UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

යහපත් ඇසුර ගුණවත් ජීවිතයක අඩිතාලමයි

යහපත් ඇසුර ගුණවත් ජීවිතයක අඩිතාලමයි

තමා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ නොදැන දොස් දැක්වූ බවත්, දැන් බුදුගුණවල තරම දන්නා බවත් ප්‍රකාශ කොට පසඟ පිහිටුවා වැඳ තම නුවරටම ගියේය. ඔහු ගිය පසු බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි, මේ රජ තම පියා නොමැරුවේ නම්, අද සෝවාන්වීමට පවා අවස්ථාව තිබුණ බව සඳහන් කළහ. පාපමිත්‍ර සේවනය නිසා සෝවාන් තත්ත්වයට පත් වීමට නොහැකි තත්ත්වයට පත් වුණු බවද සඳහන් කළහ. අවසානයේ පුරිසදම්ම සාරථී ගුණයෙන් පැහැදුණු නිසා ඔහුට යහපතක් වෙන බවද දේශනා කළේ ය. යහපත් ආශ්‍රයේ තරම සිතා බලන්න.

බිම්බිසාර මහ රජතුමා කාමරයක දමා මෑණියන් ලවා ආහාර පමණක් ලබාදීමට අජාසත්ත නියම කළේ ය. පසුව ආහාර යැවීම ද තහනම් කළේ ය. අනතුරුව මව කුඩා ආහාර ප්‍රමාණයක් කොණ්ඩයේ සඟවා ගොස් බිම්බිසාර මහ රජුට දීමට පටන් ගත්තා ය.

ඒ බව දැනගත් අජාසත්ත එසේ නොකරන ලෙස මවට අණ කළේ ය. අනතුරුව දුකට පත් මව පයෙහි දමන මිරිවැඩි සඟලේ දවටාගෙන ආහාර රැගෙන යන බවට අජාසත්තට සැළවිය. එය ද තහනම් කළේ ය. තවදුරටත් සංෙවිගයට පත් මව තම ස්වාමියා කෙරෙහි ඇල්මෙන් දියනා පිරිසුදු වී සිරුරෙහි ආහාර තවරාගෙන එය නොපෙනෙන සේ සිරුර උඩින් රෙදි කඩක් පොරවාගෙන බිම්බිසාර රජතුමා වෙත ගියා ය. ඒ බව දැනගත් අජාසත් රජු එය ද තහනම් කළේ ය. එපමණක් නොව මවට මින් පසු පියා සිටින කාමරයට නොයන ලෙසට ද තර්ජනය කළේ ය.

අනතුරුව ආහාර නොමැති පිය රජු රන් පලසක සක්මන් කරමින් සිටින බව දැනගත් අජාසත් එය ද නැවැත්වීය. ඒ අවස්ථාවේ බලවත් ව දුකට පත් අජාසත් මව කාමරය ළඟට ගොස් කුසේ සිටිය දී ම විනාශ කිරීමට අවස්ථාව නොදුන් නිසා පිය රජතුමා අද විඳින දුක සිහිපත් කර දුන්නේ ය. මේ අතර අජාසත් රජ තම සේවකයන් ලවා පියාගේ කකුල් පලා ලුණු දමා ගින්දරෙන් රත්කරන ලෙස අණ කළේ ය. සේවකයෝ ද රජ අණ නිසා එසේ කළහ. මේ බියකරු අවස්ථාවේ බිම්බිසාර රජතුමා වෙහෙර මළුවක දැමූ සිනිඳු මලක් සේ මැළවී මියැදුනේ ය.

