UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පවෙහි සැහැසි බව පෙන්වන පේත කථා-21: අනර්ථය පිණිස යෙදූ ශිල්පයේ ආදීනව

අනර්ථය පිණිස යෙදූ ශිල්පයේ ආදීනව

යටගිය දවස බරණැස් නුවර කුඩා ගල් කැට ගෙන විදීමේ ශිල්පීය දක්‍ෂතා ඇති එක්තරා කොරෙක් වාසය කළේ ය. නගර දොරටුව ආසන්නයේ පිහිටි විශාල නුග රුකක් මුල වාසය කළ ඔහු ගල් කැට විදීමෙන් නුග කොළවල විවිධ සටහන් නිර්මාණය කළේ ය. නගරයේ සිටි කුඩා දරුවෝ ඔහු වටා රොක් වී මුදල් දී ඔහු ලවා නුගපත්වල විවිධ විසිතුරු සටහන් නිර්මාණය කරවා ගත්හ.

එක් දිනක් බරණැස් රජු නගර සංචාරයේ යෙදෙමින් සිටින අතර, එම විසිතුරු නුගපත් දැක කවරෙකු විසින් ඒවා නිර්මාණය කරන ලද්දේදැයි විමසී ය. එහි සිටි මිනිස්සු කොරා විසින් ඒ සියල්ල නිර්මාණය කළ බව දැන්වූහ. ඔහු කැඳවූ රජු තමා විසින් පෙන්වනු ලබන පුරුෂයෙකු හා කථා කරමින් සිටින විට ඔහු නො දැනුවත්වම ඔහුගේ කුස එළු වසුරුවලින් විද පිරවිය හැකි දැයි විචාළේ ය. තමාට එය කළ හැකි යැයි කොරා පැවසී ය. මේ අතර තොර තෝංචියක් නොමැතිව කථා කරන තම පුරෝහිත බමුණා කෙරෙහි බරණැස් රජු බෙහෙවින් කළකිරී සිටියේ ය. කෙසේ හෝ කොරා ලවා තම පුරෝහිත බමුණාගේ කුස එළු වසුරුවලින් විද පුරවා ඔහු ලජ්ජාවට පත්කොට පාලනයකින් තොරව කථා කිරීමේ පුරුද්ද නැති කළ යුතුයැයි සිතී ය. ඉක්බිති බරණැස් රජතුමා කොරා අමතා කළයුතු සියල්ල පැහැදිලි කොට ඔහු රජ මැදුරට කැඳවාගෙන ගියේ ය. රජුගේ උපදෙස් පිළිගත් කොරා රජතුමා හා පුරෝහිත බමුණා කථා කරමින් සිටියදී පුරෝහිතයාට නොදැනීම වරින් වර ඔහුගේ මුවට නැළියක් පමණ එළු වසුරු විද්දේය.

පුරෝහිතයා එළු වසුරු වමෑරීමට නොහැකිව ඒ සියල්ල ගිල දැමී ය. අවසානයේ ඔහුගේ කුස එළු වසුරුවලින් පිරුණේ ය. මෙය දුටු බරණැස් රජු තොර තෝංචියක් නො මැතිව කථා කිරීමේ ආදීනව වශයෙන් නැළියක් පමණ එළු වසුරුවලින් පුරෝහිතයාට තම කුස පුරවා ගැනීමට සිදු වී යැයි දක්වා ලජ්ජා කොට මින් මතුවට පමණ දැන කථා කරන මෙන් දැන්වී ය. පුරෝහිතයාගේ කුසෙහි පිරි එළු වසුරු වමෑරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බරණැස් රජතුමා තමාගේ ඉල්ලීම මැනවින් ඉටුකළ කොරාට තෑගී භෝග සහිත බොහෝ ධනසම්පත් ලබා දුන්නේ ය. ඉක්බිති කොරා එම ධනසම්පත් වියදම් කොට යහපත් දිවිපෙවෙතක් ගතකරමින් බොහෝ පින් දහම් කළේ ය. එපමණක් නොව තමන් වෙත පැමිණි පිරිසට බත් වැටුප් ගෙවා තමා දත් ශිල්පය ද මැනවින් පුහුණු කළේය.

