[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මා හට නොවරදී සිතන අයහට නිතර වරදී

මා හට නොවරදී සිතන අයහට නිතර වරදී

" කේන්තිය ඇතිවීමෙන් හානි පැමිණෙන්නේ තමාට පමණි. කය, වචන යන දොරටු දෙක ක්‍රියාත්මක වුවහොත් පමණක් සමාජය අයහපත් බවට පත්වේ. එවැනි අවස්ථාවලදී වචනයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන්නටත්, කයින් කිසිවක් නොකර නිශ්චල ලෙස කටයුතු කිරීමටත් අවබෝධ කරගත යුතු ය. බොහෝ බුද්ධිමත්හු මනසෙහි විකෘති ස්වභාවයක් හටගත් විට කය, වචන දොරටු දෙකම සංවර කරගැනීමට උත්සාහ කරති"

ජීවිතයේ කවරදාකවත් කේන්ති නොගිය පුද්ගලයකු සොයාගැනීමට උත්සාහ කිරීම අරුත් සුන් ක්‍රියාවකි. පුද්ගලයෙකුට කේන්තියක් ඇතිවීමට හේතු කිහිපයක් බලපානු ලබයි. තමා තුළ පවතින අඥාන බව එක් හේතුවකි. තමන් ඉහළ මිනිසකු ලෙස සිතාගෙන සිටින පුද්ගලයාටත් නිතර කේන්ති යයි. තමාට අදාළ නොවන යමක් මනසින් අල්ලා ගැනීමට යාමේ වරද නිසා ද කේන්ති ඇති වේ. ඔබට කේන්ති ගිය අවස්ථාවක් සලකා බැලුවහොත් මින් එකක් හෝ කිහිපයක් බලපා ඇත.

කේන්තිය ඇතිවීමෙන් හානි පැමිණෙන්නේ තමාට පමණි. කය, වචන යන දොරටු දෙක ක්‍රියාත්මක වුවහොත් පමණක් සමාජය අයහපත් බවට පත්වේ. එවැනි අවස්ථාවලදී වචනයෙන් කිසිදු අදහසක් ප්‍රකාශ නොකරන්නටත්, කයින් කිසිවක් නොකර නිශ්චල ලෙස කටයුතු කිරීමටත් අවබෝධ කරගත යුතු ය. බොහෝ බුද්ධිමත්හු මනසෙහි විකෘති ස්වභාවයක් හටගත් විට කය, වචන දොරටු දෙකම සංවර කරගැනීමට උත්සාහ කරති. එබඳු පුද්ගලයාට කෙතරම් කේන්ති ගිය ද, සමාජමය ඛේදවාචකයක් බවට පත් නොකරයි. එබඳු හැසිරීම් ඉදිරියේ ඔබ පරාජිතයකු ලෙස සමාජය හෝ ඔබ විසින් ම හඳුන්වාගනු ලැබුව ද එම අවස්ථාවේ නිහඬව සිටි ඔබ කෙතරම් බුද්ධිමත් අයෙකුදැයි පසුව වැටහෙනු ඇත. කතා නොකළ යුතු අවස්ථාවල දී නිහඬව සිටීම වෘතයක් ලෙස පිරුව ද එයින් වාසියක් මිස අලාභයක් ඇති නොවේ.එය බුදුදහමේ මෝන්‍යෙය ප්‍රතිපදාව ලෙස අරුත් දක්වා ඇත. අර්ථවත් නැති කතාවට වඩා නිහඬව සිටීම කෙතරම් අනගි ද යන්න බුදුදහම සාකච්ඡා කර ඇත.

සාමාන්‍ය කේන්තිය, පුරුද්දට යන කේන්තිය සහ පවතින කේන්තිය වශයෙන් කේන්තිය කුමන ආකාර ගත්ත ද, ජීවිතයෙහි ස්වභාවය වෙනස්වීම එයින් සිදුවේ. එමගින් තමාගේ කටයුතු අපිළිවෙළක් ඇතිකරගනී.

