UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපා දුක නොලබා සුගතියකම වාසය

අපා දුක නොලබා සුගතියකම වාසය

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපාය කොටස් හතරකට බෙදා දැක්වූවා. නරකය, තිරිසන් අපාය, පේ‍්‍රත අපාය, අසුර අපාය වශයෙන්. ඉන් දරුණුම විපාක ඇත්තේ නරකය අපායේ ය. අට මහා නරකය සමඟ අපාය එකසිය තිස්හයකින් එය සමන්නාගත වෙනවා. ඒ අතුරෙන් පනස් පස්වන අපාය වන්නේ ඒකකල්ප නරකය යි. මෙහි විඳින දුක සීමාවක් නැහැ. අප්‍රමාණ දුක් විඳින්න සිදු වෙනවා. මනු ලොව සිටිය දී මව්පිය, ගුරුවරුන්ට, බුදුරජාණන් වහන්සේට, සිල්වතුන්ට නිග්‍රහ කිරීම, එය ආක්‍රෝෂ පරිභව නම් වෙයි. ආක්‍රෝෂ පරිභව කරන්නට නුසුදුසු උතුමන්ට පරිභව කිරීමෙන් මෙම නරකයේ උපත ලබයි.

යොදුනක් පමණ දිග, පළල , උස කොටුවක අබ පුරවා අවුරුදු සියයකට එක් වරක් පමණක් එක අබ ඇටයක් ඉන් ඉවත් කරනවා. මේ සා විශාල බඳුනෙහි පිරවූ අබ ප්‍රමාණය යම් දවසක අවසන් වුණත්, එදවස සඳහන් කරන්නේ එක කල්පයක් වශයෙනි. මෙම කල්පය අපායේ ආයුෂය වෙයි. එය ලෙහෙසි කාලයක්ද? ලෝ දිය පොවා, අත පය කපා දමා, උල තබා දිය හැකි දෙතිස් දඬුවම ම මෙහි ලබා දෙයි. ලොවේ පිදිය යුත්තන් ලෙස සලකන, තුනුරුවන්ට, මව් පිය , ගුරුවරුන්ට නින්දා , අපහාස, තර්ජන , ගර්ජන කරන ගිහි හෝ පැවිද්දන්ට මෙම අපායේ කල්පයක් අනන්ත දුක් විඳින්න සිදු වෙයි. එසේනම්, කට පරිස්සම් කරගන්නම වෙනවා. මව් පිය, ගුරුවරුන්ගේ ගුණ කියද්දී , ඉතිපිසෝ, ස්වාක්ඛාත, සුපටිපන්න ගාථා කියද්දී, ලැබෙන පින සීමාවක් නැහැ. අනන්ත ජාතී සත සහශ්‍රයන්හි මනු ලොව, දෙව් ලොව සැප විඳින්න පුළුවන්. එවැනි සැප විඳීමේ ප්‍රතිපදාවක් ලොවේ තිබියදී කල්ප ගණන් දුක් විඳින නරකාදියට වැටෙනවා. මේ මහා දුක් කන්දරාව ගැන දැන, මවට පියාට නොසලකන්නෝ මවට පියාට සැලකිය යුතු යි. ගුරුවරුන්ට අගෞරව කරන්නෝ ගුරුවරුන්ට ගෞරව කළ යුතු යි. බුද්ධ, ධම්ම, සංඝ රත්නත්‍රයට ගරු නොකරන්නෝ අද පටන් ගරු කළ යුතු යි. එසේ කිරීමෙන් තමන්ට මෙලොවදී ම සැප විපාක ලැබෙයි. සංසාරයේ වාසනාවන්ත සුගතියක් ලැබෙයි. පිරිපුන් දර්ශනීය ජීවිතයක් ලැබෙයි. අඳ, ගොළු, බිහිරි ආත්ම භාවයක් නොලැබෙයි. අපායෙන් නිදහස්ව සුගතියකම වාසය කර, නිවන් සම්පත් අවබෝධ කරන්න පුළුවන්කම තිබෙනවා. මේ ගැන හොඳින් කල්පනා කර, මහා කල්පයක් දුක් විඳිනවාට වඩා කට පරිස්සම් කරගෙන නිවන් දකිනා තුරා සුගතියක වාසය කරන්න, මව් පියන්ගේ, ගුරුවරුන්ගේ , තුණුරුවන්ගේ ගුණ ගායනය කළ යුතු යි.

