UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චලන සිතුවම හා භව සිතුවම

චලන සිතුවම හා භව සිතුවම

බුදුරජාණන් වහන්සේ විසින් දුතිය ගද්දූල සූත්‍රය නමින් දේශනා කළ සූත්‍රයක් සංයුත්ත නිකායේ හමුවේ. එහි ගද්දුල යන වචනයේ තේරුම දම්වැල යන්නයි. එම සූත්‍රයේ සඳහන් පරිදි බුදුන් වහන්සේ මහණෙනි, නුඹලා චරණ සිතුවමක් දැක ඇද්දැයි භික්ෂූන්ගෙන් අසති. මහණෙනි, ඒ චරණ නම් චිත්‍රයත් සිතින්ම සිතන ලද්දකි. මහණෙනි, ඒ චරණ විත්‍රයටත් වඩා මේ සිත විසිතුරු ය.

මෙහි සඳහන් චරණ චිත්‍රය යන්නට සමාන වර්තමාන ව්‍යවහාරයේ යෙදෙන වචනය චලන චිත්‍රය හෙවත් චලන සිතුවම යන්නයි. චලන සිතුවම් යනු සෙලවෙන, ගමන් කරන හෝ එහෙ මෙහේ ගෙන යා හැකි සිතුවම් ය. වර්තමාන භාවිතය හා සසඳමින් සිතනවිට අප දකින නාට්‍ය, රූකඩ චිත්‍රපට ආදිය චලන සිතුවම් නමින් ගත හැකි ය. බුදුරජාණන් වහන්සේ පවසන පරිදි මෙම චරණ සිතුවම්වලටත් වඩා අපගේ සිත විසිතුරු ය. කුමක් නිසාද යත්, එම සිතුවම් ද කෙනෙකුගේ සිතින්ම සිතා කරන ලද්දක් වන බැවිනි. එම නිසා ක්ෂණයක් පාසා, මෙහොතක් පාසා සිත පිළිබඳව නිතරම සිහි නුවණින් සලකා බැලිය යුතු බව, ආපසු හැරී බැලිය යුතු බව බුදුන් වහන්සේ අවවාදයක් හැටියට භික්ෂූන්ට පෙන්වා දෙති. එසේ සලකා බැලිය යුත්තේ දීර්ඝ කාලයක් මෙම සිත රාගයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් කිලිටි වී දූෂිත වී ඇති නිසා ය. සිත කිලිටිවීමෙන් සත්වයෝ කිලිටි වෙති. සිත පිරිසුදු වීමෙන් සත්වයෝ පිරිසුදු වෙති. ඉහත දක්වා ඇත්තේ එම ගද්දුල සූත්‍රයේ අන්තර්ගත වැදගත්ම කරුණකි.

මෙම සූත්‍රයෙන් කියැවෙන්නේ මෙම චිත්‍රය ඇන්ද කෙනොගේ සිතේ විසිතුරු බව කියා ඔබට සිතෙන්නට හැකි ය. එහෙත් එය වැදගත් වන්නේ ඒ නිසාම නොවේ. මෙහි ගැඹුරු අරුත නම් මෙම සිතුවම දකින තැනැත්තා එම චරණ චිත්‍රය විචිත්‍ර ලෙස සැලකීමට පෙළඹීම ය. ඔහු තම සිතේ දීර්ඝ කාලයක් වැඩුණු රාග, ද්වේෂ, මෝහ ආධාර කරගෙන එය ආස්වාද කිරීමට පෙළඹීම ය. සාමාන්‍යයෙන් චිත්‍රපටි, නාට්‍ය ආදිය පෙන්වනු ලබන්නේ රාත්‍රියේ හෝ අඳුරු රංග ශාලාවක් ඇතුළේ ය. දවල් කාලයේ දී පෙන්වන්නේ නම්, කඩතුරා යොදා අඳුර ඇති කරවයි.

