UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රට දැය සමය එකලු කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

රට දැය සමය එකලු කළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණෝ

" දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතනය ලෙස ලේක්හවුස් ආයතනය ප්‍රතිෂ්ඨාපනය කර ශ්‍රී ලාංකේය ජනතාවගේ නැණ පහන් දැල්වීමට කර ඇත්තේ සුවිසල් මෙහෙවරකි."

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙවන වර ලංකාගමනය සිහියට නැගෙත්ම නිරතුරුව සිහිපත් වනුයේ ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයයි. තථාගත බුදුපියාණන් වහන්සේගේ පාදස්පර්ශය ලද එම කල්‍යාණි රාජ මහා විහාරස්ථ නව විහාර කර්මාන්තය කරවන ලද්දේ හෙලේනා විජයවර්ධන ළමාතැනිය විසිනි. සෝලියස් මැන්දිස් නමැති කීර්තිමත් කලාකරුවා ලවා එහි අභිනව විසිතුරු සිතුවම් නිර්මාණය කරවීමෙන් ලෝවැසි බොදු සිත් පහන් කරවීමට සමත් සම්බුදු මැදුරක් බවට පත් කළේත්,ලෝකවාසී රසික හදවත්හි සිතුවම් කලාවෙහි අග්‍රගණ්‍ය කලාගාරයක් බවට පත් කරනු ලැබුවේත් හෙළේනා විජයවර්ධන ළමාතැනිය විසිනි.

එබඳු සදානුස්මරණීය ආගමික මෙහෙවරක් සිදුකළ හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ දයාබර පුත් ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් දකුණු ආසියාවේ විශිෂ්ටතම පුවත්පත් ආයතන ලෙස ලේක්හවුස් ආයතනය ප්‍රතිෂ්ඨාපනය කර ශ්‍රී ලාංකේය ජනතාවගේ නැණ පහන් දැල්වීමට කර ඇත්තේ සුවිසල් මෙහෙවරකි. එමෙන්ම සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා සිදුකර ඇත්තේ උදාර මෙහෙවරකි. ලේක්හවුස් ආදි කර්තෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ දූරදර්ශී නුවණින් ආරම්භ කළ ලේක්හවුස් ආයතනය දැයට සෙවණ සලසන මහා වනස්පතියක් වැනි ය. සියවසකටත් වැඩි කාලයක් පුරා ලේක්හවුස් ආයතනය තුළත් , බාහිරව රට පුරාවටත් සේවය කළ පිරිස ලක්ෂ සංඛ්‍යාත ය. රට පුරා විසිරී පැතිරී පවතින ලේක්හවුස් අලෙවි නියෝජිතවරුන්ගෙන් සමන්විත ලේක්හවුස් පුවත්පත් අලෙවි නියෝජිත ජාලයෙහි දහස් සංඛ්‍යාත පිරිසක් ඇතුළුව ඔවුන්ගේ මාර්ගයෙන් ගම පුරා ගෙන් ගෙට පාපැදියෙන් දුරකතර ගෙවා ලේක්හවුස් පුවත්පත් බෙදාහරිමින් අපේ රටේ ජනතාවගේ නැණපහන් දැල්වීමට ඉටු කරනුයේ යුග මෙහෙවරකි. එමගින් ජීවිත සරු කරගත්තෝ මෙන් ම සරුකර ගන්නෝ ද ගණනින් අසීමිත ය.

පත්තර මහ ගෙදර නමින් විරුදාවලීලත් ලේක්හවුස් ආදි කර්තෘතුමන්ගේ 133 වන ජන්ම දිනය නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ලේක්හවුස් පාලන අධිකාරියේ පූර්ණ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් ලේක්හවුස් මන්දිරයේ දී මෙම 21 වන දා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වේ.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ පූජනීය මහ සඟරුවනෙහි ප්‍රධානත්වයෙන් එම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කෙරේ. 22 වන දා දවල් ගංගාරාමස්ථ ස්වාමීන් වහන්සේලා, කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථ ස්වාමීන් වහන්සේලා ඇතුළු සම්භාවනීය පූජනීය තෛ‍්‍රනිකායික මහ සඟරුවන වෙත සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනමා පරලොව සැපත් ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් වෙත පුණ්‍යානුමෝදනාව පැවැත්වේ.

ලේක්හවුස් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් පැවැත්වෙන එම ආදි කර්තෘ ජන්ම සමරු පින්කම සියලු සේවක සේවිකාවන්ගේ ද සහායෙන් ලේක්හවුස් බෞද්ධ සංගමයේ ද මෙහෙයවීමෙන් පැවැත්වේ.