අජාසත් පියාගේ කකුල් පලා ලුණු දමා කිටි කිටි යන ශබ්දයෙන් පසුව මරණයට පත්කර වූ ශෝකී ජනක පුවත අමාවතුර කතුවරයා වූ ගුරුළුගෝමී පඬිවරයා අසන්නන් හා පාඨකයන් සංවේදී භාවයට පත්වන අයුරින් සඳහන්කොට ඇත්තේ හද කකියවන ආකාරයෙනි. සෝවාන් රජ මගපලසුවෙන් සක්මන් කොට යපෙයි. රජුගේ ශරීරය දිලියෙයි. අ සා කිසේ යපෙති යි පිළිවිසැ සක්මනින් යැපෙන සේ ශරීරය දිලියෙන සේ අසා, සක්මන් නොකොට දුන මැනැව යි බ පාණන් පතුල් කරයෙන් පළා ලුණුතෙල් ගල්වා කිහිරඟුරෙහි චිචී යන අනුකරණ ඇති කොට පස්ව යි නෑවියන් යවි. රජ ඔවුන් දැකැ මපිත් කිසිවක්හු විසින් එකැතින් සියවරද ගිවිස්වනලද්දේ වනැ. මොහු මා මස්වලූමෙහෙ නිමවනු සඳහා ආහ යි සිතී. ඔවුන් ගොස් රජු වැඳ සිටි කල්හි කුමක් සඳහා අවුනැයි පිළිවිත්. ඔහු රජුගේ ඒ හස්න සැල කළහ. තොපි තොප රජු අණ කරව යි රජ කීයැ ඔහු දේවයන්වහන්ස, වැඩැ හුන මැනැවැයි කියා රජු වැදැ දේවයිනි, ඇපි රජුගේ නියෝග කරම්හ.අප කෙරේ නහමක් දැහැවුන මැනව. මේ ඔබ වැනි දැහැමි රජ කෙනකුන්ට සුදුසු දෙයෙක් නො වෙයි කියා වමතින් ගොප්මස ගෙන දකුණිතින් කරය ගෙන පතුල් පළා ලුණු තෙල් වකා කිහිරඟුරෙහි චිටිචිටි යන අනුකරණ ඇති කොට පක්හු එ රජ පූව¢ජන්මයෙහි දාගබඟණෙක්හි වහන් ලැ ගියේ යැ. සඟුන් හිඳුනටඅතුළ කළාලක්නොදෙවි පයින් ඇක්මිණ. මේ එහි ඵල යි. එරජ හට මහත් වේදනා උපන. අහෝ බුද්ධෝ අහෝ් ධම්මෝ අහෝ සංඝෝ යි තුනුරුවන් සඳහන් කරනුයේ ම දැගැබ් අස්නෙහි බහැලූ මලක් සෙයින් මළා සවුමහරජදෙව්ලෙව්හි වෙසවුණු මහරජාණන් පිරිවරු ජනවසභ නම් යක්ෂයෙක් වැ උපනැ. පළමු සවරෙක්හි එහි උපැද මහත් සම්පත් වැළදුයේ යැ .සවරෙක්හි දඹදිව රජ වූයේ යැ. දැන් සත්වන වරූ රජ වැ සත්වන වර සපුර මින් ගොස් උපන් දවස් ම අජාසත්හු පුතෙක් උපන.

පතුල් පලා ලුණුතතෙල් ගල්වා කිටි කිටි යන අනුකරණයෙන් රජුනට දැනුණු වේදනාව දරාගනිම්න් අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝෝයි තුනුරුවන් සඳහන් කරමින් ම බහාලූ මලක් සේ අපමණ දුක් දී පියා මැරූ අජාසත්තට ද පුතෙක් ඉපදුනි. ඇමතිවරු පුතෙක් උපන් පුවතත් ,පියා මළ පුවතත්, සැළකර සිටියේය. කුරිරු අජාසත් අලුත උපන් පුත්‍රයා කෙරෙහි අපමණ සෙනෙහස් උපදවා ගත්තේය. තමන් උපන් දින තම පියා ද මෙවන් සෙනෙහසක් උපදවන්නට ඇතැයි සිතා වහා ගොස් පියා වධබන්දනයෙන් මුදාහරින ලෙසට ඇමැතිවරුනට උපදෙස් දුන්නේය. මව ළඟට ගොස් තමා උපන්දා පියා මෙපමණ සෙනෙහසක් පෑවේදැයි විචාළේය.