මෙසේ අඳුර ඇති කිරීමේ අරමුණ කුමක් ද? ප්‍රේක්ෂකයා තුළ පවතින අවිද්‍යා අන්ධකාරය මතු කිරීම හා තීව්‍ර කිරීම යි. සිනමාව අන්ධකාරය හා රංගශාලාව ඇතුළත තිබෙන අන්ධකාරයේ සත්‍යය නම්, අප මෝහනය කිරීම නැතහොත් මුළාවට පත් කිරීමයි. සිනමා ශාලාවක චිත්‍රපටියක් හෝ නාට්‍යයක් නරඹන පුද්ගලයා මඳ වේලාවකින් තමා මේ නරඹන්නේ චිත්‍රපටියක් හෝ නාට්‍යයක් බව අමතක වන තරමට මෝහනයට පත්වන බව ඔබ දන්නා කරුණකි. මේ නිසා නාට්‍යාදිය රාත්‍රියේ දී පෙන්වන්නේත් , අඳුර සකසන්නේත් අවිද්‍යා ආශ්‍රව මතු කිරීමට ය.

අවිද්‍යා අන්ධකාරයෙහි සිට ආශ්‍රව සහිතව බලන කල එහි ඇති අඩුපාඩු අපට නොපෙනී යන තත්ත්වයක් ඇතිවේ. මෙකී ආශ්‍රව කාමාසව, භවාසව, දිට්ඨි ආසව හා අවිජ්ජාසව යනුවෙන් ධර්මයෙහි විස්තර වේ. මේ නිසා චරණ චිත්‍රයක් වැනි යමක් දුටුවිට මෙකී සිත තුළ සංස්කරණය කළ ආශ්‍රව මගින් අඩුපාඩු නො තකා විනෝදවීමේ, ආස්වාදය කිරීමේ හා රස විඳීමේ ගතියක් අප තුළ ඇතිවේ.

චරණ චිත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට ඇත්තේ ඉතා වැදගත් කරුණකි. ඉහත කී පරිදි චිත්‍රපටයක් නැරඹීම වැනි ක්‍රියාවලියක් සිදුවන්නේ අඳුර ඇසුරෙන් ය. සැබැවින්ම එය අවිද්‍යා අන්ධකාරය යි. හදිසියේ කඩතුරා ඉවත්වීමෙන් හෝ දොරක් විවෘත වීමෙන් හෝ අඳුර නැති වුවහොත් සිදුවන්නේ කුමක් ද? චිත්‍රපටයේ පාට හෙවත් වර්ණ (රාග) වෙනස් වේ. වර්ණ නැතහොත් රාග වෙනස් වුවහොත් අප මේ නරඹන්නේ කුමක් ද? සත්‍යයක් නොවේ, වැඩක් නැති මායාකාරී දෙයකි යන විඥානය අප තුළ ඇතිවේ. එවිට රාගය විරාගයක් බවට පත් වේ. තමා විඳීමින් සිටින ආස්වාදය පිළිබඳ කළකිරීමක් (නිබ්බිදා) ඇතිවේ. එතෙක් පැවති මෝහනය නැතිවීමට පටන් ගනී. චිත්‍රපටයක සැබෑව එනම් එය මායාවක් බව තේරුම් ගියේ පිටතින් පැමිණි ආලෝකයක් නිසා ය. යම් හෙයකින් යමෙකුගේ සිත ඇතුළතින් මෙම ආලෝකධාරාව පහළ වුවහොත් කුමක් සිදුවේද? ඔහු එය මායාවක් බව තේරුම් ගනීවි. ප්‍රඥා ආලෝකයෙන් ලෝකය විනිවිද දකීවි. අඳුර මායාව රැවටිල්ල හා මුළාව නිසා සෝ සුසුම්, කඳුඵ ගංගාවන් සමඟ කරනු ලබන ගනුදෙනුවෙන් මිදේවි. අවිද්‍යා අන්ධකාරය මැඳ සංස්කාර මුල්කොට ගෙන විඤ්ඤාණයක් පහළ කොට ගනිමින් නාම රූප සන්තතියක් පරිහරණය කරමින් සිටින බව අපට තේරුම් යාවි. තමා පරිහරණය කරනු ලබන පංචස්කන්ධය මායාවක ප්‍රතිඵලයක් බවත් එයින් සාංසාරිකව අත්විඳීන දුක්ඛමය තත්ත්වය අවිද්‍යාව හෙවත් නො දැනීමේ ඵලයක් බවත් වටහා ගනීවි.