පත්තර මහ ගෙදර ආදි කර්තෘතුමන්ගේ සුවිශේෂී මෙහෙවර හේතුවෙන් අදත් ලේක්හවුස් ආයතනයෙහි කළගුණ සලකන සියලු සේවක සේවිකාවෝ දෛනික රාජකාරී සඳහා ආයතනයට ඇතුළු වෙත්ම ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ උඩුකය පිළිරුව වෙත දෑත් නළලත තබා ගෞරවෝපහාර පුද කරනු ලැබීම ලේක්හවුස් ආයතනයටම සුවිශේෂී වූ සිරිතක් බවට පත් වී ඇත. සේවය හමාර කොට ආයතනයෙන් බැහැර වන විට ද ඒ අයුරින් ම ගෞරවෝපහාර දක්නට ලැබීම සුවිශේෂී වේ.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් මූලික අධ්‍යාපනය කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ලබා එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් නීතිය හැදෑරුවේ ය. අධිනීතිඥවරයෙකු ලෙස 1912 දී මෙරටට පැමිණ කොළඹ අධිකරණයේ දී කටයුතු පටන් ගත් ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් කෙටි කලකින් අලුත්කඩේ නීතිඥවරුන් අතර පි‍්‍රයශීලී තැනැත්තෙක් බවට පත්විය. විජයවර්ධන ශ්‍රීමතාණන් නීතීඥ කටයුතු පසෙකින් තබා පුවත්පත් අයිතිකරුවෙකු වූ නමුත් ඔහු නීතිඥ වෘත්තිය හා පැවැති සබඳතාවය නිරතුරුවම තබා ගත්තේ ය.

එදා අද මෙන් නව තාක්ෂණය නොදියුණු නොපැවති යුගයක, පුවත් පිපාසයෙන් සිටි මෙරට ජනතාවගේ නැණ පහන් දල්වමින් පුවත් පිපාසය සංසිඳුවීමට ගත් උත්සාහය මහත් ආදර්ශයක් ම විය.

පුවත්පත් බෙදා හැරීම සඳහා මේ රටෙහි පළමුවරට වෑන් රථයක් යෙද වූයේ, ඩී.ආර්. විජයවර්ධන මහතා ය. කහපාට වර්ණය යොදා වෑන් රියේ පැතිවල ඒ මත “දිනමිණ”, “ඩේලි නිව්ස්” යන නම් ලියා තිබුණේ ය.

“දිනමිණට”, “සිළුමිණ” එක්වීමත් මෙරට සිංහල පුවත්පත් කලාවේ ඓතිහාසික සිද්ධියක් වන තරමට වැදගත් විය. ‘සිළුමිණට’ පෙර මෙරට අංගසම්පූර්ණ ඉරිදා පුවත්පතක් නොතිබුණේ ය.

“ඔබ්සවර්” පත්‍රය ඇරඹීමෙන් මෙරට පළමු ඉරිදා ඉංගී‍්‍රසි පත්‍රයක් ඇතිකළ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ප්‍රථම ඉරිදා සිංහල පුවත්පත ලෙස “සිළුමිණ” ආරම්භ කළේ එමගින් සිංහල පාඨකයන්ට කළ හැකි සේවය ගැන වූ අවබෝධය හේතුවෙනි. පියසේන නිශ්ශංක මහතා “සිළුමිණ” පළමු කතුවරයා ලෙස පත් කරන ලද්දේ ය. ශත දහයේ විශ්වවිද්‍යාලය ලෙස එම පුවත්පත මෙරට වැසියා පිළිගත්තේ ය.

මෙරට ඉංගී‍්‍රසි කියවන පාඨකයන් අතර වඩාත් ප්‍රචලිත ඩේලිනිව්ස් පුවත්පත පසුගිය වසරේ සියවස ද සැමරුවේ ය.

ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ස්වකීය ධනය ආගම දහම වෙනුවෙන් ද වැය කළේ ය. කොළඹ ගංගාරාමය, බම්බලපිටියේ වජිරාරාමය ආදී විහාරස්ථානයන්හි ප්‍රධාන දායකත්වයක් දරා ඇත. බම්බලපිටියේ වජිරාරාමයට ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් විසින් පූජා කරන ලද ‘මේ වජිරාරාමයෙහි දකුණු කෙළවර බද පර්චස් 37 ක පමණ වූ බිම් කොටස් ඩී.ආර්. විජයවර්ධන අධිනීතීඥතුමන් සඟසතු කොට පුදමි. 1941 මාර්තු 01 යනුවෙන් ශෛලමය ස්තම්භයක සනිටුහන් කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවීමේ දී ප්‍රබල සහායක් මෙන්ම අනුබලයක් සැපයූ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ එම සේවය සිහිපත් කරමින් ඩී.ආර්. විජයවර්ධන ශාලාව නම් කර ඇත. එම විශ්වවිද්‍යාලයේ පැවිදි ශිෂ්‍යයන්ගේ නේවාසික පහසුකම් සඳහා සංඝාරාමයක් ඉදිකරවීමට අරමුදලක් පිහිටුවා ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කළේ ය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අසිරිමත් ලංකාගමනය සිදුවූයේ ඓතිහාසික මිහින්තලාව කේන්ද්‍රකරගෙන ය. ඒ පොසොන් පුන් පෝදාක ය. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවයේ දී වාර්ෂිකව ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ නාමය සිහිපත් කෙරේ.