ඔබ බාලකාලයේ ඇඟිල්ලක හටගත් ගෙඩියක් නිසා ඔබ වේදනා විඳින විට පියා එම ඇඟිල්ල කටේ දමා උරා එහි ඇති කුණු සැරව ගිලන ලද ආකාරය ද ඒ අවස්ථාවේ සිහිපත් කළේය. මේ අතර දෙව්දත් දුනුවායන් යවා බුදුන් මැරවීමට නොහැකි වූ කළ තමා ගිජුකුළු පව්වට නැග සක්මන් කරමින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මැරවීමට ගලක් හෙලුවේය. එයින්ද බුදුරජාණන් වහන්සේ මැරවිය නොහැකි බව දැනගත් දෙව්දත් නාලාගිරි නම්, චණ්ඩ ඇතා එවා එයින් ද බුදුරදුන් විනාශ කිරීමට උත්සාහ කළේ ය. ඔහුගේ උපක්‍රම සියල්ල අසාර්ථක විය. අන්තිමට ලාබ සත්කාරයෙන් දෙව්දත් පිරිහුනේ ය. එම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වර පහක් ඉල්ලීය ඒවා ද නොලැබුණි. බුදුරදුනට සතුරු වුණ දෙව්දත් ඊට පසුව බුදුරජාණන් වහන්සේගේ පිරිස අතරින් භික්ෂූන් වහන්සේලා පන්සියයක පිරිසක් වෙන්කොට ගිනිමින් පලා ගියේය ය. මේ බැව් දැනගත් සැරියුත් මුගලන් අගසවු දෙනම එහි ගොස් එම පන්සිය දෙනා වහන්සේ නැවතත් ආපසු ගෙන ගියහ.

දෙව්දත් කළකිරීමට පත්විය. රෝගාතුර විය. මාසයක් ලෙඩ ඇඳේම සිටීමට සිදුවිය. හොඳට ම පසුතැවිලි විය. බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩසිටි බව අසා තමා ඇඳක තබා ඔසවාගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට රැගෙන යන ලෙස පිරිසට පැවසීය. දෙව්රම් වෙහෙර අසලදී බුදුන් දැකීමට නොහැකි වූ ඔහු පොළොව පලාගෙන අවීචිමහා නිරයට ම ගියේය.

අනතුරුව රජගහ නුවර සැණකෙළියක් විය. එදා පුන්පොහෝ දිනකි. අජාසත් රජ ඇමැති මඬුල්ල ද පිරිවරාගෙන රාත්‍රි නින්දක නොලැබ ආසනයෙහි ම හුන්නේය. අජාසත් රජ තම පියා මළදින සිට නින්ද නොයන බැව් පිරිස අමතා කී ය. තම සිත පහදා ගැනීමට කුමන මහණ බමුණු කරා යම්දැයි ඔවුන්ගෙන් විමසී ය. එහි දී ඇතැමුන් ෂඩ් ශාස්තෘන් කරා යාමට සුදුසු බව කීහ. ඒ අතර අඹ වනයේ සිටි ජීිවක නමැත්තා බුදුරජාණන් වහන්සේගේ ගුණ කථනය ආරම්භ කළේ ය. තමාගේ අඹ වනයේ බුදුරජාණන් වහන්සේ විශාල පිරිසක් සමඟ වැඩ සිටින බවත්, යන එන්නන්ගේ සිත පහදවාගෙන දහම් දෙසන බවත්, සඳහන් කළේ ය. බුදුරජාණන් වහන්සේගේ ගුණ කදම්භය ඇසූ අජාසත් බුදුන් දැකීමට යා යුතු බව ජීවකට කීවේය. රජුට සතුරන් බොහෝ දෙනෙක් සිටින නිසා කරදර වෙතැයි සිතූ, ජීවක ඒ සඳහා සුදුසු ලෙස ගමන පිළියෙල කළේ ය.

