UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සසුන් කෙත එකලු කරන මිරිස්සේ ධම්මික නා හිමි

සසුන් කෙත එකලු කරන මිරිස්සේ ධම්මික නා හිමි

ප්‍රභාසම්පත්තියෙන් යුක්ත පූර්ණ චන්ද්‍රමණ්ඩලය ගගන තලය ශෝභාමත් කරන්නේ යම් සේ ද, ඒ ආකාරයෙන් ම සීල සම්පත්තියෙන් පරිපූර්ණ භික්ෂුව තපෝවනය ශෝභමාන කරන්නේ ය’ යන උතුම් බුදු වදන පසක් කරමින් සීලයෙන්, ගුණයෙන් යුතුව සම්බුදු සසුන ශෝභාමත් කරමින් දෙස් විදෙස් සතහට දහම් මඟ විවරකර දෙන ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමිපාණන් වහන්සේගේ පෙබරවාරි 05 වනදාට යෙදෙන ජන්ම දිනය නිමිත්තෙනි.

මාතර මිරිස්සේ හේන්වල ගම්පියසේ උපත ලද මිරිස්සේ ධම්මික නා හිමිපාණන් වහන්සේ ඉගෙනුම ලැබූයේ හේන්වල ජයතිස්ස කණිෂ්ඨ විද්‍යාලයේ ය. වයස අවුරුදු අටේ දී උඩුපිල සුධර්මාරාමයේ දී මිරිස්සේ චන්දජෝති, මිරිස්සේ පියදස්සි යන නා හිමිවරුන්ගේ ආචාර්යත්වයෙන් සසුන්ගතව මූලික අධ්‍යාපනය ලබා කොළඹ සරසවියට ඇතුළත් විය.

උන්වහන්සේ කොළඹ සරසවියෙන් ප්‍රථම උපාධිය ද, කැනඩාවේ වැන්කූවර්හි සයිමන් ෆ්‍රේසර් සරසවියෙන් ශාස්ත්‍රපති උපාධියේ පර්යේෂණය සඳහා ‘පාසල් දරුවන් තුළ මානසික ආතතිය නැති කිරීමට බෞද්ධ භාවනා ක්‍රමවලින් ලැබිය හැකි ප්‍රයෝජනය’ කෘතිය ඉදිරිපත් කරමින් ශාස්ත්‍රපති උපාධිය ද එම සරසවියෙන් ම ‘ස්වාමීන් වහන්සේ නමකගේ දෛනික ප්‍රතිපදා තුළින් යොනිසෝ මනසිකාරය ගැන අධ්‍යනයක්’ කෘතිය ඉදිරිපත් කරමින් ආචාර්ය උපාධිය ද ලැබී ය.

සරසවි අධ්‍යාපනයෙන් අනතුරුව කුරුණෑගල දඹදෙනිය කවුඩුමුන්න සීලක්ඛන්ද පිරිවනෙහි පරිවේනාධිපතින් වහන්සේ වශයෙන් ද, ඇහැලියගොඩ ඇරෑපොල මහින්ද මහා විද්‍යාලයේ ධර්මාචාර්යන් වහන්සේ නමක් වශයෙන් ද, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ මෙන් ම විශ්වවිද්‍යාලවල ධර්මාචාර්යන් වහන්සේ නමක් ලෙස ද කටයුතු කළහ. 1996 කැනඩාවේ බ්‍රිටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේ බෞද්ධ විහාර සංගමය විසින් කළ ආරාධනාවකට අනුව කැනඩාවට වැඩම කළ උන්වහන්සේ සුදු ජාතිකයන්ට ද බෞද්ධ දර්ශනය හඳුන්වා දුන් අතර, දහම් පාසලක් ආරම්භ කරමින් භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් එහි දී අමිල මෙහෙවරක් සිදු කළහ.

අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමිපාණන් වහන්සේගේ හා දායක පිරිසේ බලවත් ඉල්ලීම පරිදි 1990 බත්තරමුල්ල සිරිසුදස්සනාරාම සදහම් සෙනසුනට වැඩම කළ උන්වහන්සේ දුටු දුටුවන්ගේ සිත්සතන් පහදවන පැවැත්මෙන් යුතු ලොකු ස්වාමීන්වහන්සේ සීලයෙන් ද, ගුණයෙන් ද, බහුශ්‍රැතභාවයෙන් ද ධර්මඤාණයෙන් ද පිරිපුන් ය. උන්වහන්සේ සැමට සැබෑ ම චරිතාදර්ශයකි. බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන කේන්ද්‍ර කර ගනිමින් ලක්වාසී, ලෝකවාසී සැමට තථාගත සම්බුදු දහම උන්වහන්සේගේ සුමිහිරි සුගම්භිර හඬින් දේශනා කරන්නේ නිරපේක්ෂක මනසිනි.