ඩී.ආර්. විජයවර්ධන ශී‍්‍රමතාණන්ගේ චරිතය පිළිබඳ එච්.ජේ. හුළුගල්ල මහතා සහ පී. නිශ්ශංක මහතා විසින් රචිත ග්‍රන්ථයෙහි පළවන පිටුවෙහි ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් ගැන මෙසේ සටහන් වේ.

ජනතාව තුළ දේශක මාමක හැඟීම් ජනිත කරවීමෙන් රට ස්වතන්ත්‍ර පාලනක්‍රමයක් කරා යොමු කරවමින් සිටි සර්.ජේමිස් පීරිස්, සර්.ඩී.බී. ජයතිලක, සර් පොන්නම්බලම් අරුණාචලම්, ඊ.ජේ. සමරවික්‍රම, ඊ.ඩබ්ලිව්. පෙරේරා, ඩබ්ලිව්.ඒ. ද සිල්වා, ප්‍රැන්සිස් ද සොයිසා, ඇෆ්.ආර්. සේනානායක, ඩී.ඇස්. සේනානායක, ආදී ස්වජන හිතෛෂී කණ්ඩායමකට විජයවර්ධන මහතා ද ඇතුළත් විය.

අනික් බොහෝ දෙනා සභා රැස්වීම් ආදියට යමින් එමින් වේදිකාවල කතා පැවැත්වීමාදියෙන් ප්‍රසිද්ධියේ තම සේවය කළ අතර විජයවර්ධන මහතා සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි යන භාෂාත්‍රයෙන් පළවූ තම පුවත්පත් මඟින් එතෙක් අන් කිසිවකුගෙන් සිදු නොවූ අන්දමේ උදාර සේවයක් රටදැය දෙකට කළේ ය. එහි මෙසේ ද දැක්වේ.

1914 දී ඔහු වැඩි පාඨක සංඛ්‍යාවක් නොසිටි අමාරුවෙන් පවත්වාගෙන ආ දිනමිණ පත්‍රය එහි අයිතිකරුගෙන් මිලටගෙන අවුරුදු කීපයකදී එය රටේ නොයෙක් දිශා භාගවල දස දහස් සංඛ්‍යාත ජනතාවක් කියවූ පුවත්පතක් බවට පත් කළේ ය. 1918 දී ඔහු සීලනීස් නම් වූ ඉංගී‍්‍රසි පත්‍රය මිලට ගෙන එය ඩේලිනිව්ස් නමින් පළ කරන්නට විය. අනූ අවුරුදු කාලයක් මෙරට යුරෝපීයයන් සතුව පැවැති ඔබ්සවර් පත්‍රය ද 1923 දී ඔහු මිලට ගත්තේ ය. පසුව මුළු ආසියාවේ ම ප්‍රවෘත්ති පත්‍ර අතර ඉතා විශාල පිටපත් සංඛ්‍යාවක් විකිණෙන සිළුමිණ පත්‍රය ද ඔහු විසින් ආරම්භ කරන ලදී. මෙතෙක් ඔහුගේ පුවත්පත් නොකියවූ මේ රටේ සිටි ජන කොටස නම් දෙමළ කියවන ජනයා ය. ඔවුන් සඳහා ද ඔහු ද්‍රවිඩ භාෂාවෙන් පළවන දිනපතා පුවත්පතක් වූ තිනකරන් පත්‍රය ආරම්භ කළේ ය.

මේ පුවත්පත්වල කර්තෘමණ්ඩලවලත්, වෙනත් අංශවලත් සේවය කරන්නවුන් හා යන්ත්‍රෝපකරණ ආදියත් එක්තැන්කොට එකම ගොඩනැගිල්ලක් තුළට ගෙන ඒම සඳහා ඔහු විසින් කොළඹ කොටුවෙහි විශාලවූත් දර්ශනීයවූත්, රමණීය වූත් ලේක්හවුස් මන්දිරය ඉදිකරවන ලදී. යනුවෙන් එහි සඳහන් වේ.

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 19 වන දා අඟහරුවාදා පූර්වභාග 01.11 ට ලබයි. එමදා අපරභාග 09.23 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 19 වන දා අඟහරුවාදා.

 

 මීළඟ පෝය
පෙබරවාරි 26 වනදා අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 19

Second Quarterඅව අටවක

පෙබරවාරි 26

Full Moonඅමාවක

මාර්තු 06

First Quarterපුර අටවක

මාර්තු 14


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]