UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිත් දේශනාව 17: ධජග්ග සූත්‍රය

ධජග්ග සූත්‍රය

බුදුරදුන් සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරති. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේ ඇමතූ සේක.

මහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයක් විය. සක්දෙව් රජු තව්තිසා වැසි දෙවියන් අමතමින් , යුද්ධයට ගිය කල බියක් හෝ තැතිගැනීමක් ලොමු දැහැගැනීමක් උපදින්නේ නම්, ඒවා බැහැර කර ගැනීම සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳව උපදෙස් දුන්නේය. බියක් තැති ගැනීමක් හෝ ලොමු දැහැගැනීමක් ඇතිවන්නේ නම් පළමුව තමාගේ ධවජාග්‍රය (කොඩියේ අග) බලන ලෙස දැන්වීය. එවිටත් ඇති වු පීඩාව දුරු නොවන්නේ නම් ප්‍රජාපතී දෙව් රජුගේ ධවජාග්‍රය බලන ලෙස දැන්වී ය. එවිටත් ඇතිවී ඇති පීඩාවන් ඉවත් නො වන්නේ නම් වරුණ දෙව් රජුගේ ධවජාග්‍රය බලන ලෙස දැන්වී ය. එවිටත් ඇති වු පීඩාව දුරු නොවන්නේ නම් ප්‍රජාපතී දෙව් රජුගේ ධවජාග්‍රය බලන ලෙස දැන්වී ය. එසේ වූ කල්හිත් ඇති වූ පීඩාවන් දුරු නොවන්නේ නම් ඊසාන දෙව් රජුගේ ධවජාග්‍රය බලන ලෙස දැන්වී ය.

බුදුරදුන් භික්ෂූන් වහන්සේලාට පෙන්වා දෙන්නේ සක්දෙව් රජතුමාගේ ප්‍රජාපතී දෙව් රජුගේ, ඊසාන දෙව් රජුගේ, වරුණ දෙව් රජුගේ, ධවජාග්‍රය බලන්නවුන්ට යම් බියක් හෝ තැති ගැනීමක් හෝ ලොමු දැහැ ගැනීමක් වේනම් එය බැහැර නොවීමට ද ඉඩ ඇත. එයට හේතුව වන්නේ මෙම දෙවිවරු සියලු දෙනාම රාග, ද්වේෂ, මෝහ ඇත්තන් වීමයි. බියවන සුළු තැති ගන්නා සුළු, ලොමු දැහැ ගන්නා සුළු, පලා යන සුළු පුද්ගලයන් වීමයි.

මහණෙනි, මම දේශනා කරන්නේ ආරණ්‍යයකට, රුක් මුලකට, ශූන්‍යාගාරයකට ගිය කෙනෙකුට බියක් තැති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් උපන්නේ නම් එවිට බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන ලෙසයි. බුදුරදුන් අරහත් ය. සම්‍යක් සම්බුද්ධය. විජ්ජාචරණ සම්පන්නය. සුගත ය. ලෝකවිදූ ය. අනුත්තර පුරිසදම්ම සාරථි ය. සත්ථා දේව මනුස්සානං ය, බුද්ධය, භගවත් ය. මා සිහි කරව, මා සිහිකරන තොපට බියෙක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් හෝ වන්නේ නම් එය නැති වන්නේ ය.

මා සිහි නො කරන්නේ නම් එකල්හි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය සිහි කළ යුතුය. ධර්මය ස්වාක්ඛාතය. සංදිට්ඨිකය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයිකය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති ය. ධර්මය සිහි කරව්. බියක් තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් වන්නේ නම් මගේ ධර්මය සිහිකරන විට එය බැහැර වන්නේය.