අඳුරේ මායාව, දෘශ්‍ය කලාවේ යථාර්ථය තේරුම් ගැනීමට අපූරු නිදසුනක් බෞද්ධ සාහිත්‍යයේ හමුවේ. එනම් උපතිස්ස කෝලිත යන පරිබ‍්‍රාජකයන් දෙදෙනාගේ ජීවිත කතාව යි. ගිහි කල කල්‍යාණ මිත්‍රයන් දෙදෙනෙකු වූ ඔවුහු ගිරග්ග සමජ්ජ නමින් හැඳීන්වෙන කඳු මුදුනක රාත්‍රියෙහි ප්‍රදර්ශනය කරනු ලබන නාට්‍ය සංදර්ශන විශේෂයක් බැලීමට පුරුදු වී සිටියහ. දිනක් මේ දෙදෙනාට ම තමන් නරඹන ගිරග්ග සමජ්ජය තුළ සැබෑවක් නැති බව වැටහුණි. එය හුදු මායාවක් බව තේරුම් ගියේ ය. ඉන් මුහුණේ සිනහව නැතිවිය. නිර්වේදය (නිබ්බිදාය) හෙවත් කළකිරීම පිණිස සිත නැමුණි. සාංසාරික ත්‍රාසය හා හාසය මනාව වැටහුණි. එනිසා ම, උපන් අධ්‍යාත්මික ආලෝකය ඔස්සේ ගිය ඔවුහු රහත් බවට පත්වී සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේලා ලෙස ප්‍රකට වූහ. සැබැවින් ම කලාවේ ත්‍රාසය ඔවුහු විනිවිද දුටුවාහු ය. එය ධර්මය තුළ හාසයකි. නිදසුනක් ලෙස චිත්‍රපට ආදියෙහිදී මහමැඳුරු ආදිය ගිනි ගන්නා අයුරු, මහා පර්වත පෙරලෙන අයුරු ඔබ දැක ඇත. ඉහත කී පරිදි මෝහනයට පත්ව එය නරඹන්නා ඉන් විස්මයට භීතියට හා ත්‍රාසයට පත්වේ. සැබැවින්ම මෙම මහමැඳුරු, පර්වත සාදා ඇත්තේ කඩදාසිවලිනි.

එය සැබැවින් දන්නා තැනැත්තාට එය හාස්‍යයට කරුණකි. යෝගාවචර භික්ෂුව ද ධර්මයන්ගේ යථා තත්වය දකින්නේ එලෙසිනි. කලාවෙන් යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කළ ද එම සිද්ධියම සියුම් ප්‍රඥාවෙන් විනිවිද දකින්නාට පෙනෙනුයේ එම යථාර්ථයේ මිත්‍යාව යි. යථාර්ථයක් ලෙසින් අප රංගනයෙහි යෙදෙන මෙම භව නාටකය ද චරණ චිත්‍රයක් මෙන් දුටු මුගලන් වැනි මහරහතන් වහන්සේලා එය ඔප්පු කිරීමට විවිධ නිදසුන් ගෙනහැර දැක්වූ අයුරු විමානවත්ථු හා පේතවත්ථු කථාවලින් පැහැදිලි වේ. කර්ම චක්‍රය මගින් කරකවනු ලබන භවගාමී සත්ත්වයන් රූකඩ මෙන් දෙව් බඹ මිනිස් තිරිසන් භවයන් හි ඉපිද කම්පල භුක්ති විඳීන අයුරු දැක බුදුරජාණන් වහන්සේ පවා වරෙක හසිතුප්පාද සිතක් පහළ කළ බව ධර්මයෙහි සඳහන් වේ.