මේ අතර ඔහු වෙත පැමිණි එක්තරා පුරුෂයෙකු බත් වැටුප් කිසිවක් නො ගෙන ගල් කැට විදීමේ ශිල්පය පමණක් හදාළේ ය. ගල් කැට විදීමේ ශිල්පය මැනවින් හදාළ මෙම පුරුෂයා තමා දත් ශිල්පය පරීක්‍ෂා කිරීම පිණිස ගංතෙරට ගොස් එහි වැඩ සිටි සුනෙත්ත නම් පසේ බුදුන්වහන්සේගේ හිසට විද උන්වහන්සේගේ හිස බින්ඳේය. එයින් පසේ බුදුන් වහන්සේ පිරිනිවීමට පත් වූහ. මෙය ඇසූ ප්‍රදේශවාසීහු එම පුරුෂයා තළා පෙළා මරා දැමූහ.

මරණයට පත් වූ එම පුරුෂයා තමා කළ බලවත් පාප කර්මයේ විපාක වශයෙන් අවීචි මහ නිරයේ ඉපිද බොහෝ දුක් විඳ මෙම බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවරට නුදුරුව ප්‍රේතයෙකුව උපන්නේ ය. දවසට තුන්වරක් යකඩ කුළු සැට දහසක් ඔහුගේ හිස මත පතිතව හිස සුන්බුන් බවට පත් වන්නේ ය. නැවත නැවත හිස ප්‍රකෘතිමත් වෙමින් එම දුකම විඳින්නේ ය. මෙසේ තමා කළ පාප කර්මයට අනුරූපව බොහෝ වේදනා විදිමින් සිටියේ ය. එක් දිනක් ගිජුකුළු පව්වෙන් බසින මුගලන් මහා රහතන් වහන්සේ එම ප්‍රේතයා දැක ඔහුගෙන් කරුණු විචාළහ. ඉක්බිති ප්‍රේතයා අතීත භවයේ තමා කළ සියලු පාප කර්ම පිළිබද උන්වහන්සේට දැන්වී ය.

බුදුරදුන් වෙත ගිය මුගලන් මහරහතන් වහන්සේ එම පේතකථාව තථාගතයන් වහන්සේට දැන්වූහ. බුදුරජාණන් වහන්සේ එය මාතෘකා කරගෙන රැස් වූ පිරිසට ධර්මය දේශනා කළහ.

පමණ නොදැන කථා කිරීමේ ආදීනවත්, තමා උගත් ශිල්පය අනර්ථය පිණිස යෙදවීමේ ආදීනවත් මෙම පේත කථාවෙන් ගම්‍ය වේ. මෙම පේත කථාවේ එන පළමු කොටසින් පමණ දැන කථා කිරීමේ වැදගත් කම අවධාරණය වේ. වාග් සංවරය කවරෙකුට වුව වැදගත් වේ. අනවශ්‍ය ලෙස කථාවෙහි නිරත වන්නා එක් අතකින් සමාජයේ ගැරහුමට ලක්වන අතර , අනික් අතින් බොහෝ ගැටලුවලට මුහුණ පායි. කයිවාරුවට ලැදි (භස්සාරාමතා) තැනැත්තා පිරිහීමට පත්වන බව බුදුරදුන්ගේ ඉැගන්වීමයි. කථාවට යෝග්‍ය සුදුසු හරවත් මාතෘකාවක් නොමැති විට නිශ්ශබ්දව සිටිය යුතුයැයි අවධාරණය කරන බුදුසමය එය ආර්ය නිශ්ශබ්දතාව ලෙස (අරියො තුණ්හීභාවො) නම් කරයි. දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ දැක්වෙන පරිදි බුදුරදුන් මෙන්ම උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස ද මෙය ආදර්ශයකොට ගෙන වාසය කළ බව බුදුරදුන් සමග පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටි ජීවක අඹ උයනට ගිය අජාසත් රජතුමා කරන ප්‍රකාශයෙන් පැහැදිලි වේ.

බුදුරදුන් ප්‍රමුඛ පන්සියයක් භික්‍ෂූන් එහි වැඩ සිටියත් උගුර පාදන තරම්වත් ශබ්දයක් ඇසීමට නො ලැබීමෙන් රජතුමා පුදුමයට පත් වූයේය. එවන් නිහඬ උපශාසන්ත බවක් තම පුතු උදායිභද්දටත් තිබේ නම් එය කො තරම් වටින්නේදැයි අජාසත් රජු කල්පනා කළේ ය. තොරතෝංචියක් නොමැතිව කෑ ගැසීම මෙන්ම, කියවීමත් නිසා ඇතැම් අයෙකු කට වාචාළයෙකු හා කෙලතොල්ලෙකු වශයෙන් කාගේත් ගැරහුමට ලක් වේ.

