UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඒහි පස්සික 04: ධර්මය පිළිපැදීම යහපත් පාඩමක්

ධර්මය පිළිපැදීම යහපත් පාඩමක් :

අපි කල්පනා කර බලමු යම්කිසි ක්‍රීඩාවකින් ජයග්‍රහණය හිමිකර ගත යුතු තැනැත්තාට, එසේත් නොමැති නම් උස පැනීමේ තරගයෙන් ජයගත යුතු තැනැත්තාට පිහිනීමේ තරඟයට පුහුණු වූවාට උස පැනීමේ තරඟයෙන් ජය ලබාගත නොහැකියි.

ඒ තරඟකරු උස පැනීමේ පුහුණුවන වාරයක් පාසා ඔහු උස පැනීමෙහි දක්ෂයෙකු වෙනවා. ඒ උස පැනීමේ තරගයෙන් ජය ගැනීමට ලබන පුහුණුව හා සමානයි. ජීවිතයේ සෑම දෙයකින්ම ජය ගැනීමට ඇති උත්සාහය , අධිෂ්ඨානය වර්ධනය කර ගත යුතුයි. සැම දෙයකින් ම ජය ගැනීමට සිහිය, වීර්යය, ඉවසීම, අධිෂ්ඨානය වර්ධනය කර ගත යුතුයි. එසේ නම් සිහියෙන් ම කාලය ගත කළ යුතුයි. සිහිය වර්ධනය කර ගත යුතුයි. වීර්ය වර්ධනය කරනවා නම් වීර්යයෙන් ම කාලය ගත කරමින් එය වර්ධනය කරගත යුතුයි. ඉවසීම, අධිෂ්ඨානය ආදි ගුණාංගත් එසේ ම යි.

අපේ බුදුරජාණන් වහන්සේ මේ සඳහා අපට දේශනා කොට වදාළ ක්‍රමවේදය කුමක්ද? කියලා අපි විමසා බලමු. පංචශීලය අප ඉතා අධිෂ්ඨානයෙන්, වීර්යවත් හැඟීමකින්, දැඩි සිහියෙන් නුවණින් සිල් සමාදන් විය යුතුයි. පාණාතිපාතා...අදින්නාදානා...කාමේසු මිච්ඡාචාරා.....මුසාවාදා... සුරාමෙරය...ආදියෙන් වැළකෙනවා යන දැඩි චේතනාව සිල් සමාදන්වන අවස්ථාවේ දී තිබෙනවා නම්, තමන් ඒවායෙන් වළකිනවා නම්, එවිට අප කියනවා සිල් සමාදන් වුණා කියල.

එසේ නොමැතිව දැඩි චේතනාවෙන් තොරව, පන්සිල් පද කියාගෙන ගිය පමණින් සීලය සමාදන්වීමක් වන්නේ නෑ. වෙනත් දේ ගැන සිහියක හිඳිමින් සිල්පද කී පමණින් සිල් සමාදන්වීමක් නොවන බව කල්පනා කළ යුතුයි.

සිල් සමාදන්විම පිළිබඳ සමහර අයෙක් මෙබඳු කතාවක් කියනවා. මම සිල් සමාදන් වන්නෙ නෑ. එයට හේතුව ඒ අය කියන්නෙ තමන් අතින් ඒ සිල්පද කැඩෙන නිසයි කියල. ඒ අයට අනුව අපි හිතමු. මුසාවාදා සිල්පදය කඩවීම නිසා එසේ කියනව කියල. නමුත් සීලය සමාදන්වූවාට පසුව අධිෂ්ඨානයක් තිබුණා නම්, මුසාවාදයක් සිදු වන්නේ නෑ. මුසාවාදය සිදුවන්නේ සීලය කඩ වී තිබෙද්දී එය නැහැ කියල කීවා නම්, එසේ නම් ඒ ගැන බිය නොවී සීලය කැඩෙන නිසාමයි සීලය සමාදන් විය යුත්තෙ.

