ මූලික අරමුණ යි.

ලාංකේය විධිමත් අධ්‍යාපනයේ සමාරම්භය සිදු වූයේ පන්සල හා පිරිවෙන් කේන්ද්‍රකර ගනිමිනි. ගමයි – පන්සලයි යන සංකල්පය හරහා බෞද්ධ දරුවන්ට බුදුදහම පිළිබඳ දැනුම මෙන්ම බෞද්ධ සිරිත් විරිත් අනුව ජීවිතය සරුකරලීමේ අදහසින් ආරම්භ වී ඇති මෙම දහම් පාසල් අධ්‍යාපනය මගින් අතීතයේ සිට ම නැණ නුවණින් හා ගුණ දහමින් පිරිපුන් ප්‍රජාවක් බිහි කරලීමට හැකි වී ඇත.

මෙහිදී මානව දයාවෙන් යුතු නිවැරැදි ක්‍රියාවන්හි යෙදීමට සිත පොළඹවන ආකල්පවලින් යුතු උදාරතර මිනිසෙකු තැනීමේ කාර්යයේ දී හා දහම් දැනුමෙන් පරිපූර්ණ වූ ගුණගරුක යහපත් දරුවකු සමාජගත කිරීම වෙනුවෙන් දහම් පාසල් ගුරුභවතුන් නිස්සරණාධ්‍යාසයෙන් අමිල මෙහෙවරක් ඉටු කරනු ලබයි.


ප්‍රශස්ත සමාජ මෙහෙවරක නිරතව සිටියි

දහම් පාසල් ගුරුවරයා යනු නිහඬ එහෙත් අතිශය වැදගත් සමාජ මෙහෙවරක නිරතව සිටින්නෙකි. සදාචාර සම්පන්න සමාජයක් බිහිකොට මානව හිතවාදී , පරිසර හිතවාදී ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ඔවුහු තම ශ්‍රමය හා කාලය කැප කරති. එය වටිනා යුග මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි අතර සමාජයේ සියලු දෙනාගේ ගෞරවය දහම් පාසල් ගුරුවරයා වෙත හිමි විය යුතු ය. රට පුරා බෞද්ධ දහම් පාසල්වල දහම් අධ්‍යාපනය ලබා දීමේ නිරතව සිටින 125,000 කට අධික දහම් පාසල් ගුරුවරුන්ගේ සේවය ඇගයීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාවට නංවනු ලබන වැඩසටහන් අතරින් එකක් වනුයේ දහම් ගුරු ඩිප්ලෝමා පාඨමාලාව යි.

එමගින් දහම් පාසල් ගුරුවරයෙකු වශයෙන් වන නිපුණතා හා අධ්‍යාපනික මට්ටම ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. ඊට අමතරව වාර්ෂිකව පුස්තකාල දීමනාවක් ලබාදීම, නිල ඇඳුම් ලබාදීම, දහම්ගුරු කුසලතා සංවර්ධන වැඩසටහන් හා බරපතල රෝගී තත්ත්වයන්වලදී වෛද්‍ය ආධාර ලබා දීම වැනි වැඩසටහන් ද රජය මගින් ක්‍රියාත්මක කරනු ලැබේ.

දහම් පාසල් ගුරුවරුන්ගේ සුබසාධනය හා ඔවුන්ගේ ජාතික මෙහෙවර ඇගයීම සඳහා තවත් බොහෝ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව මාගේ විශ්වාසයයි. ප්‍රශස්ත සමාජ මෙහෙවරක නිරත වී සිටින දහම් පාසල් ගුරුභවතුන් උදෙසා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය ඒකාබද්ධව 2017 වර්ෂයේදී පවත්වන ලද පාඨමාලාව සාර්ථකව නිම කොට 2019 මැයි මස 08 වන දින සහතිකපත්‍ර ලබන දහම් පාසල් ගුරුභවතුන් සියලු දෙනාට මාගේ සුබපැතුම් පිරි නමමි.


ඉතා ඵලදායි වැඩසටහනක්

නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව මෙහෙය වන දහම් සරසවිය බුද්ධධර්ම ඩිප්ලෝමා පාඨමාලාව ශ්‍රී ලංකාවේ දහම් පාසල් පද්ධතියේ සක්‍රීයව සේවය කරන එක් ලක්ෂ විසිහය දහසකට අධික ගුරු භවතුන්ගේ දහම් දැනුම ප්‍රවර්ධනයෙහිලා මහෝපකාරි වන ඉතා සඵලදායි වැඩසටහනක් බව මාගේ විශ්වාසය යි.

දිවයින පුරා පවත්වාගෙන යන දහම් පාසල්වල දහම් සරසවිය බුද්ධධර්ම ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව හැදැරූ 889 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කරනු ලබන අද දින ඒ සඳහා සුබ පැතීමට අවස්ථාවක් ලැබීම ගැන අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් අතිශයින් සතුටු වෙමි.