කිපෙන පුද්ගලයා අර්ථය නොදනියි ( බුද්ධෝ අත්ථං න ජානාති) ඔහු ධර්මය ද නොදකියි. ( බුද්ධෝ ධම්ම ං න පස්සති) කේන්තියාම සාමාන්‍ය ස්වභාවයක් වුව ද, එබඳු සිතිවිලිවලින් යම් කටයුතුවල නිරතවීමෙන් සිදුවෙන අලාභය සාමාන්‍ය ගණයෙහි ලා සැලකිය නොහැකි ය.

තිරිසන් සතා ඉතා ඉක්මනින් කෝපයට පත්වෙයි. තමා හා තම අවශ්‍යතා පමණක් සිතා සිටින බැවින් ඉක්මනින් කෝපයට පත්වෙයි. ශරීරයේ ස්නායු පද්ධතියට හානිවීම සහ රුධිර සංසරණ පද්ධතියට බලපෑම් එල්ලවීම ඉන් සිදුවෙයි. ඔබ තුළ, පවතින විකෘති මානසික තත්ත්වය නිසා නිවස තුළ රැකියා ස්ථානයේ හෝ වෙනත් යම් ස්ථානයක බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුවේ. ඇතැමෙක් තම වැරැදි මානසික තත්ත්වය අවබෝධ කරගෙන හැකි ඉක්මනින් එය මඟහරවා ගැනීමට උත්සාහ කරති.

ඔබගේ ජීවිතයේ එබඳු අත්දැකීම් කොපමණ ප්‍රමාණයක් තිබේදැයි සිතා බලන්න. සංඛ්‍යාත්මක වශයෙන් එම ප්‍රමාණය වැඩි නම්, පුද්ගලයෙකු වශයෙන් ඔබ අසාර්ථක කෙනෙකි. එනිසා ඔබට ලබාගත හැකිව තිබූ දියුණුවෙන් අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් ඔබ ලබාගෙන ඇති දැයි සිතා බලන්න.

එනිසා තමා විසින් තමා පිළිබඳව දවසකට විනාඩි පහක පමණ කාලයක් මනසින් සිතා බලන්න. එමගින් ඔබට ස්වයං පාලනයක් ඇතිකරගැනීමට හැකියාව උදාවෙයි. එසේ නොවුණහොත් ඔබට දුර ගමනක් යාමට නොහැකි බව අවබෝධ කරගත යුතුයි.

තමා සියල්ල දන්නා නිසා අන්‍යයන්ගේ වැරැදි අඩුපාඩු නිතර පෙනෙන බව යමෙකු ප්‍රකාශ කරතත් ඒ පිළිබඳව නැවත සිතා බැලිය යුතු ය.

කාහටත් වරදී – ඉති දොස්කීම වැරදී
මා හට නොවරදී – සිතන අය හට නිතර වරදී

පුද්ගල මනසෙහි හටගන්නා වූ සිතිවිලි හා ඔහු එය ක්‍රියාත්මක කරවීමට ගනු ලබන ක්‍රියාමාර්ග පුදුම සහගත ය. තමා සිතන පතන සියල්ල තමාගේ ලාභය ද, වාසිය ද, පිණිසම සිතයි. සමාජයේ අනෙක් අය එයට එරෙහිව කටයුතු කළහොත් එහි සාවද්‍ය නිරවද්‍ය බව නොසොයාම කිපෙයි. තමා සිතන ආකාරයට අන්‍ය අය ද සිතිය යුතු ය, යන සිතිවිල්ල තුළ ක්‍රියාත්මක වෙයි. තමන් වෙත පැමිණි සිතිවිල්ල වෙනත් කිසිවෙකු හට නොගත යුතු යැයි ද ක්ෂණයකින් කල්පනා කරයි. එසැණින් කිපී අන්‍යයාට වාග් ප්‍රහාර එල්ල කිරීම වීරකමක් ලෙස ද සිතන අනුවණ පිරිස සමාජයේ බොහෝ සිටිති.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 04 වනදා සෙනසුරාදා අපරභාග 04.03 ට ලබයි. 05 වනදා ඉරිදා පූර්වභාග 04.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 04 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය මැයි මස 12 වනදා ඉරිදා.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 04

First Quarterපුර අටවක

මැයි 12

Full Moonපසෙලාස්වක

මැයි 18

Second Quarterඅව අටවක

මැයි 26

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]