උදාහරණයක් ලෙස මෙසේ කල්පනා කර බලමු. යම්කිසි පුද්ගලයෙක් සීලයෙහි අර්ථය දැනගෙන සීලය සමාදන් වෙනවා. එසේ දැනගෙන දැඩි අධිෂ්ඨානයෙන් සිල් සමාදන් වෙනවා. වෙනදා මෙන්ම තමා තුළින් වරදක් සිදුවන අවස්ථාවක් ලෙස මෙසේ කල්පනා කර බලමු.

සිල් සමාදන් වී සිටින අවස්ථාවක වෙනදා වරදක් සිදු කෙරෙන ආකාරයට මදුරුවෙක් තමා ළඟට ආවොත්, නැතිනම් සුරාපානයට යොමුවීම සඳහා අවස්ථාවක් ඇති වුවහොත් අන්න ඒ මොහොතේ දී දැඩි වීර්යයෙන් ගත් අධිෂ්ඨානයෙන් ඒ වරද නොකර සිටිනවා. ඒ වගේ එබඳු වරදක් නොකරන හැම මොහොතකම සිහියෙන් පසු වෙන්නට ඕනෑ.

වීර්යයෙන් ,ඉවසීමෙන් දැඩි අධිෂ්ඨානයෙන්, උපේක්ෂාවෙන් ,මෛත්‍රියෙන් ඉන්නට ඕනෑ. එබඳු සෑම මොහොතක ම සිහියෙන් ඉන්නවා නම් වෙනදා කඩකළ සීලය රකින හැම මොහොතක දී ම එබඳු තැනැත්තාගේ සිහිය,වීර්යය, ඉවසීම , අධිෂ්ඨානය ආදි අවශ්‍ය කරන සියලු ගුණාංග වර්ධනය වෙනවා. වෙනදා සීලය කඩකළ හැම වාරයක දී ම ඒ තැනැත්තා මානසික වර්ධනයට අවශ්‍ය කරන අංගයන් සම්පූර්ණ කරනවා.

සිහිය, වීර්යය, ඉවසීම, අධිෂ්ඨානය වැඩිවන විට වෙනදාට වඩා සීලය ආරක්ෂා කිරීමට පුළුවන්කම ලැබෙනවා.

සමහර වෙලාවට පරණ පුරුදු මතු වී කෙලෙස් මතු වී යම් කෙනෙකුගේ අතින් සීලය කැඩෙනවා. එසේ සීලය කැඩුණු ගමන් ඒ මොහොතේ ම තමන් අධිෂ්ඨානයක් ඇතිකරගත යුතුයි. අපේ බොහෝ අය තමන්ගේ අරමුණට බාධා ඇතිවන විට ඒ මුල් අරමුණ අතහරිනවා. ධර්මය පිළිපැදීම ජීවිතයට ම යහපත් පාඩමක් කියා දෙනවා. යහපත් කටයුත්තේ දී බාධා ඇතිවන හැම මොහොතේම නිවැරැදි වන ආකාරය දැඩි අවශ්‍යතාවයත්, දැඩි උත්සාහයත් හැම නිමේශයකම යෙදවිය යුතුයි. එබඳු අයුරින් ක්‍රියා කරන්නා කවදා හෝ ජයග්‍රහණය කරනවා.

සීලය සමාදන් වූ අයෙක් තමා සමාදන් වූ ඒ සීලය කැඩුණු විට තමා එය අත නොහැර ඒ සීලය කඩවූ බව දැනගත් මොහොතේ ම අධිෂ්ඨානය කර ගන්නට ඕන. මා පරුෂ වචන කියන්නෙ නෑ කියල. නැතිනම් සොරකම් කරන්නෙ නෑ කියල. අනතුරුව ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ හෝ දිනකට වරක් හෝ බුදුරදුන් පුදා බුද්ධ ප්‍රතිමා වහන්සේ අබියස දී මේ සීලය සමාදන් විය යුතුයි.

 

මැදින් පුර අටවක පෝය


මැදින් පුර අටවක පෝය මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 04.23 ට ලබයි. 15 වනදා සිකුරාදා පූර්ව භාග 03.21 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 14 වනදා බ්‍රහස්පතින්දා ය.

 

 මීළඟ පෝය මාර්තු 20 වනදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 20

Second Quarterඅව අටවක

මාර්තු 28

Full Moonඅමාවක

අපේ‍්‍රල් 04


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]