UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී දළදා පුරාණය - 23:  අතිපූජනීය දන්ත ධාතුන් වහන්සේ වැඩම වීමට පුණ්‍යවන්ත වූ ඇත් පන්තිය

අතිපූජනීය දන්ත ධාතුන් වහන්සේ වැඩම වීමට පුණ්‍යවන්ත වූ ඇත් පන්තිය

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂිකව පැවැත්වෙන සතර මංගල්‍යයන් අතරින් වඩාත් වැදගත් වන මංගල්‍යය ලෙස ඇසළ පෙරහර මංගල්‍යය හඳුන්වා දිය හැකිය.

දින දහයක් පුරා පැවැත්වෙන එම මංගල්‍යයේ දින පහක් වෙන්වන්නේ කුඹල් පෙරහර වෙනුවෙනි. අනෙක් දින පහ තුළ රන්දෝලි පෙරහර පැවැත්වේ. කුඹල් පෙරහර පැවැත්වෙන දින පහ තුළ පළමු දිනයේ අතිවිශාල ජනකායක් පෙරහර නැරඹීමට පැමිණීම අතීතයේ සිටම සිදුවේ. කුඩා දරුවන්ගේ අපල උපද්‍රව දුරුකරගැනීමට පළමු කුඹල් පෙරහර නැරඹීම සිරිතක් වන බව අතීතයේ සිට මිනිසුන් තුළ විශ්වාසයක් පවතී. අනෙක් කුඹල් පෙරහර පැවැත්වෙන දින හතර සාමාන්‍ය පරිදි පැවැත් වීමට කටයුතු සූදානම් වේ. රන්දෝලි පෙරහර ආරම්භක දිනයේ සිට අවසන් වන තුරු බොහෝ ජනතාව තමනට හැකි පරිදි ,නැරඹීමට පැමිණෙති. අවසන් රන්දෝලි පෙරහර අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී දළදා මාලිගාවේ මෙන්ම, බාහිර වශයෙන් පැමිණෙන සියලුම ඇතුන් සහභාගි වෙති. පෙරහර මංගල්‍යය මෙන්ම, වර්ෂය පුරා පැවැත්වෙන බොහෝ පෙරහර වෙනුවෙන් ලංකාවේ නොයෙක් දිශාවන්හි පැවැත්වෙන අනෙකුත් පෙරහර සඳහා මාලිගාවේ ඇත් පන්තිය සූදානමින් සිටිති.

වර්තමානයේ හීලෑ ඇතුන්ගේ ප්‍රමාණය බොහෝ සෙයින් අඩු වී ඇතත්, මාලිගාව තුළ පෙරහර මංගල්‍යයන් පැවැත්වීම සඳහාම සූදානම් වන වෙනම ඇත් පන්තියක් සිටිති. එම ඇතුන් මෙරට මෙන්ම විදේශීය ප්‍රභූන්ගේ පරිත්‍යාගයන් ලෙස ලැබී ඇති බව ඇත් පන්තිය දෙස බැලීමේදී පැහැදිලි වේ. මාලිගාවේ ඇත් පන්තිය විශාල වුවත් , අතිපූජනීයවූත් ගෞරවනීයවූත් දන්ත ධාතුන් වහන්සේ වැඩමවීම සඳහා ඊටම සුදුසු වූ ඇතුන් කිහිපදෙනෙක් පමණක් සිටිති. ඒ අනුව වර්තමානයේ ඇසළ පෙරහරේ ධාතු කරඬුව වැඩමවීම සඳහා පරිණත භාවයකින් යුක්ත නැඳුන්ගමුවේ ඇතා ඉන්දිරාජා හා වාසනා යන ඇත්තු සමත්ව සිටිති. නැඳුන්ගමුවේ ඇත් රාජා පිළිබඳ තොරතුරු මීට පෙර අප මෙම ලිපි පෙළේ හඳුන්වාදුන් අතර ඊට අමතරව සිටින අනෙක් හස්ති රාජයෙක් ලෙස ඉන්දිරාජා හස්ති රාජයා පෙන්වා දිය හැකි ය.