ශික්ෂාකාමී, මානුසිකත්වයෙන් හෙබි අනාගත පරපුරක් ගොඩනැගීම සඳහා ඇප කැපවී කටයුතු කරන දහම් පාසල් ගුරු භවතුන්ටත් දහම් පාසල් අධ්‍යාපනයට ගුණාත්මක වටිනාකමක් එක් කිරීම සඳහා මූල්‍ය පහසුකම් සලසන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත්, අධ්‍යයන කටයුතු ඉටු කිරීමේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යායයන් වහන්සේ ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයටත්, මෙම සද්කාර්යයට අත හිත දෙන අනෙකුත් සියලුම දෙනාටත් මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනැමීමටත් මෙය අවස්ථාවක් කර ගනිමි.

එමෙන්ම දහම් දැනුමෙන් පෝෂිත දැහැමි සමාජයක් ගොඩනැගීම උදෙසා ඇප කැප වී කටයුතු කරන ඩිප්ලෝමාලාභී ගුරු භවතුන්ට මාගේ විශේෂ සුබාශිංසන පිරිනමමි.


දහම් අධ්‍යාපනයේ නියමුවන්

දහම් පාසල් මගින් සදාචාරාත්මක සමාජයක් බිහි කිරීම උදෙසා නිස්සරණාධ්‍යාසයෙන් ඉටු කරන සේවාවන් ශක්තිමත් කිරීම සඳහා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින් දහම් පාසල් ගුරුභවතුන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන දහම් සරසවිය බුද්ධධර්ම ඩිප්ලෝමා පාඨමාලාවේ සිව්වන අදියර සාර්ථකව අවසන් කිරීමට හැකි වීම පිළිබඳව අතිශය සතුටට පත් වෙමි.

දහම් සරසවිය බුද්ධ ධර්ම ඩිප්ලෝමා පාඨමාලාව ආරම්භ කිරීමට මූලික අරමුණ වූයේ දහම් පාසල්ගුරුභවතුන් දහම් දැනුමෙන් සන්නද්ධ කර ඔවුන්ගේ අනාගත ඉලක්ක සපුරාලීම මෙන්ම දරුවන්ට මනාව දහම් දැනුම ලබාදීමට හැකි ගුරුවරයෙකු බිහි කිරීම ය. ඒ අනුව මෙම පාඨමාලාව හැදෑරූ ගුරුභවතුන් 889 දෙනෙකු සඳහා අද දින සහතිකපත්‍ර පිරිනැමීම සැමට විශාල සතුටට කරුණක් ලෙස මම දකිමි.


අරමුණ මල්ඵල ගැන්වේ

1995 අංක 37 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනතේ අරමුණු මල්ඵල ගැන්වීමක් ලෙස ද මෙම සත් කාර්යය හඳුනා ගත හැකි ය. දිස්ත්‍රික්ක 19 ක් පුරා පිහිටි දහම් පාසල්වල ගුරුවරුන්ගේ දැනුම හා ඉගැන්වීම් ආකල්ප වර්ධනය කිරීමටත් ඔවුන්ගේ හැකියාවන් හා නිපුණතාවන් උසස් මට්ටමක පවත්වා ගැනීමේ අරමුණින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය හතරවන වරටත් එක්ව මෙම ජාතික වැඩසටහන සංවිධානය කිරීම කාලෝචිත අවශ්‍යතාව කි.

සදාචාරවත් සමාජයක් බිහි කිරීමටත්, දහම් දැනුම ලබා ගැනීමටත් ගම් දනව් පුරා විහිදී සිටින ශිෂ්‍ය පරපුරට ගුණාත්මක හා වෘත්තීය මට්ටමට ගැලපෙන ආකාරයෙන් බුදුදහම සන්නිවේදනය කළ යුතු වේ. ඒ තුළින් පුළුල් දහම් දැනුමක් දහම් පාසල්ගුරුවරුන්ට ලබා දීම සඳහා දරනු ලබන මෙම ප්‍රයත්නය ඉදිරියටත් ගම් මට්ටමින් බුද්ධිමතුන් බිහි කිරීමේ ක්‍රියාදාමයක් වනු ඇත.


දායකත්වය ඇගයීමට ලක්විය යුතුය

ස්වේච්ඡා සේවාවක් ලෙස දහම් ගුරුභවතුන් අනාගත පරපුර ගුණගරුක හා ස්වදේශීය චින්තනයෙන් යුතු පිරිසක් බවට පත්කිරීම සඳහා දක්වන දායකත්වය සැමදෙනාගේ ම ඇගයීමට ලක්විය යුතු ය.

දහම් සරසවිය පාඨමාලාව ආරම්භ කිරීමෙන් දහම් ගුරුවරුන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරදීම හා ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය ඇති කිරීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ. එහි දී පාඨමාලාවට අදාළ අධ්‍යයන කටයුතු පිළිබඳ සම්පූර්ණ වගකීම ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට පැවරී තිබේ. ලෝකයේ ප්‍රමුඛ වූ ද, විශිෂ්ටතම වූ ද බෞද්ධ විශ්වවිද්‍යාලය බවට පත්වීම දැක්ම කරගත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය එහිලා සිය කැපවීම ප්‍රදර්ශනය කර ඇති බව මෙහිදී නියතමානීව සිහිපත් කළ යුතු ය.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]