[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිතරම සැකය කුමටද?

නිතරම සැකය කුමටද?

මේ ලෝකේ අප කාටත් තියෙන එකම සැනසීම. එකම පිහිට, එකම සරණ බුදුරජාණන් වහන්සේ පමණයි. ස්වාමීණි...ඔබ වහන්සේට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකයේ පහළ වෙලා නැහැ.

අදටත් ඔබ වහන්සේ තරම් විද්‍යාඥයෙක් අපට නැහැ. ඔබ වහන්සේ එදා ලෝකය දැකපු හැටි හරි පුදුමයි” මේ නිසරු ජීවිතේ සරු කරගන්න හැටි අපට කියලා දුන්නා. සක්විති රජෙක් වෙන්න පින තිබුණ ඔබ වහන්සේ සක්විතිරජකම එපා කියලා දුක් වින්ඳේ කවුරු නිසා ද?

හරි පුදුමයි බුදුහාමුදුරුවනේ, ඔබවහන්සේගේ බුදු කරුණාව. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් පිරිපුන් ඔබ වහන්සේ මොන තරම් භාග්‍යවන්ත ද? ඔබ වහන්සේ කෙස් වැටිය කපා දාලා කසා වතක් පොරවාගෙන දුක් වින්දේ අපි වෙනුවෙන්. ඔබ වහන්සේ සසර ගමන කෙටි කරගෙන අප මේ සසරෙන් එතෙර කරවන්න මාර්ගය කියලා දුන්නා. ඔබවහන්සේ හිමිදිරි පාන්දර නැගිටලා සොයන්නේ අද කාටද මම පිහිට වෙන්නේ, අසරණ වෙලා මගෙන් පිහිටක් ලබන්න පුළුවන් කාටද කියලයි. අඟුල්මල්ට පිහිට වුණේ එහෙමයි . හැමෝම මූසල ගෑනි කී පටාචාරාවන්ට , නරක ගැහැණිය කියලා හැමෝම එළවා දැමූ අම්බපාලිය,රජ්ජුමාලාවන් ඒ හැමෝටම ඔබ වහන්සේගේ බුදුකරුණාව ලැබුණා.

ඔබ වහන්සේ දවසකට පැය දෙකයි සැතපුනේ. අසරණයන්ට පිහිට වෙන්න හිතන ඔබවහන්සේ හිතනවා පින පිරිලා නොමඟ ගිය කෙනෙක් ඉන්නව කියලා. පින පිරිලා නොමග ගිය ඇත්තෝ කවුද? ඒ කියන්නේ පින්වතුනේ සසරෙ පින තියෙනවා. ඒත් ආශ්‍රය නිසා නොමඟ ගිය ජීවිත තියෙනවනේ. එහෙම අය හොය හොයා ඔබ වහන්සේ ඒ අයගේ සසරේ පින මතුකෙරුවා. ඒත් අද අපේ සසරේ පින පෙනෙන කෙනෙක් මේ ලෝකයේ නැහැ. අනේ බුදුහාමුදුරුවෝ හිටියනම් අපේ හිතත් දකියි. එහෙම වුනානම් අපේ හිතේ දුක් ගින්දර අපි ඔබවහන්සේට කියනවා. අද අපේ ජීවිත අසරණයි බුදුහාමුදුරුවනේ.අපට පිහිට වෙන්න කවුරුවත් නැහැ. මිනිස්සු අද මං මුලා වෙලා. හොඳ නොහොඳ තේරුම්ගන්න බැරිව මිනිස්සු අතරමං වෙලා .

හිත හරි පුදුමයි. ජීවිතේ මොන සැප සම්පත් ලැබුණත් අපේ හිත එයින් සෑහීමකට පත්වෙනව ද? නිතරම වෛරයෙන්, ක්‍රෝධයෙන් සිත් පිරුනම අවසානයේ ලැබෙන සැපතක් තියෙනව ද? හැමදෙයක්ම හොඳ විදියට හිතන්න පුරුදු නොවෙන්නේ ඇයි? ඔබේ හිත ගලක් වෙලා. ලස්සන හිතක් හදාගන්න ඇයි ඔබ මහන්සි නොවෙන්නේ.? අමාරුවෙන් හරි ගුණ ධර්ම පුරමින් හොඳින් හිත ගොඩනගාගන්න උත්සාහ කළත් ඉඩක් ලැබෙනවද? බාහිරව පැමිණෙන කරදර කොපමණද? පින්වතුනේ බාහිර ශරීරය දිහා බලා යම් කෙනෙක් මනින්න එපා.

