UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අප්‍රමාණ වූ තුනුරුවන් ගුණ

ගී බණ පද - 12:

අප්‍රමාණ වූ තුනුරුවන් ගුණ

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්//

ක්ලේස තාපයේ අනන්ත වේදනා ජලේ //
නෞකාව දම් අමා වඳිම් නමා නලල් තලේ

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්//

දෑ ගසව් රහත් බුදුන් මා සිතින් පුදා//
වන්දාමි සඟ රුවන් හදින් මලින් බැතින් සදා

නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්
සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරම්//

පදරචනය - ආචාර්ය අජන්තා රණසිංහ
ගායනය - සනත් නන්දසිරි

බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ බුද්ධ ගුණයත්, උන්වහන්සේ විසින් සුවහසක් සත්ත්වයා කෙරෙහි පතළ අනුකම්පාවෙන් දේශනා කොට වදාළා වූ ශ්‍රී සද්ධර්මයත් , බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දහම් මඟ අනුගමනය කරන මහා සංඝ රත්නයත් අපගේ සිංහල බෞද්ධ සමාජයට ලැබුණ අගනා රත්න තුනක් ලෙස හඳුන්වා ඇත.

මැණික් හෙවත් රත්න යන වචනය තුළ ඉතාම වටිනා යන අර්ථය අන්තර්ගත ව පවතී. බෞද්ධ සමාජයෙහි ත්‍රිවිධ රත්නය විෂයයෙහි උතුම් අර්ථයකින් සලකනු ලැබේ. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය හැර බෞද්ධයකුට වෙනත් සරණක් නැත. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පතළ මහා විශ්වාසයෙන් බෞද්ධයෝ ත්‍රිවිධ රත්නය සරණ යති. මිනිස් සිත් සතන් තුළ පවතින විශ්වාසයට අනුව එය සිදු කෙරේ.

බෞද්ධ ගීත සාහිත්‍යය තුළ බුදුගුණ, දහම් ගුණ, සඟ ගුණ ගීත වෙන් වෙන් වශයෙන් දක්නට ලැබුණ ද, එකම ගීතය තුළ බුද්ධ , ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය සරණ යන ගීත දක්නට ලැබෙනුයේ අල්ප වශයෙනි. නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් යන ගීතය බුද්ධ , ධම්ම, සංඝ යන තුනුරුවන් අන්තර්ගත වන ලෙස රචනා වී ඇත. ඉදිරි පැය කිහිපය තුළ මරණයට පත්වන බව දැන මරණය ට පත්වන අවස්ථාවෙහි දී මරණයට පෙර ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිපත් කරමින් කටයුතු කළ යුතු ආකාරය බුදුරජාණන් වහන්සේ ඡත්ත මානවකට වදාළ සේක.

ඡත්ත මානවකයාට අධ්‍යාපනය සඳහා අවශ්‍ය මුදල් රැගෙන උක්කට්ඨා නුවර පොක්කරසාති නම් තම ආචාර්යවරයා වෙත පැමිණිමට අවශ්‍ය විය. ඒ සඳහා වනය මැදින් ගමන් කළ යුතු ය. අතරමග දී සොරුන්ගේ පහර කෑමට ලක්ව තරුණයා මරණයට පත් වන බව බුදුරජාණන් වහන්සේ දිවැසින් දුටු සේක. ඡත්ත මානවකගේ මරණය බුදුරජාණන් වහන්සේට ද නොවැළැක්විය හැකි ය. එසේ වුව ද, කුමරා කෙරෙහි පතළ මහා කරුණාවෙන් මරණින් පසු යහපත් ස්ථානයක උප්පත්තිය ලැබීමට අවස්ථාව සලස්වන උතුම් පරමාර්ථය පෙරදැරිව බුද්ධ, ධම්ම, සංඝ යන තුනුරුවන් ගුණ ඡත්ත මානවකටම ගැලපෙන ශෛලියකින් ඉගැන්වීමේ අදහසින්, ඔහුට දක්නට ලැබෙන අයුරින් බුදුරජාණන් වනහන්සේ භාවනානුයෝගීව ගසක් මුල වැඩහුන් සේක. ගාථාව කටපාඩම් කරගත් ඡත්ත තරුණයා ද එම ගාථාව සජ්ඣායනා කරමින්ම ගමන් කළේය. සොරුන් විසින් මුදල් පැහැරගනිමින් පහර දී මරණයට පත් කරන ලද අවස්ථාවෙහිදී ද ඡත්ත මානවකයා තුනුරුවන් ගුණ මෙනෙහි කරමින් සිටි බැවින් සුගතියෙහි උප්පත්තිය ලැබී ය.

බෞද්ධ පාසල්වල අධ්‍යාපන ලබන බොදු දරුවන් පාසල නිම වී නිවස වෙත යාමට සුදානම් වන අවස්ථාවෙහි දී අනාරක්ෂිත වන දරුවාට යො වදතං පවරො මනුජේසු යන ගාථාව ප්‍රකාශ කිරීමට පුහුණු කරනු ලැබුවේ ද, තුනුරුවන් සරණ යාම එය තුළ දක්නට ලැබෙන හෙයිනි.

ආචාර්ය අජන්තා රණසිංහයන් විසින් රචනා කළ නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන් යන ගීතය ශ්‍රවණය වන තත්ත්පරයක් පාසා ම බුදුරජාණන් වහන්සේ ඡත්ත තරුණයාට දේශනා කළා වු යො වදතං පවරො මනුජේසු යන ගාථාත්‍රය සිහියට නැගේ. බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදුගුණ පිළිබඳව එම ගීතය තුළ සිහිපත් වේ.

නිර්වාණ ස්වර්ණද්වාරයෙන් පිවිසූ තිලෝ සතුන්

ආදී සරල බෞද්ධාගමික වචන භාවිත කරමින් තුනුරුවන් වන්දනාමාන කරන උදාන ගීිතයක් ලෙස හැඳින්විය හැකි ය. මානව මනස කම්පනය කරන බෞද්ධාගමික භක්ත්‍යාදරයෙන් සිත් සතන් තැන්පත් කරන අර්ථවත් ගීතයක් ලෙස එම ගීතය දැකිය හැකි ය. සිංහල බෞද්ධ ගීතාවලිය තුළ තුනුරුවන් පිළිබඳ මෙනෙහි කරන, අසන්නාගේ සිත් සතන් තුළ තුනුරුවන් ගුණ මතු කරන උතුම් ගීතයක් ලෙස මෙම ගීීතය හැඳින්විය හැකි ය.

 

ඇසළ පුර අටවක පෝය


ඇසළ පුර අටවක පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 01.42 ට ලබයි. 20 වන දා සිකුරා දා අපරභාග 01.25 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි 19 වන දා බ්‍රහස්පතින්දාය.
 

මීළඟ පෝය ජූලි 27 වන දා සිකුරාදා ය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04

Full Moonඅමාවක

අගෝස්තු 11


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]