UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදු ගුණ බලයෙන් ලද හැකි සැනසීම

බුදු ගුණ බලයෙන් ලද හැකි සැනසීම

දීර්ඝ වු සංසාර ගමනේ ඇවිදගෙන යන මේ සසර ගමන එක ආත්මෙකින් නිම කරන්න පුළුවන් දෙයක් නොවෙයි. උත්සාහයෙන් නතර කර නොගත්තොත් සංසාරය දිගයි.

දවසක් බුදුරජාණන් වහන්සේ හමුවන්නට දුර ඈත මග ගෙවලා, හාමුදුරුවන් වහන්සේලා පන්සීය නමක් වැඩියා. එහෙම ආපු හාමුදුරුවරු ගමන් විඩාවත් සමඟම මහා ඝෝෂාවක් කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් ඇමතුවා . කවුද බලන්න ආනන්ද අර එළියේ ඝෝෂා කරන්නේ, කෑගහන්නේ, ආනන්ද හාමුදුරුවෝ එළියට වඩිනවා. ඒ හාමුදුරුවන් වහන්සේලාගෙන් අහනවා ආපු කාරණය. උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නයි ඇවිත් ඉන්නේ. ආනන්ද හාමුදුරුවෝ බුදු හාමුදුරුවන්ට කියනවා “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ පන්සීයයක් භික්ෂුන් වහන්සේලා ඇවිත් ඉන්නේ ඔබ වහන්සේ හමු වන්නයි” ආනන්ද, මම ඒ අය සමඟ කතා කරන්න කැමැති නැහැ.”ආනන්ද හාමුදුරුවන්ට හරි පදුමයි ආනන්ද හාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට මේ පුවත සැල කරනවා. මේ හාමුදුරුවන් වහන්සේලා කල්පනා කළා අනේ බුදුහාමුදුරුවෝ අපි පිළිගත්තේ නැහැනේ. අපේ වැරැද්දක් නිසා තමයි බුදුහාමුදුරුවෝ අපිට කතා නොකළේ.

මේ භික්ෂූන් වහන්සේලා මොකද කළේ? මහ වනාන්තරයට යන්න ගියා. එහෙම ගිහින් පුළුවන් තරම් භාවනා කරලා සිව්පිළිසිඹියාපත් රහත් භාවයට පැමිණුනා. ඔන්න දවසක් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ සමඟ විසාලා මහනුවරට වඩිනවා. ඒ යන අතර මහා වග්ගමු නදී තීරය අසලින් වඩින විට නදී තිරය හරිම ලස්සනයි. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ අමතනවා.

අර බලන්න ආනන්ද, වග්ගමු නදී තීරයේ ලස්සන. එහි පුදුම එළියක්. මොකක්ද ආනන්ද මේ වෙනස? ගිහින් බලන්න. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ තරම් එළියක් පෙනෙන්නේ වග්ගමු නදී තීරය අසල ස්වාමීන් වහන්සේලා බොහෝ නමක් වැඩ ඉන්නවා”. “ආනන්ද ඒ ස්වාමීන් වහන්සේලාට එන්න කියන්න මා අබියසට . ආනන්ද හාමුරුදුවෝ මේ ස්වාමීන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න කියා ආරාධනා කළා.

ඔන්න මේ රහතන්වහන්සේලා පන්සිය නම බුදුහාමුදුරුවෝ ඉදිරිපිට වාඩි වුණා. දැන් බුදුහාමුදුරුවෝ දන්නවා මේ කලින් උන්වහන්සේ බැහැ දකින්න පැමිණි හාමුදුරුවන් වහන්සේලා පසුව මහරහත්භාවයට පත් අය බව. මේ රහතන්වහන්සේලාත් බුදුහාමුදුරුවෝ අබියස සමාධිගත වෙලා. ආනන්ද හාමුදුරුවන්ට හරි පුදුමයි. මේ හාමුදුරුවන් වහන්සේලා ඇවිත් මෙතරම් වේලාවක් හිටියා. ඒත් තවම බුදුහාමුදුරුවන් කතා කළේ නැහැනේ. මධ්‍යම රාත්‍රියත් පහු වුණා. අළුයම් කාලය එළඹෙන තුරුම සමාධිගත වුණා. බුදුරජාණන් වහන්සේ පසුව රහතන් වහන්සේලා ඇමතුවා. හරි පුදුමයි, බුදුරජාණන් වහන්සේගේ ගුණ කොහොම කියලා ඉවර කරන්නද? මහාකාරුණික ලොව්තුරු බුදුරජාණන් වහන්සේගේ නිවැරැදි ජීවිතයේ උත්තම ගුණ සුවඳ බලයෙන් ඔබටත් වරද වරද ලෙස වැටහේවා. වරද නිවැරැදි කරගන්න ශක්තිය ලැබේවා.

ජීවිතයේ වැඩ කරලා, වැඩ කරලා අවසානය දුක් විඳලා මියයනවාට වඩා හොඳ නැද්ද ජීවිතය ජයග්‍රහණය කරලා මියයෑම.

කිසිම අවස්ථාවක හිතේ වෛරයක්, ක්‍රෝධයක් තියාගන්න එපා. ද්වේශයක් හිතට ආවොත් පුළුවන් තරම් අමතක කරන්න බලන්න. භේද බින්න වෙලා වෙන් වෙන්න, වෙන්න සිත හැමදාම අසරණයි. අපි සොයන්නේ සතුට... අපිට නොලැබෙන්නේත් සතුට.අතීතය දිහා බලාගෙන ශෝක කරනවා. අනාගතයට බය වෙනවා. අනාගතය ගැන පැතුමක් විතරද තියෙන්නේ. දුක්මුසු අතීතය අමතක කර දමන්න. අද කළයුතු වැඩ අද ම කරන්න.

කවුරු ආශ්‍රය කළත්, සිතට ඇතිවන්නේ දුක, වේදනාව, පසුතැවිල්ල විතරයි. බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරන්න කරන්න සිතට දැනෙන සැනසිල්ල සහනය කොහොම කියන්න ද? ‘ඒවං බුද්ධ සරං තානං...’ මහ පුදුමයි බුදු ගුණ බුදු රුව හිතන්න හිතන්න දැනෙන සැනසීම. ස්වාමීනි, ඔබ වහන්සේ අව්ව, වැස්ස, පින්න නොතකා මහ මග වැඩියා. දුගී පැලත්, මහා මන්දිරයත්, දෙකක් නෙමෙයි ඔබ වහන්සේගේ බුදු ගුණ මහ පුදුමයි බුදුහාමුදුරුවනේ. ලෝකය සැලෙන කොට අපිත් සැලිලා. අව්වට පීඩාවට අපේ ශරීරය ගිලන් කරලා.

අපේ හිත් අන්ධ වෙලා. කන්වලට ඇහුනට ලොව්තුරු බුදු බණ සිත්වලට නෑසිලා ගිහින්. අපි මාරයාගේ සේවකයෝ වෙලා. සංසාර ගමනේ අපි හැමදාම වෛර කළා. සිත් නපුරු සිතිවිලි වලින් පිරිලා. දැන්වත් අපි හැදෙන්නට බලමු.

වැරැදි දැක්ම ඉවත දමමි
හරි දැකීම පසක් කරමි
දරුණු සිතුම් පැතුම් හලමි
කුසලය වැඩුමට වෙහෙසෙමි

 

දුරුතු පුර පසළොස්වක


දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21 වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා ඉරිදා ය.

 

මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]