[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිනිසත් බවේ වටිනාකම අගයමු

මිනිසත් බවේ වටිනාකම අගයමු

තිස් වසරක අඛණ්ඩ යුද්ධයෙන් පසු අප රටෙහි ජනතාවගේ මුවඟට නැංවූ සිනහව, කඳුළකට පෙරළී ඇත. රටට දැයට හිතකාමී දේශාපාලනඥයින්, වියතුන්, ව්‍යාපාරිකයින්, ගොවි කම්කරුවන් ආදී සියලු දෙනාගේ ම නිශ්චිතාර්ථයන් සාධනය පිණිස පැවැති අරමුණු සාධනයට එම බිහිසුණු ප්‍රහාරය ප්‍රබල බාධකයක් වී ඇත.

එදා අප රට රාජ්‍ය පාලන යුගයෙහි ධර්මද්වීපය නමින් ප්‍රකට වූ අතර, සහලින් ස්වයංපෝෂිත වූ, 'අඤ්ඤමඤ්ඤ පියචක්ඛුහී සමනුපස්සිතබ්බං' යන ආකාරයට ඔවුනොවුන් දෙස පි‍්‍රය ඇසින් බලන, සිනහවෙන් පිරි මුහුණින් යුත් සාමකාමී ජනතාවක් විසූහ.

සියලු භෞතික සම්පත්වලින් පරිපූර්ණ, හදිසි ආපදා අවම වූ, සශි‍්‍රක වූ ස්වභාව සෞන්දර්යයෙන් පිරිපුන් රටක් වූ අප රට නිදහසින් හැට වසරක් ගත වුව ද තවමත් සංවර්ධිත රටක් බවට පත් කිරීමට අප අපොහොසත් වී ඇත.

විවිධ ජාතීන් හා ආගම් නියෝජනය කරන රටක් වූ අප රටෙහි ජනතාව ආගමික ජාතික දෘෂ්ටි කෝණවලින් නොබලා ශ්‍රී ලාංකිකයන් වශයෙන් සිතමින්, සහෝදරත්වයෙන් කටයුතු කිරීම පැමිණ තිබෙන සහ පැමිණෙන සියලු අභියෝග ජය ගැනීමට හේතු වන්නකි.

අනාගතයෙහි පැමිණෙන අභියෝග ජය ගැනීම සඳහා ළමා මනස සකස් කිරීම වැදගත් කොට සැලකිය යුතුව ඇත. සිංහල, දෙමළ, කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් ආදී වශයෙන් පාසල් බෙදා වෙන් නොකොට ඔවුනොවුන් එක මවකගේ දරුවන් ලෙස සහෝදරත්වයෙන් කටයුතු කිරීමට හැකි අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීම හදිසි ජාතික අවශ්‍යතාවයකි.

අද ලෝකයේ සංවර්ධිත රටවල් ලෙස සලකන චීනය, ජපානය, කොරියාව ආදී රටවල් සාමකාමී සහ සංවර්ධිත රටවල් බවට පත් වී ඇත්තේ එක මවකගේ දරුවන් ලෙස රට ගැන සිතිය හැකි පිරිසක් බිහි කිරීමට සමත් අධ්‍යාපන ක්‍රමවේදයක් එම රටවල ක්‍රියාත්මක වන බැවිනි.

කුඩා කල සිටම වර්ගවාදී, ආගම්වාදී හැඟීම් මතු කිරීම රටෙහි අනාගතය අර්බුදයකට ලක් කිරීමකි. දුටුගැමුණු රජු යුද පිණිස ගියේ ජාතියකට එරෙහිව නොව රට තුළ සාමකාමී බව, එක්සත් බව පිණිස ය. එදා සිට මෙදා දක්වා රටෙහි එක්සත් බව පිණිස සියලු ජාතීන් දිවි පිදූ බව ළමා මනසට ඒත්තු ගැන්විය යුතු ය.