පනස් හයවන නරකය ද්වී කල්ප නරකය යි. එහි කල්ප දෙකක් දුක් විඳින්න සිදු වෙයි. මනුලොව සිටියදී බුද්ධ ප්‍රතිමාවන් කඩා බිඳ දැමූ අය , බෝධීන් වහන්සේලා කැපූ අය, දාගැබ් වහන්සේලා කැඩීම ආදිය පූජනීය වස්තු විනාශ කළ අය මහා කල්ප දෙකක් මෙම නරකාදියේ භයානක දඬුවම් ලබයි. යොදුනක් දිග, පළල, උස බඳුන් දෙකක් අබ ඇටවලින් පුරවා අවුරුදු සියයකට වරක් එක් අබ ඇටයක් ඉවත් කරනවා. එසේනම්, මෙම බඳුන් දෙකම අවසන් වූ දින කල්ප දෙකේ ආයුෂ අවසන් වෙයි. එසේනම් බලන්න, කෙතරම් දුක් විඳින්න වෙයිද? මෙහි විඳින දුක සීමාවක් නැහැ. ගින්නෙන් ම දැවෙනවා, ලෝ දිය ම පොවනවා, උල් වලින් ම අනිනවා, කඩුවලින් ම කපා කොටා විනාශ කර දමනවා. එසේනම්, බුද්ධ ප්‍රතිමා වහන්සේලාට, බෝධීන් වහන්සේලාට, දාගැබ් වහන්සේට නිග්‍රහ කරන්න එපා. පාවහන් ,හිස් වැසුම් පැළඳගෙන, අසංවරව පූජනීය ස්ථානවල හැසිරෙන්න එපා.

ඇතැම් උදවිය පිළිම විනාශ කරනවා, බෝධීන් වහන්සේ කපා දමනවා, සොර සතුරන් දාගැබ් විනාශ කරනවා, බුද්ධ ප්‍රතිමාවල නිධන් වස්තු ගන්නවා. එවැනි විනාශකාරීන්ට ලැබෙන දඬුවම නවතාලිය නො හැකි යි. යම් කිසිවෙක් ප්‍රතිමා, දාගැබ් ගොඩ නංවා, බෝධීන් වහන්සේ රෝපණය කරනවා නම් නිවන් දක්නා ජාති දක්වාම නිධන් වස්තු පහළ වෙයි. අපායක් දකින්නේ ම නැහැ .සුගතියක ම වාසය කරනවා. අපමණ සැප සම්පත් වින්දනය කර, නිවනට පත් විය හැකි යි.

පනස් හත්වන අපාය තීකල්ප නරකය යි. එනම්, කල්ප තුනක් නිරිසතුන්ට දුක් විඳින්න සිදු වෙයි. මනු ලොව සිටියදී බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට අවශ්‍ය භාණ්ඩ සොරකම් කරන, තිර රෙදි , පිඟන් භාණ්ඩ, පිළිම , බුද්ධ පූජා භාජන, නිධන් වස්තු සොරෙන් ගැනීම, බුදුරජාණන් වහන්සේ සතු දේ සොරෙන් ගැනීමේ පාප කර්මය නිසා මහා කල්ප තුනක් නරකාදියේ දුක් විඳින්න සිදු වෙයි. ඒ නිසා කවදාකවත් පන්සලකට ගිහින්, පිඟානක් කෝප්පයක් ගෙන එන්නට එපා. කොඩියක්, මල් අත්තක් තරම්වත් රැගෙන එන්නට එපා. පන්සලට ගොස් එහි යමක් තැන්පත් කරනවා මිස පන්සලේ තිබෙන දේ ගෙනෙන්නට එපා. මේවා තුනුරුවන් සතු දේ. එසේනම්, තුනුරුවන්ට පූජා සත්කාර කළ දේ සොරකම් කළ අයට දැඩි දඬුවම් ලැබෙන අතර, සොරකම අතුරෙන් ඉහළම සොරකම තුනුරුවන් සතු දේ ගැනීම වෙයි. ඒ නිසා තුනුරුවන් සතු දේ සොරකම් කළොත් මහා කල්ප තුනක් නරකාදියේ දුක් විඳින්න සිදු වෙයි. තුනුරුවන්ගේ පූජාවට පූජා භාජන, ගිලන්පස භාජන පාත්‍ර, තිර රෙදි ආදිය පූජා කළොත් නිවන් දකිනා ජාති දක්වා සැප විපාක ලැබෙනවා. දුකක් කරදරයක් පීඩාවක් නැහැ. නිවන් දකිනා ජාති දක්වාම සැප සම්පත් ලබන්න පුළුවන්කම තිබෙනවා.

පනස් අටවන නරකය චතු කල්ප නරකය යි. මහා කල්ප හතරක් දුක් විඳිය යුතු යි. සඟ සතු දේ සොරෙන් ගන්නන් මෙහි උපත ලබයි. පන්සල් වත්තේ ඇති පලතුරු, ගෙඩි වර්ග, ගස් වර්ග, දැව දඬු ආදිය සොරෙන් ගන්නන් මෙහි උපත ලබයි. පුරාතන මිනිසුන් පන්සලේ සිට පිටතට පැමිණියේ පය ගසා දමලයි. වැලි කැටයක්වත් පිටතට ගෙනාවේ නැහැ. ඒ නිසා තුනුරුවන් සතු දේ කවර දවසකවත්, සොරෙන් ගන්නට එපා. සඟ සතු ඉඩම් අත්පත් කරගෙන ඉන්නවා නම්, වහා ම ඉවත් වන්න. සාංඝික දේ විනාශ කරන්නන් වහාම නවත්වන්න. නැතිනම්, කල්ප හතරක් අපායේ දුක් විඳින්න සිදු වෙයි.

