[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අගමැති සුරතින් ශ්‍රී සන්නස් පත්‍ර ලබති : ඉලුක්කුඹුරේ සාසනරතන නායක හාමුදුරුවෝ

අගමැති සුරතින් ශ්‍රී සන්නස් පත්‍ර ලබති :

ඉලුක්කුඹුරේ සාසනරතන නායක හාමුදුරුවෝ

මාතලේ ලග්ගල දාස්ගිරිය ඉසිපතනාරාම විහාරස්ථානය ආරම්භ වන්නේ රත්වත්තේ සරණංකර ලොකු හාමුදුරුවෝ පුවක්පිටිය විහාරයේ සිට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරවීම තුළිනි. ඒ 1960 වර්ෂයේ දී ය. (එදා කටුමැටි ගසා වහලයට ඉලුක් සෙවිලි කර ඉදිකරන ලද දාස්ගිරිය විහාරය අරටු දෙබලක රඳවන ලද ඝණ්ඨාර කුලුණකින් ද සමන්විත විය.)

හත්තොට අමුණ වාරිමාර්ග ජල යෝජනා ක්‍රමය යටතේ ඇති කළ ගොවි ජනපද 164 අතරින් දාස්ගිරිය ද එක් ජනපදයකි. ජනපදිකයන්ට අක්කර පහක ඉඩම් ලැබී තිබුණි. ගොඩින් අක්කර 2 ක් හා මඩින් අක්කර 3 ක් වශයෙනි. ඊට අමතරව ජනපදිකයින් හේන් ගොවිතැන ද තම ජීවිකාව කර ගත්හ. 1967 වනවිට රත්වත්තේ හිමියන් විසින් ස්ථිර සංඝාවාස ගොඩනැගිල්ලක් සහ බරණැස ඉසිපතනාරාමයේ සැලැස්මට අනුව විහාර මන්දිරයක් ද නිර්මාණය කිරීමට සමත් වූහ.


ඉලුක්කුඹුරේ සාසනරතන නා හිමි

1994 දී රත්වත්තේ සරණංකර හිමියන් අපවත් වීමත් සමඟ උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය උඩගලදෙබොක්කේ සීලානන්ද හිමියන් විහාරාධිපති ධුරයට පත්වූහ. 2009 වර්ෂය වන විට දාස්ගිරි ඉසිපතනාරාම විහාරය පරිහානියට පත්වෙමින් තිබුණි. සීලානන්ද හිමියන් තම ප්‍රධාන ශිෂ්‍ය ඉළුක්කුඹුරේ සාසනරතන හිමියන් දාස්ගිරිය විහාරස්ථානය වෙත යවනු ලැබුයේ ය.

2009 වසරේදී දාස්ගිරිය ඉසිපතනාරාමයේ භාරකාරත්වය භාරගත් ඉළුක්කුඹුරේ සාසනරතන හිමියෝ විහාරස්ථාන සංවර්ධනය ආරම්භ කරමින් ශ්‍රී සුදර්මෝදය දහම් පාසල ආරම්භ කළහ. එමගින් ජනපදයේ දරුවනට දහම් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළහ. 2011 වසරේ දී තම ගුරුදේවයාණන් වූ උඩගල දෙබොක්කේ සීලානන්ද නාහිමියන් අපවත්වීමත් සමඟ උන්වහන්සේගේ ශිෂ්‍ය ඉළුක්කුඹුරේ සාසන රතන හිමියන් දාස්ගිරිය විහාරාධිපති ධුරයට පත්වේ. ඊට අමතරව නුගගොල්ල ශ්‍රී සුභද්‍රාරාමය, පිටවල ශ්‍රී බෝධිරුක්ඛාරාමය, සුළුගුනේ ශ්‍රී අශෝකාරාමය, පුවක්පිටිය ශ්‍රී සුධම්මාරාමය, හත්තොට අමුණ ශ්‍රී සදගල විහාරය, මාඔය ශී‍්‍ර ධර්මවර්ධනාරාමය යන විහාරස්ථානවල ද විහාරාධිපති ධුරයට සාසනරතන හිමියන් පත්වූහ. පරාර්ථය උදෙසා කැපවූ ශාසනික ප්‍රතිපදාවන්ගෙන් පිරි උන්වහන්සේ දාස්ගිරිය ඉසිපතනාරාමය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්කරමින් පවතී.