විශේෂයෙන් මෙම අවස්ථාවෙහි ආගමික නායකයින් හට සුවිශේෂී කාර්ය භාරයක් පැවරී ඇත. තවමත් අප රට තුළ ජනතාව ආගමික නායකයින්ට සවන්දීමේ ප්‍රවණතාවක් ඇත. මේ නිසා රජයේ මැදිහත් වීම මඟින් බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් ආදී ආගම් මගින් ක්‍රියාත්මක දහම් පාසල් අනිවාර්ය කොට ඒ සියලු ආගම් මගින් කියවෙන සහෝදරත්වයෙන් සුහදශීලීව, චිත්තවේගයන් පාලනය කොට ගෙන එක මවකගේ දරුවන් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම දරුවන්ගේ මනසට කාවැද්දීම සියලු ව්‍යසනයන්ගෙන් රට මුදවා ගැනීමට හේතුවන එක් කරුණකි.

ප්‍රශ්නයක් නිරාකරණය කර ගැනීම සඳහා බුදුදහම පෙන්වා දී ඇති ක්‍රමවේදයක් වන්නේ ප්‍රශ්නයට හේතුව සොයා ගොස් එයට පිළිතුරු සැපයීමයි. රෝගියෙකු නිට්ඨාවට සුවපත් කිරීමට එම අවස්ථාවේ දී පමණක් වේදනා නාශක ලබාදීම ප්‍රමාණවත් නොවේ. එය තාවකාලික ය. රෝග නිධානයට ප්‍රතිකාර කළ යුතු ය. මේ අයුරින් ළමා මනස තුළ ආකල්ප සංවර්ධනය කිරීම, රෝග නිධානයට ප්‍රතිකාර කිරීමක් ලෙස සලකමි. මේ සඳහා ගුරුවරුන්, විද්වතුන්, ආගමික නායකයින්, දේශපාලනඥයින් සහ සියලු දෙනා එකතු වී ක්‍රමවත් අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කළ යුතු ය.

මෙම අර්බුද ජය ගැනීම සඳහා දේශපාලඥයින් සතුව විශාල වගකීමක් ඇත. විශේෂයෙන් රාජ්‍ය පාලකයන්ගේ වගකීම වන්නේ, රටෙහි ජනතාවගේ ආර්ථික සුරක්ෂිතතාව ඇති කිරීම, උගත් බුද්ධිමතුන්ගේ අවවාද අනුශාසනා ලැබීම ය.

පැමිණි සහ පැමිණෙන ඕනෑම අභ්‍යන්තර සහ බාහිර අභියෝගයකට ඉතා සාර්ථකව මුහුණදීමට මෙම ක්‍රියාකාරකම්වලින් හැකියාව ලැබෙන බව මහෞෂධ ජාතකයෙන් හා ලිච්ඡවී රජදරුවන්ගේ කතා පුවතෙන් පෙන්වාදිය හැකි ය.

ආර්ථික ගැටලු රට තුළ විවිධ අර්බුද පැන නැගීමට හේතු වන්නක් බව චක්කවත්තී සීහනාද සූත්‍රයෙන් පෙන්වාදිය හැකි ය. රට තුළ ආර්ථික සුරක්ෂිතතාව තිබේ නම් ජනතාව විවිධ කල්ලි, කණ්ඩායම්වලට බෙදී මිල මුදල් වෙනුවෙන් දුරාචාරයන් සිදු කිරීමේ ක්‍රමවේදයන්ගෙන් මිදීමේ අවස්ථාව උදා වේ.