1986 වර්ෂයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය වශයෙන් කටයුතු කළ රජීව් ගාන්ධි මැතිතුමා විසින් ඉන්දිරාජා ඇතා මාලිගාවට පරිත්‍යාග කොට ඇත. දෑලේ ඇතුන් සමඟ එකට දර්ශනීය ලෙස ධාතුන් වහන්සේ වැඩමවීම සඳහා එම ඇත්රාජා සුදුසුකම් ලබා තිබේ. දැනට වර්ෂ විසි දෙකක් වන එම ඇත්රාජා දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා බාරයේ සිටින අතර ඇසළ පෙරහරේ මෙන්ම ලක්දිව නොයෙක් ස්ථානවල කරඬුව වැඩම කිරීම එම හස්ති රාජයා විසින් සිදුකරනු ලබයි. සිංහරාජා ඇතා 1994 වර්ෂයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සාංවත්සරික උත්සවය සිහිගන්වමින් එවකට හමුදාපති විසින් දළදා මාලිගාවට පරිත්‍යාග කොට ඇත. පෙරහරේ ඉදිරි පෙළේ ගමන් කිරීම සඳහා එම ඇතා යොදවා ඇත. විජය රාජා නමින් හැඳින්වෙන ඉදිරිපෙළ නියෝජනය කරන ඇතා 1986 වර්ෂයේ දී තායිලන්ත රජතුමා විසින් ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරන ලදී. ජනරාජා ඇතා 1985 වර්ෂයේ දී ජේ ආර් ජයවර්ධන ප්‍රථම විධායක ජනාධිපතිතුමා විසින් පරිත්‍යාග කර ඇත. නැඳුන්ගමුවේ ඇත්රාජාට පසුව වයසින් වැඩිම ඇතා වශයෙන් හැඳින්වෙන්නේ ද මේ ඇතාය. 2017 වර්ෂයේ දී බුරුම අගමැතිතුමා විසින් පරිත්‍යාග කර ඇති එම ඇතා ඇසළ පෙරහරේ ඇත් පන්තිය නියෝජනය කරයි. මැදපෙළ අලංකාරවත් කරන එම හස්තිරාජයා අනෙක් ඇතුන් සමඟ ගමන් කරනු ලබන්නේ මහත් හරසරිණි. මියන්රාජාද 2017 වර්ෂයේ දී ඉහතින් සඳහන් කළ බුරුම අගමැතිතුමා විසින් පරිත්‍යාග කර ඇත. බුරුමරාජා මියන්රාජා යන නම්වලින් හඳුන්වා ඇත්තේ එම රටේ නාමයෙනි. 1999 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ හතරවන විධායක ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විසින් මිගාර ඇතා පරිත්‍යාග කර ඇත. එම ඇතා පෙරහරේ අනෙක් ඇතුන් දෙදෙනා සමඟ එක පෙළට ගමන් කරන අතර බොහෝ ජනයාගේ ආකර්ෂණයට ලක්වී ඇත්තේ වයන බෙර පදයට අනුව තාලයට නටමින් පෙරහරේ ගමන් කරන නිසාවෙනි. 2017 වර්ෂයේ දී මියන්මාර අගමැතිනි අවුං සාං සුකී මැතිනිය විසින් පරිත්‍යාග කර ඇති පුළතිසි ඇත්රාජාට එම නම තබා ඇත්තේ ලංකාවේ පොළොන්නරු දිස්ත්‍රික්කය හඳුන්වන නාමයෙනි. එයට හේතු වී ඇත්තේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලයේ එම ඇත්රාජා මාලිගාවට බාරදීමත්, එතුමා පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන ජන නායකයකු නිසාත්ය.