අජාසත් ජීවක සමඟ අඹ උයනේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැකීමට ගියේය. අලංකාර පෙරහරකින් ගමන ආරම්භ කළ හ. එහිදී ජීවක නිශ්ශබ්ද වන ලෙස රජතුමාට කී ය. අජාසත් රජ ද තමා කළ අපරාධ සිහිපත් කරමින් හොඳට ම බය උපදවා ගත්තේය. රජු සමඟ බුදුරජාණන් වහන්සේ වෙත යන විට එහි සිටි භික්ෂූන් වහන්සේලා අතකුදු නොසොල්වා ඉතා සංවරශිලීව වැඩ හුන්හ. රජතුමා ද ඒ දෙස බලා සන්සුන් විය. අජාසත් තම පුතු මෙසේ සිටිනවා දැකීමට ලැබුණොත් නම් , කෙතරම් අගනේ දැයි කීය. බුදුරජාණන් වහන්සේ රජුගේ නිශ්ශබ්දතාවය බලා මා සමඟ කතා කිරීමට නොපොහොසත් යැයි සිතා රජු සමඟ කතාව ආරම්භ කළ සේක. තමා විශාල අපරාධ සංඛ්‍යාවක් කර තිබියදීත් බුදුරජ ප්‍රිය තෙපුල් කතා කරයි. බුදුන් කරුණා ගුණයෙන් සමන්විත ය. යනුවෙන් සිහිකොට ප්‍රසාදයට පත්වී බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළේය.

සඟුනට ද වැන්දේය බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසීමටද අවසර ඉල්ලී ය. එවිට බුදුරජාණන් වහන්සේ ඕනෑම ප්‍රශ්නයක් අසන ලෙස රජුට කීහ. රජ ෂඩ් ශාස්තෘවරුන්ගෙන් ඵල නොලැබිය හැකි බව දැන බුදුන් දැකීමට ආ බව ද කීවේය. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මහණකමේ ඇති අගය ද අජාසත්ට සිහිකළ සේක . එවිට අජාසත් තමා මෙතෙක් කල් ෂඩ් ශාස්තෘන් ආදී බමුණන්ගෙන් ඇසුවත් එයින් ඵලක් නොවූ බවත්, අද බුදුරජාන් වහන්සේගෙන් බණ අසා පැහුදුනු බවත්, කීවේය. පහන් විශාල ප්‍රමාණයක් දල්වා ආලෝක කරන්නා සේ බුදුන් තමා ආලෝකමත් භාවයට පත්කළ බව පැවසී ය.

මීට පෙර තමා බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ නොදැන දොස් දැක්වූ බවත්, දැන් බුදුගුණවල තරම දන්නා බවත් ප්‍රකාශ කොට පසඟ පිහිටුවා වැඳ තම නුවරටම ගියේය. ඔහු ගිය පසු බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි මේ රජ තම පියා නොමැරුවේ නම්, අද සෝවාන්වීමට පවා අවස්ථාව තිබුණ බව සඳහන් කළහ. පාපමිත්‍ර සේවනය නිසා සෝවාන් තත්ත්වයට පත් වීමට නොහැකි තත්ත්වයට පත් වුණු බවද, සඳහන් කළහ. අවසානයේ පුරිසදම්ම සාරථී ගුණයෙන් පැහැදුණු නිසා ඔහුට යහපතක් වෙන බවද දේශනා කළේ ය. යහපත් ආශ්‍රයේ තරම සිතා බලන්න.

 

වප් අමාවක පෝය


වප් අමාවක පෝය නොවැම්බර් 06 වනදා අඟහරුවාදා අපරභාග 10.31 ට ලබයි. 7 වනදා බදාදා අපරභාග 09.37 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 07 වනදා බදාදා ය.

 

මීළඟ පෝය නොවැම්බර් 15 වනදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

නොවැම්බර් 07

First Quarterපුර අටවක

නොවැම්බර් 15

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 22

Second Quarterඅව අටවක

නොවැම්බර් 30


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]