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේ දී සෑම පුරපසළොස්වක පොහොය දිනකම සීල සමාදාන වැඩසටහනක් ද, සෑම සෙනසුරාදා දිනකම භාවනා වැඩසටහනක් ද, සෑම ඉරිදා දිනකම අභිධර්ම දේශනාවක් ද ක්‍රියාත්මක කරන අතර, විශාල පිරිසක් ඊට සහභාගි වෙති. තරුණ පරපුර දහමට යොමු කර ගුණ ගරුක බොදු සමාජයක් ගොඩනැගීමට උන්වහන්සේ ඉමහත් වෙහෙසක් ද දරති. ඉරිදා දින සහ සෙනසුරාදා යන දින දෙක තුළ සිංහල මාධ්‍යයෙන් මෙන් ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද දහම් පාසල් දෙකක් ආරම්භ කරමින් සංවරශීලි දරු පරපුරක් බිහිකිරීමට මග පෙන්වති. ප්‍රඥා ප්‍රභා සංවිධානය ආරම්භකරමින් මාසිකව ධර්මග්‍රන්ථ මුද්‍රණය කරවා පළකරමින්, නොමිලයේ බෙදාහරිමින් බොහෝ පිරිසකගේ දහම් පිපාසය සංසිඳුවාලයි. ධර්ම දේශනාවන් සඳහා ඉතාමත් දුර බැහැරින් පවා ලැබෙන ආරාධනාවන් ප්‍රතික්ෂේප නොකොට ඒ සඳහා වැඩම කරන්නේ ඉමහත් කරුණාවෙනි. උන්වහන්සේට ලැබෙන පිරිකර පවා දුෂ්කර ප්‍රදේශවල වැඩවසන මහ සඟ රුවනට මෙන් ම අවශ්‍ය ස්ථානයකට පරිත්‍යාග කරන්නේ දාන පාරමිතාව සපුරන සෙයිනි.

ආගමික වශයෙන් මෙන් ම සාමාජික වශයෙන් උන්වහන්සේ සිදුකරනු ලබන සේවය අතිමහත් ය. දුෂ්කර ගම්මානයන් හි දුප්පත් පවුල් ඒකක සඳහා වියළි ආහාර, ස්වයං රැකියා සඳහා අවශ්‍ය භාණ්ඩ ලබාදීම, පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ, ආදී බොහෝ දේ ‘පාරමි’ සංවිධානය ඇති කරවා මෙවැනි විවිධ සමාජ සුභසාධන කටයුතු රාශියක් සිදු කරති. එමෙන් ම සිරි සුදස්සනාරාම විහාරස්ථ ‘සිරි සදහම් සුව සරණින්’ අවශ්‍යතා ඇති අයට රෝද පුටු, අත්වාරු, අපේක්ෂා රෝහලට අවශ්‍ය ඖෂධ වර්ග, ලේ දන්දීමේ පින්කම ආදිය සිදු කරති.

මේ අයුරින් සම්බුදු සසුන වෙනුවෙන් හා රට වෙනුවෙන් ද අපරිමිත සේවයක් සිදුකරන ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමිපාණන් වහන්සේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මණ්ඩලත්‍රයේ මහා සංඝ සභාව විසින් එහි අධිකරණ නායක පදවිය මෙන් ම ‘ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර අනුවිජ්ජක’ ගෞරව නාමයෙන් ද පිදුම් ලැබූහ. උන්වහන්සේගේ ජන්ම දිනය නිමිතිකොට පෙබරවාරි මස හතරවන සඳුදා දවස පුරා සදහම් සෙනසුනේ දී ලේ දන්දීමේ වැඩසටහනක් ද, පස්වන දින මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ පරිත්‍යාග කිරීම හා එදින ම රාත්‍රී 7ට සෙත් ප්‍රාර්ථනා පින්කමක් ද සදහම් සෙනසුනේ දී සිදු කෙරේ.

මිරිස්සේ ධම්මික නා හිමිපාණන් වහන්සේට සසුනඹර දිදුලවන්නට නිදුක් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

 

දුරුතු පුර පසළොස්වක


දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21 වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා ඉරිදා ය.

 

මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]