අනවශ්‍ය කථාව බොහෝ උවදුරුවලට හේතුවේ. එබැවින් පමණ දැන කථා කිරීම පෙරටත් වඩා මෙකලට බෙහෙවින් වැදගත් වේ. විවිධ සන්නිවේදන උපකරණ බහුල මෙම යුගයේ විචාර බුද්ධියෙන් තොරව කරන කථාව සමාජ ගැටුම් ඇතිවීමට හේතුවක් ව තිබේ. කථා කිරීමේදී දුර දිග නො බලා වචන පිට කිරීම නිසා ගිහි පැවිදි දෙපක්‍ෂයම ගැරහුමට ලක්වන බව විවිධ සිදුවීම්වලින් වටහා ගත හැකි වේ. සත්‍ය වුවද කථා කළයුත්තේ ඊට සුදුසු අවස්ථාව එළඹි විටය. වචන භාවිතය කෙසේ විය යුතුද යන්න මජ්ක්‍ධිම නිකායේ අභයරාජ කුමාර සූත්‍රයේ මැනවින් සංග්‍රහ වී තිබේ.

අනුවණ පුද්ගලයා තමා උගත් ශිල්පය අවභාවිත කරයි. එයින් ඔහුටත් අන් අයටත් හානි වේ. මෙම පේත කථාවේ එන පුරුෂයා ද එබඳු තැනැත්තෙකි. ඔහු තමා උගත් ශිල්පය පරීක්‍ෂා කළේ වීතරාගී සුනෙත්ත පසේබුදුන් වහන්සේගේ හිස බිඳීමෙන් ය. එයින් ඔහු ආනන්තරිය පාප කර්මයක් සිදුකරගත්තේය. එහි විපාක වශයෙන් අවීචියේ ඉපද බොහෝ කලක් දුක්විඳ අවසානයේ ප්‍රේතයෙකුව තවත් දුක් රැසක් වින්දේ ය. උගත් දෑ අවභාවිතකොට සමාජයට අහිත පිණිස පවතින ක්‍රියාවල නිරත වන පුද්ගලයෝ වෙති.

තමා උගත් කාර්මික ශිල්පය මෙන්ම තාක්‍ෂණික දැනුමත් සදාචාර විරෝධි ක්‍රියාවලට භාවිත කරන පුද්ගලයෝ අසභ්‍ය දෑ නිමවා ඒවා සමාජ ගත කරති. එවන් දෑ මිල දී ගන්නා තරුණ තරුණියන් පමණක් නොව වැඩිහිටියන් ද ජීවිතය අවුල්කරගෙන තිබෙන අවස්ථා කොතෙකුත් දැකිය හැකි ය. ඇතැම් විටක අන්තර්ජාල පහසුකම් එවැනි සදාචාර විරෝධි ක්‍රියාවලට භාවිත කරන පුද්ගලයන් හා සංවිධාන ද තිබේ.

අවබෝධයකින් තොරව කටයුතු කරන ඇතැම් පාසල් දරුවන් ඒවායේ ගොදුරු බවට පත්ව තම පාසල් අධ්‍යාපනය කඩකප්පල් කරගත් අවස්ථා වාර්තාවේ. මෙම අර්බුද ශිල්පීය හැකියාවන් වැරැදි ලෙස භාවිත කිරීමේ ආදිනව ය. පංච ඉන්ද්‍රියයන් වෙත ගලා එන අරමුණු නිසි පාලනයකින් තොරව ක්‍රියාත්මක කළ විට ජීවිතය අවුල් සහගත වන බව පැහැදිලි ය. එබැවින් පමණ දැන කථා කිරීමෙන් වාග් සංවරය රැකීමෙනුත්, තමා උගත් ශිල්පය නිසි තැන නිසි දෙයට භවිත කිරීමෙනුත් තමාට මෙන්ම ලෝකයටත් යහපතක් උදා කළ හැකි ය.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]