බාහිර ශරීරය ලස්සනට තිබුණට, ඇඳුම පැළඳුම ලස්සනට ඇන්ඳට අපේ හිත් මොන තරම් දරුණුද? කාටද කෙනෙකුගේ හිතක් දකින්න පුළුවන්. ශරීරයේ වේදනාවක් දැනුනම ඔබට පුළුවන් නේද, බෙහෙතක් බීලා හරි ඒ වේදනාව සුව කරගන්න. ඒත් හිතට එන වේදනාව සුව කරගන්නේ කොහොමද? අනේ බුදුහාමුදුරුවෝ හිටියා නම් ඔබේ හිතේ වේදනාව සුව කරගන්න පුළුවන් නේද? බුදුහාමුදුරුවෝ මහා රජ මැදුරටත් වැඩියා ‘දුගී පැල්පතටත් වැඩියා.

එදා එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා. ඒත් බැමිණිය දනට පිනට අකැමැති කෙනෙක්. දවසක් බැමිණිය කෑම උයලා බමුණාට කන්නට දෙනවා. බුදුරජාණන් වහන්සේ බමුණගේ නිවස ඉදිරිපිටට ගිහින් පිණ්ඩපාතය පිණිස වැඩ සිටිනවා. බමුණා දොරකඩට පිටුපස හරවා කෑම ගන්නවා. බැමිණිය බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා දකිනවා. බැමිණිය හිතනවා, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වැඩ සිටිනු බමුණා දැක්කොත් මේ ආහාර ටික ඔක්කොම දෙයි. ඒක නිසා නොදකින්න ඉන්න ඕන කියලා හිතලා හිසෙන් බුදුහාමුදුරුවන්ට ආපසු වඩින ලෙස කියනවා. ඒත් බුදුහාමුදුරුවොත් එතැනම වැඩ ඉන්නවා. බමුණා පිටුපස හැරිලා බලනකොට දකිනවා බුදුරජාණන් වහන්සේ වැඩසිටිනවා කියලා. බමුණා කලබල වෙලා දුවගෙන ගිහින් කියනවා ස්වාමීණි. මට සමාවෙන්න ඔබවහන්සේ වැඩියා කියලා මම දැක්කේ නැහැ අනේ..බුදුහාමුදුරුවනේ ඔබවහන්සේට දනට යමක් අපි දෙන්නේ කොහොමද? අපි ආහාර අරගෙන ඉතුරු ටික ගෙයි තියෙනවා. ඒත් බුදුකෙනෙකුට කොහොමද? එහෙම දෙන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා කමක් නැහැ. බමුණ අනුන්ගෙන් යැපෙන්නන් නිසා ඒකටකමක් නැහැ. බුදුහාමුදුරුවෝ ඒ බමුණගෙ ගෙදරට වැඩියේ මොකද දන්නවද පින්වතුනේ. බුදුකරුණාවට දැනුණා මේ බමුණා සසරේ පින් ඇතිකෙනෙක් කියලා. ඒත් බැමිණිය නිසා ඒ පින වැළකිලා .

පින්වතුනේ...ඔබ වෙළෙඳ පොළකට ගිහින් තෝරන්නේ හොඳම එළවළු නේද? ඔබ මොහොතකටවත් පනුවන් විදපු එළවළු තෝරාගන්නේ නැහැනේ. හුඟක් බලන්නේ ලස්සන, පලුදු, නොවිච්ච පනුවන් නොවිදපු එළවළු විතරනේ. ඒත් ඔබ දන්නවද පනුවෙක්වත් විදපු නැති එළවළුවක් ඔබ කනවයි කියන්නේ .ඒවායේ මොන තරම් විෂ බෙහෙත් වර්ග ගල්වලාද කියලා. ඒවා ආහාරයට ගත්ත ඔබටත් ලෙඩ රෝග වැළඳෙනවනේ.

පින්වතුනේ...අපි නිතරම අනුන්ගේ හොඳ දකින්න පුරුදු වෙමු. අද ජනසමාජය පුරුදු වෙලා තියෙන්නේ අනුන්ගේ හොඳ දකින්න නෙමෙයි. හොඳ ගතිගුණ මොනතරම් තියෙන කෙනෙකුගේ වුණත් එක අගුණයක් හරි දැක්කම ඒ ගැන ඉස්මතු කර කර කතා කරන්නේ .ඇයි ඔබ නිතරම නරක වඩන්නේ. අපි කෙනෙකුගේ හොඳක් ගැන කතා කරන්න සිත පුරුදු කළොත් අපේ සිත තුළත් වැඩෙන්නේ හොඳ සිතිවිලි. ඒ කියන්නේ සම්මා සමාධිය. ඒත් පින්වතුනේ අපි නිතරම අනුන්ගෙ දොස්ම කතා කළොත්.

අපේ සිත තුළ වැඩෙන්නෙත් මිච්ඡා සමාධියයි. හොඳ දේ හොඳට දකින්න අපි සිත පුරුදු කරමු.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]