1998 වර්ෂයේ දී ඉන්දීය අගමැති වජ්පායි මැතිතුමා විසින් කාවේරි රාජා නමින් ඇතෙකු පරිත්‍යාග කර ඇත. දර්ශනීයව එකට යා වුණු දළ දෙකක් සහිත එම ඇතා ද පරිණත දේහයකින් යුක්තව සිටින නිසා ධාතු කරඬුව වැඩමවීම සඳහා විටින් විට යොදවා ඇත. 2009 වර්ෂයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් දළදා මාලිගාව කේන්ද්‍ර කරගෙන තේවා කටයුතුබාර මල්වතු මහා විහාරයේ අතිගරු මහානායක මා හිමිපාණන් වහන්සේ වෙත පරිත්‍යාග කර ඇති අතර රිදී විහාරයේ මෙන්ම , ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පංතිය සමඟම නිරන්තරයෙන් වාසය කරන බැවින් මාලිගාවේ ඇත් පන්තියට අයත් වෙති. කුඩා පැටවකු කාලයේදී ම පරිත්‍යාග කරන ලද එම ඇතා එකල සිටම පෙරහරේ ගමන් කිරීම සඳහා යොදවා ඇත. බෙර පදවල තාලයට අනුව නටමින් ගමන් කරන එම ඇතා ද බොහෝ දෙනාගේ ආකර්ෂණයට නතු වී තිබේ. රාජා නමින් හඳුන්වන ඇතා ද 2009 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විසින් මාලිගාවේ තේවා කටයුතු සිදුකරන අස්ගිරි මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේට පූජා කර ඇති එම හස්තියා ඇත්කඳ වෙහෙරේ මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේද සිටින අතර ඇත් පංතිය නියෝජනය කරයි.

බොහෝ දුරට සිංහ හා රාජු පෙරහරේ එකම පේළියට දෙපැත්තේ ගමන් කරනු ලබන අතර මොහුද බෙර පදයේ තාලයට අනුව නටමින් නරඹන්නන් අමන්දානන්දයට පත්කරයි. ඉහතින් සඳහන් කළ ඇත් පන්තිය ශ්‍රී දළදා මාලිගාවේ ජීවමානව දැනට සිටින ඇතුන් වන අතර අනූව දශකයේ දළදා මාලිගාව සතුව ඇතුන් විස්සක් පමණ සිටි බව සඳහන් වේ. එහෙත් වර්තමානයේ මෙසේ අඩුවීමට විවිධ හේතු සාධක ඉවහල් වී ඇත. නොයෙක් සංවිධාන විසින් සත්ත්ව හිංසනය නමින් හඳුන්වන බැවින් හීලෑ ඇතුන් බවට පත්කිරීමට බාධා පමුණුවන නිසා එම තත්ත්වය උදාවී ඇත. එහෙත් අතීතයේ රාජ රාජ මහාමාත්‍යාදීන් තමන්ගේ යුද කටයුතු තමන්ගේ ගමන් බිමන් විවිධ පෙරහර ආදී කුදුමහත් කටයුතු සඳහා ඇතුන් යොදවාගෙන ඇත. එසේම දළදා පෙරහර ආරම්භයේ සිටම ඇතුන් විශාල වශයෙන් යොදා ගත් බවට තොරතුරු ඉතිහාස ග්‍රන්ථ තුළින් පැහැදිලි වේ. කොසොල් මහ රජතුමා මහා දන්දෙන විට ඇතුන් පන්සියයක් යොදවාගත් බව සඳහන් වේ. වර්තමානයේ නොයෙක් සංවිධානයන්ගෙන් ඇතිවන බාධා හමුවේ එම තත්ත්වය වෙනස් වී ඇත. ලක්දිව අනර්ඝතම සංස්කෘතික මංගල්‍යයක් වන ඇසළ පෙරහර පැවැත්වීම අනාගතයේ දී බාධා බොහොමයකට මුහුණපාන්නට සිදුවී ඇති බව එම ඇත් පන්තිය අඩු වීමෙන් හා ඇතිවන බලපෑම්වලින් පැහැදිලි වේ. එය සෑම වගකිවයුත්තකුගේම අවධානයට යොමුවිය යුතු කරුණක් ලෙස ද දැක්විය හැකිය.


ශ්‍රී දළදා පුරාණය - 22: දළදා සාහිත කෙත

 

දුරුතු පුර පසළොස්වක


දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 20 වනදා ඉරිදා අපරභාග 02.19 ට ලබයි. 21 වනදා සඳුදා පූර්ව භාග 10.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 20 වනදා ඉරිදා ය.

 

මීළඟ පෝය ජනවාරි 27 වනදා ඉරිදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජනවාරි 20

Second Quarterඅව අටවක

ජනවාරි 27

Full Moonඅමාවක

පෙබරවාරි 04

First Quarterපුර අටවක

පෙබරවාරි 12


2019 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2019 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]