ගද්දුල සූත්‍රය ආරම්භ වන්නේ සත්ත්වයා අක්මුල් නොමැති සසර සැරිසරන බවත් අවිද්‍යා නීවරණයන්ගෙන් සහ සප්ත සංයෝජනයන් බැඳී සිටින තාක් මොවුන්ට එකී සැරිසැරීමේ යථාර්ථය තේරුම් ගත නොහැකි බවත් පවසමිනි. ගද්දුල යනු දම්වැල බව මුලින් කියන ලදී. දම්වැලකින් කණුවක බඳීන ලද සුනඛයා එම කණුව සමීපයෙහි ම එහෙට යයි. මෙහෙට එයි. එය ඇසුරු කොටම හිඳීයි, සිටියි, නිදයි. සංසාරය තුළ පෘථග්ජන අපගේ හැසිරීම ද එමෙනි. චිත්‍රපටයක හෝ එබඳු කලා කෘතියක මායාව සම්බන්ධයෙන් එය සත්‍යයක් වශයෙන් හෝ අසත්‍යයක් වශයෙන් හෝ අප කරනු ලබන ඇගයීම් හා විවේචනය කිසියම් නිශ්චිත දුර ප්‍රමාණයක් සිට කරනු ලබන්නකි.

කණුවක බැඳ සිටින ලද සුනඛයෙකුට තමාට යාහැකි සීමාවෙන් එහා යා නොහැක්කාක් මෙන් පෘථග්ජන අප සිටින සීමාවෙන් එහා ගොස් එය සිදු කිරීමේ හැකියාවක් අපට නැත. ආගම ධර්මය සම්බන්ධ සංකල්ප සාහිත්‍ය කලාවන්ට ඈඳා ගනිමින් නිර්මාණකරණයේ යෙදෙන්නේ නම් මෙය වටහාගත යුතු සත්‍යයක් වේ. අශ්‍රැතවත් නොහොත් නුවණ මුහුකුරා නොගිය පෘථග්ජනයා මායාවේ කඩතුරාව ඉක්මවා නොයමින් අවිද්‍යා අන්ධකාරයේ සිටිමින් චරණ සිතුවම සැබෑවක් ලෙස සිතන්නාක් මෙන් පඤ්චස්කන්ධය යනු මමය, එය මාගේය, එය මගේ දෙයක් වශයෙන් ගත හැකිය යන ආකල්පයේ සිට එය දකියි. එයම තහවුරු කිරීමට වෑයම් කරයි. වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යනාදිය ද එසේම සිතන අතර එය අනෙකාට ද තහවුරු කිරීමට උත්සාහ කරයි. මෙය උසස් දැකීමක් නොවේ. එය හැඳීන්විය යුත්තේ සුනඛාවලෝකනයක් ලෙස ය.

වෙනත් විධියකින් කිවහොත් සුනඛයකුගේ බැලීම හා සමාන කරමිනි. භෞතික කයක් පරිහරණය කරනු ලබන මිනිසුන් වශයෙන් අප අපගේ ශරීරය වපසරිය කොට පමණක් සංකල්ප ගොඩනැගීම වැරැදි ය. ඇස ,කන, නාසය ආදී ඉන්ද්‍රියයන් සංතෘප්ත කිරීම පමණක් ඇසුරුකොට අපගේ වින්දනයන්, හැඟීම් දැනීම්, ක්‍රියාකාරකම් හා චින්තන ධාරාවන්ට වටිනාකම් හා ඇගයීම් දීම වැරැදි ය. එබැවින් මේ කය ඇසුරු කොට පවතින සිතේ විසිතුරු බව පිළිබඳව නිතර නිතරම සලකා බලන ලෙස බුදුරජාණන් වහන්සේ අපට වදාළහ. චරණ චිත්‍රයේ මායාව විනිවිද දකින්නාක් මෙන් අප විසින් පඤ්චස්කන්ධය පිළිබඳව ද විනිවිද දැකිය යුතු ය. ඒ සඳහා සිත ඇතුළෙන් ම උපදින ප්‍රඥාලෝකයෙන් අවිද්‍යාවේ අන්ධකාරය නැසිය යුතු ය. එයින් බෞද්ධ ශ්‍රාවකයෙකු ලෙස ඔබ මා සිතන නිර්වාණ මාර්ගයට ප්‍රවේශ වීමේ හැකියාවක් පවතී.

 

බිනර පුර පසළොස්වක පෝය


බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 24 වන දා සඳුදා පූර්ව භාග 07.18 ට ලබයි. 25 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.22 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 24 වන දා සඳුදා ය.

 

මීළඟ පෝය ඔක්තෝබර් 02 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 24

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 02

Full Moonඅමාවක

ඔක්තෝබර් 08

First Quarterපුර අටවක

ඔක්තෝබර් 16


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]