ධර්මය සිහි නො කරන්නේ නම් එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සිහි කළ යුතුය. සංඝ රත්නය සුපටිපන්නය, උජුපටිපන්නය, ඤායපටිපන්නය, සාමීචිපටිපන්නය, ආහුනෙය්‍ය ය, පාහුන්‍යෙ ය, දක්ඛිණෙය්‍ය ය, අංජලිකරණීය ය,පුඤ්ඤක්ඛෙත්තං ය යන ආර්ය සංඝ ගුණ සිහි කරව. එවිට තොපට බියෙක්, තැති ගැනීමක්. ලොමු දැහැ ගැනීමක් හෝ වන්නේ නම් එය බැහැර වන්නේ ය.

ඇතිවන බිය තෙරුවන් සිහිකරන විට පහව යන්නේ බුදුරදුන් සියලු කෙලෙස් ප්‍රහීණ කර ඇති නිසා ය. බියක්, තැති ගැනීමක්, ලොමුදැහැගැනීමක් කිසිම අවස්ථාවක දී බුද්ධ රත්නය තුළ නොවන නිසා ය. ධර්මය පිළිපදින්නාට නියත වශයෙන් ම සත්‍යාවබෝධය සිදුවේ. ධර්මය තුළ බියක් තැති ගැනීමක් ලොමුදැහැගැනීමක් ඇතිවීමට බලපාන කිසිම අයහපත් දෙයක් අන්තර්ගත නො වේ. සංඝ රත්නය ද, සියලු කෙලෙස් බුදුරදුන්ගේ මග පෙන්වීම යටතේ බැහැර කර ඇත. බියකට , තැති ගැනීමට, ලොමු දැහැගැනීමකට කිසිම මොහොතක පත් නොවේ. බුදුරදුන්, ධර්මය, සංඝරත්නය සිහිකරන්නන්ට කිසිම මෙහොතක දී බියක් තැති ගැනීමක් ලොමුදැහැගැනීමක් ඇති නොවන අතර ඒ ඇතිවන සියලු පීඩාවන් ක්ෂණයකින් බැහැර වේ.

ධජග්ග සූත්‍රයේ අන්තර්ගත වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුට නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට උපකාරි වේ. සමාජ පරිසරයත් සමඟ මිනිසාට ඇති වී ඇති ප්‍රශ්න අර්බුද අසහනකාරී තත්ත්වයන් දිනෙන් දින වැඩි වී ඇත. බොහෝ භෞතික සම්පත් උපයා ගැනීමට මෙන් ම ලෙඩ රෝග බැහැර කරවීම වැනි එදිනෙදා ජීවිතයේ ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා ද , ගුප්ත නොපෙනෙන බලවේගවල සහාය ප්‍රාර්ථනා කරති. නමුත් එම ප්‍රාර්ථනා සඵල වීමට ඇති අවකාශය ඉතා අල්ප ය. මෙම ගුප්ත බලවේගයන්වල බලය ලබා දීමට ඉදිරිපත් වී ඇති පුද්ගලයන් ද, භෞතික සම්පත් උපයා ගැනීමට උත්සාහ ගන්නා ලෙඩරෝගවලින් වැළකීම වැනි අරමුණු පවතින පිරිසක් වීම ය. එමෙන් ම බියට තැති ගැනීමට ලොමු දැහැ ගැනීමට ගොදුරුවන පිරිසකි. අටලෝ දහමෙහි ඇති ලාභ, යසස, සැප, ප්‍රශංසා නිරතුරුව ප්‍රාර්ථනා කරමින් අලාභ, අයස, දුක, නින්දා අකැමැති වෙමින් ජීවත් වන පිරිසකි. ඔවුන්ගෙන් තමන්ගේ ජීවිතවලට ලෞකික අභිවෘද්ධිය හෝ පාරලෞකික අභිවෘද්ධිය හෝ විමුක්තිය ප්‍රාර්ථනා කර ලබා ගත නොහැකි වන්නේ ඔවුන් ද එවැනි දේවල් නිරතුරුව අපේක්ෂා කරමින් කල් ගත කරන්නන් නිසා ය.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]