යම් කිසිවෙක් සඟ සතු දාන දෙනවා නම්, සංඝයාට අවශ්‍ය දේ පූජා කරනවා නම්, සඟ සතු දේ ආරක්ෂා කරනවා නම්, සංඝයාට ඉඩම් පූජා කරනවා නම්, ඒ අයට නිවන් දකිනා ජාති දක්වා ම කුමන දෙයකින්වත් අඩු පාඩුවක් නැහැ. සා පිපාසා දී දුකක් නැහැ. සියලු ම සැප සම්පත් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. නිරෝගී සම්පත් ඉහළින් ම ලැබෙනවා. දුකක් කරදරයක් පීඩාවක් නැතිව සංසාර ගමන කෙළවරක් දකින්නට පුළුවන්. මේ ගැන කවුරුත් හසළ දැනුමක් ඇතිකරගෙන, සම්මා සම්බුද්ධ ශාසනයට ලැදිව කටයුතු කළොත්, තම තමාට ලැබෙන පින නම් සීමාවක් නැහැ. කටු ගසේ නඟින්නට වෙනවා, උල තබනවා, අතපය කපා දමනවා, හිස ගලවා දමනවා. නමුත් නො මැරී නැවත යා වෙනවා.

එසේනම්, උදෑසන අවදි වූ තැන් පටන් සවස් වන තුරු සිහි කල්පනාවෙන් දවස ගෙවුවොත්, මේ කිසිම පාපයකට ගොදුරු වෙන්නේ නැහැ. දාන, ශීලා දී පින්කම් කර, ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණුවෙන්, සංසාර ගමනම සැපවත් කරගන්න පුළුවන්. ඒ නිසා සිත , කය , වචනය පමණක් සංවර කර ගන්න. එවිට සියලු පාපයන්ගෙන් වළකියි. යහපත් සිතකින් අවසන් ගමන යා හැකි යි. ගමේ , රටේ මිනිසුන්ගෙන් ප්‍රශංසා, දෙවි රැකවරණය, කුමන දෙයකින්වත් කරදර, පීඩා නොවී මේ ගමන බොහොම අගේ ඇති ලෙසින් නිවන දක්වා ගමන් කළ හැකි යි. මේ ගැන කවුරුත් හසළ දැනුමක් ඇති කරගෙන , ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණුවෙන් බුදු සසුනට සේවයක් කළොත්, මවට පියාට සැළකුවොත්, වැඳුම් පිදුම් කළොත්, මල් , පහන් , ගිලන්පස ආදිය පූජා කළොත්, බණ ඇසුවොත්, දාන මාන පින්කම් කළොත් නිවන් දකිනා තුරුම සුගතියක ම ඉන්න පුළුවන්. වාසනාවන්ත , මහේශාක්‍යය දර්ශනීය ඉසුරුමත් ජීවිත පෙළක් ලබාගෙන මේ සංසාර ගමනේ කෙළවර නිවන් සුවය ලබන්නට පුළුවන්කම තිබෙනවා. මේ පිළිබඳ හොඳින් කියවා දැනුම වැඩිකරගෙන, අපායේ තතු හොඳින් වටහාගෙන , අපායෙන් නිදහස්ව සුගතියක වාසය කළ යුතු යි යන අදහස් ඇති කර ගත යුතු යි. ඒ අය පෝයට සිල් ගන්නවා, දිනපතා පන්සිල් රකිනවා, තෙරුවන් වඳිනවා, දාන මාන පින්කම් කරනවා, බණ අසනවා, භාවනා කරනවා. එවිට කුමන දෙයකින්වත් අඩුපාඩුවක් නැහැ. වාසනාවන්ත ජීවිත පෙළක් ගත කර, සසර දුකෙන් නිදහස් වීමට අවශ්‍ය කරන, යහපත් වැඩ හොඳින් කරගන්න පුළුවන්. එසේ කල්පනාවෙන් තම ශීල ගුණ හොඳින් වර්ධනය කර, කරුණා මෛත්‍රිය ගුණ හොඳින් දියුණුවෙන් බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු දේ හොඳින් ලබාගෙන බුද්ධ ශාසනය රැකගෙන, පාරමී ගුණයන් දියුණු කර, මෙලොව පරලොව සුගතියක වාසය කර, ඉතා ඉක්මන් භවයක දී ම බුදු , පසේ බුදු, මහ රහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වැඩ වදාළ, අජරාමර ශාන්ත නිවන් පසක් කර ගැනීම සඳහා මේ සියලු පින් හේතු වාසනා වේවා!

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]