නව චෛත්‍යය, දෙමහල් දානශාලාව, ශ්‍රී සාසනරතන පිරිවෙන, දෙමහල් භික්ෂු නේවාසිකාගාරය, පිරිවෙන් ගොඩනැගිල්ල ආදී විහාරාරාංග රැසක් උන්වහන්සේ විසින් මේ වන විට ඉදිකරවා ඇත. ඉළුක්කුඹුරේ සාසනරතන හිමියන් ඉටුකළ ශාසනික සේවය අගය කරමින් මල්වතු මහ විහාරය මගින් “සද්ධර්ම කීර්ති ශ්‍රී සිද්ධාර්ථ පුඤ්ඤරතන” යන ගෞරව නාමය සහිත මල්වතු මහා විහාර පාර්ශ්වයේ මාතලේ නැගෙනහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධූරය ලැබූහ.

මාතලේ දිස්ත්‍රික්කයේ නැගෙනහිර කොටසෙහි උඩසියපත්තුවේ නකල්ස් කඳුකරයට මායිම්ව පිහිටි ඉළුක්කුඹුර නම් සොබා සෞන්දර්යයෙන් අනූන ගම්පියසෙහි විසූ රත්නායක මුදියන්සේලාගේ නවරත්න බණ්ඩා සහ වැවේගෙදර කුසුමාවතී දම්පතීන්ගේ පවුලේ බාලයා ලෙස 1986 පෙබරවාරි19 දින උපත ලද කුමරුවා රත්නායක මුදියන්සේලාගේ පි‍්‍රයන්ත රත්නායක ලෙස නම් තබනු ලැබී ය. එම කුමරුවා ඉලුක්කුඹුර ප්‍රාථමික විදුහල සහ මගලකොටුව ශ්‍රී සුමන මහ විදුහලින් අධ්‍යාපනය ලබා 2000 වසරේදී පැවිදි දිවියට ඇතුළත් විය. ඒ මහනුවර හීරැස්සගල ශ්‍රී ආනන්ද බෝධි විහාරාධිපති, යටිනුවර උප ප්‍රධාන සංඝනායක ඉළුක්කුඹුරේ පුඤ්ඤරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙනි. ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය හීරැස්සගල ශ්‍රී ධර්මෝදය පිරිවෙනෙන් ලබාගත් ඉළුක්කුඹුරේ සාසනරතන හිමියන් උසස් අධ්‍යාපනය සඳහා මල්වත්තේ ශ්‍රී සංඝරාජ පිරිවෙන සහ විද්‍යෝදය පිරිවෙනෙන් ලබා ගත්හ. පසුව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත් උන්වහන්සේ 2007 වසරේදී හීරැස්සගල ශ්‍රී ධර්මෝදය පිරිවෙන් විහාරය කුරුකුත්තල පල්ලේගම රජමහා විහාරය, පොළොන්නරුව සෑගල ශ්‍රී ධර්මාරාමය යන විහාරයන්හි විහාරාධිපති ශාස්ත්‍රපති ඉළුක්කුඹුරේ පුඤ්ඤරතන නාහිමියන් සහ නුගගොල්ල ශ්‍රී සුභද්‍රාරාමාධිපති උඩගලදෙබොක්කේ ශ්‍රී සීලානන්ද නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස ඉළුක්කුඹුරේ සාසනරතන හිමි නමින් මල්වතු මහා විහාරවාසි අලුත්ගම ශ්‍රී ධර්මරක්ෂිත පියදස්සි ධම්මානන්ද නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා මල්වතු මහා විහාරවාසී දෙහිදෙණියේ ශ්‍රී සිද්ධාර්ථ රතනසාර නාහිමියන් සහ ගන්නෝරුව රජමහා විහාරාධිපති අඹන්පොළ සුමංගල හිමියන්ගේ කර්මාචාර්යත්වයෙන් උපසම්පදාව ලැබුහ. ඉළුක්කුඹුරේ සාසනරතන හිමියන් සඟ පරපුරෙහි මහ තෙරුන් වහන්සේ ආදර්ශයට ගනිමින් ශාසනයටත්, ස්වකිය ජාතියටත්, රටටත් අනුපමේය සේවාවක් ඉටු කිරීමේ මාර්ගයට යොමු වූහ.

2006 වසරේදී හඳුන්ගමුව ශ්‍රී ඤාණිස්සර පිරිවෙන ආරම්භ කර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ධර්ම ඥානාභිවෘද්ධිය සලසමින් පරිවෙණාධිපති හිමි ලෙස වසර 05 ක කාලයක් කටයුතු කළ ඉළුක්කුඹුරේ සාසනරතන නාහිමියන් 2011 දී දාස්ගිරිය සාසනරතන මූලික පිරිවෙන ආරම්භ කළහ. අදවන විට එය මහ පිරිවෙනක් බවට පත්කිරීමට උන්වහන්සේට හැකි විය. වර්තමානය වන විට ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 50 නමක් පමණ ශාසනයට දායාද කොට ඇත. ඉළුක්කුඹුරේ සාසනරතන නාහිමියන් වෙත අභිනව නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කිරීමට නියමිතව තිබිණි.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]