එමෙන්ම රජු ධාර්මික නම් ජනතාව තමාගේම දරුවන් මෙන් සලකමින් සතර අගතියෙන් තොරව දානය, පි‍්‍රයවචනය, සමානාත්මතාව, අර්ථචර්යාව යන ගුණයන්ගෙන් සුපෝෂිතව, ඔවුන්ගේ දුක, සැප පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරමින් ඒවාට තිරසාර විසඳුම් ලබාදෙමින් තමාගේ සුඛ විහරණය සඳහා නොව ජනතාවගේ සුඛ විහරණය සඳහා කටයුතු කිරීම අර්බුද විසඳාලීම පිණිස හේතුවන්නක් බව පෙන්වාදීමට කැමැත්තෙමි.

එමෙන්ම බුදුරජාණන් වහන්සේ වුව ද රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස සැලකූ අතර, භික්ෂූන් වහන්සේලාට ද රාජ්‍ය නීතියට යටත් විය යුතු බව පෙන්වා දී ඇත. එමඟින් වැටහෙන්නේ රටේ ආරක්ෂාව පිණිස සෑම දෙනාට ම පොදු වූ නීතියක් ක්‍රියාත්මක විය යුතු බව යි. කිසි විටක රටේ ආරක්ෂාව අවතක්සේරුවට ලක් නොකළ යුතු ය.සතුරන් හට කිසිදු ඉඩකඩක් විවර නොකළ යුතු ය.

පැරැණි යුගයේ ඉතා ප්‍රබල චරපුරුෂ සේවයක් තිබූ බව ඉතිහාසයෙහි සඳහන් වේ. ඒ අයුරින් ඉතා ප්‍රබල බුද්ධි අංශයක් ක්‍රියාත්මක වීම රටේ ආරක්ෂාවට ඉතා හිතකර බව පෙන්වාදෙනු කැමැත්තෙමි.

චරිත ශක්තිය, ඥාන ශක්තිය හා කාය ශක්තියෙන් හෙබි සමාජයේ ප්‍රශ්න විනිවිද දැකිය හැකි ආරක්ෂක සේවයක් සකස් කිරීම රටෙහි මෙබඳු අර්බුදයන් විසඳාලීම සඳහා ඉතා වාසිදායක ය.

මේ අයුරින්ම රටේ ආරක්ෂාව පිණිස දුටුගැමුණු, ගජබාහු, පරාක්‍රමබාහු ආදී මහා නරපතියන් කටයුතු කළාක් මෙන් භෞතික හා මානව සම්පතින් පිරිපුන් ආරක්ෂක සේවයක් ක්‍රියාත්මක කිරීම ද වැදගත් ය.

එමෙන්ම රටේ ජනතාව ද මනා සිහියෙන් සහ විමසීමෙන් බුද්ධිමත්ව නිරන්තර අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් ය. වර්තමානයේ ෆේස්බුක් සහ නවීන ජංගම දුරකථන භාවිතය හේතුවෙන් අවට පරිසරය පිළිබඳ පමණක් නොව තම ජීවිත අවධානම ද වැඩි කොට ගෙන ඇත. මෙම තත්ත්වයෙන් රටේ ජීවනාලිය බඳු තරුණ පරම්පරාව වහා අත්මිදිය යුතු වේ. එමෙන්ම රටේ තරුණ තරුණියන් ඕනෑම ආපදාවකට මුහුණ දීමට සමත් අයුරින් ඔවුන්ගේ පෞරුෂය ගොඩනැඟීම ද අත්‍යවශ්‍ය කරුණකි.

විශේෂයෙන් මෙම ආපදා අවස්ථාවට මුහුණ දීම සඳහා දේශපාලනඥයින්, ආගමික නායකයින්, විද්වතුන්, සිවිල් පුරවැසියන් ඇතුළු සියලු දෙනාම පක්ෂ, පාට භේද, ආගම්, ජාති, කුල , පන්ති භේද ආදිය නොසලකා මිනිසත් බවේ වටිනාකම, අගය වටහාගෙන ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් අපගේ අභිමානය, එක්සත් බව ලොවට ප්‍රකට කිරීමට එකා මෙන් පෙරට ආ යුතුව ඇත.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]