UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුගති ගමන - 26: තීර්ථකයන්ගේ අසාර්ථක උපාය

සුගති ගමන - 26:

තීර්ථකයන්ගේ අසාර්ථක උපාය

මිහිඳු මහ රහතන් වහන්සේ මුලු ත්‍රිපිටකයම කට පාඩමෙන් දරාගෙන මේ ධර්මය ම කටපාඩම් කරගත්ත උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා.

මෙලෙස ගෙවී යද්දී දැන් රජතුමාගේ සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය වෙහෙර විහාරවලට බුද්ධ ශාසනයට , භික්ෂූන් වහන්සේලාට ලැබෙනවා. අන්‍ය තීර්ථකයන්ට දැන් එන්න එන්නම ලාභ සත්කාර අඩු යි. මිනිස්සු සලකන්නේ නැහැ. රජ්ජුරුවන්ගේ අනුග්‍රහය නැහැ. එහෙම වෙද්දී බොහෝ අන්‍ය තීර්ථකයෝ කල්පනා කළේ දැන් අපට මේ ආරාමවල සිට වැඩක් නැහැ. අපේ තාපසාරාමවලට මිනිස්සු එන්නෙත් නැහැ. අපි සිවුරු දරාගෙන පන්සල්වලට රිංගා ගමු කියලා බුද්ධ ශාසනයට තනියෙන් සිවුරු දරාගත් අන්‍ය තීර්ථකයන් ඇතුළුවෙන්න පටන් ගත්තා. රජ්ජුරුවන්ගෙන් ලැබෙන අනුග්‍රහය සැප සම්පත් නිසා. දැන් රජ්ජුරුවෝ බොහෝ ආරාමවලට රාජ්‍ය ධනයෙන් දන් පැන් පූජා කරනවා. ප්‍රණීත විදිහට දන්පැන් දෙනවා. කුටි සෙනසුන් රාජ්‍ය අනුග්‍රහයෙන් සකසා අසූහාරදහසක් වෙහෙර විහාර රජ්ජුරුවන්ගේ ධනයෙන් දියුණු කරනවා. මේ අතර භික්ෂූන් වහන්සේලා විදිහට වෙස් වලාගෙන විශාල දහස් සංඛ්‍යාත පිරිසක් ශාසනය තුළට රිංගුවා. ඒ අයගේ අදහස් මතවාද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෙසට වැරැදි බණ කියාගෙන යන්න පටන් ගත්තා. මෙසේ වැරැදි විදිහට ධර්මය දේශනා කරගෙන යද්දී එන්න එන්නම බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් කියන්නේ තම තමන්ගේ අදහස්. රජ්ජුරුවන්ගේ පුරුද්දක් තිබුණා. දිනපතා ස්වාමීන් වහන්සේ නමක් මාලිගාවට වඩමවා, හවස බණ අසා ඒ ධර්මය සිහි කර කර රජතුමා රාත්‍රියේ නින්දට යන්නේ. කාලයක් යද්දී දවසින් දවස එක එක විහාරවලින් බණ අසා සිටියදී මේ බුද්ධිමත් රජතුමාට තේරුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මය එකක් විය යුතු යි. දැන් මේ දවසින් දවස වඩින ස්වාමීන් වහන්සේ විවිධාකාර දේශනා කරන්නේ. දවසින් දවස විවිධාකාර අදහස් කියනවා. මේ ගැන සොයා බලන්න ඕන යනුවෙන්. විමසා බලද්දී මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගෙන් විමසනවා. උන්වහන්සේ කරුණු සොයා බලා රජතුමාට කියනවා. රජතුමනි, ශාසනය පිරිසුදු කළ යුතු යි. අන්‍ය තීර්ථකයන් බොහෝ පිරිසක් සිවුරු දරාගෙන ශාසනයට ඇතුළු වෙලා. අවුරුදු ගණනාවකින් ඔවුන් පොහොය කර්ම, විනය කර්ම කරලා නැහැ. මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙසින් රජතුමා විනය පිටකය ගැන මහ රහතන් වහන්සේලාගෙන් ඉගෙන ගෙන හැදෑරූ බව සඳහන් වෙනවා.

එදා ධර්මාශෝක රජතුමා විනය හදාරලා උතුම් මහ රහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි සංඝයාගෙන් වෙන, වෙනම ප්‍රශ්න නගා බුද්ධ රත්නයට හානිකරන හොරට සිවුරු දරාගෙන මේ තුළට ඇවිත් ධර්මය විකෘති කර, හිටපු හැටදාහක් පිරිස සිවුරු අරවල ශාසනයේ නෙරපා හැරියා. තමන්ගේ ගොවිතැනක් කරගෙන ඉන්න බුද්ධ ශාසනය වනසන්න එපා යැයි හැටදාහක් පිරිස ශාසනයෙන් අයින් කරලා, මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලාගේ අවවාද පිට තුන්වන ධර්ම සංගායනාවට කටයුතු යොදා ගත්තා.

තුන්වන ධර්ම සංගායනාවට දාහක් මහරහතන් වහන්සේ සහභාගි වෙනවා. මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ අනුග්‍රහයෙන් දහසක් මහ රහතන් වහන්සේලා මාස නවයක කාලයක් නැවත පෙරසේම මෙන්න ධර්මය, මෙන්න විනය, මෙන්න බුද්ධ ශාසනය යනුවෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනා අසූහාරදහසක ධර්මස්ඛන්ධය ම ස්ථාපිත කළා. එසේම ධර්ම සංගායනාවට පෙර ඒ අන්‍ය තීර්තකයන් පතුරවපු වැරැදි මත ධර්මයෙන් ඛණ්ඩනය කරමින් ධර්මය මතු කරමින් ඒවාට පිළිතුරු දී ධර්ම විනය බලවත් කළා ම සකවාද පන්සියයක්, පරවාද පන්සියයක් හැටියට බුද්ධ ශාසනයට හානිකර වැරැදි මතවාද දාහක් ධර්මානුකූලව ධර්ම විනය තුළින් බිඳ හෙළමින් ධර්මය බලවත් කර ධර්ම සංගායනා කරන්නට යෙදුණා. මෙලෙස තුන්වන ධර්ම සංගායනාව සිද්ධ වුණා.

රජතුමා කල්පනා කළා ධර්ම, සංගායනාව අවසානයේ මේ උතුම් ධර්මය දඹදිවට පමණක් සීමා විය යුතු නැහැ. මේ ධර්මය මා ලෝකයේ ම ව්‍යාප්ත කරනවා යනුවෙන් ලෝකය පුරා ධර්මය ප්‍රචාරය කරන්න මහ රහතන් වහන්සේලාගේ කණ්ඩායම් හැටියට මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේගේ උපදෙසින් ධර්ම දූත සේවාවන් ලෝකයේ අනෙක් රටවලට පිටත්කර යවනවා. ලංකාවට පිටත් කරන්න තෝරා ගන්නේ තමන් වහන්සේගේ පුත්‍ර රත්නය මිහිඳු මහ රහතන් වහන්සේ යි. හැබැයි, ඒ වෙනකොට අනෙක් රටවලට ධර්මදූත පිරිස පිටත් කර ලංකාවට එවන ගමන මොහොතක් ප්‍රමාද කළා. ඒකට හේතුව ලෙස සඳහන් වෙන්නේ ඒ වෙනවිට ලංකාවේ රජකම් කළේ දේවානම් පියතිස්ස රජතුමාගේ පියා මහලු මුටසීව රජු වීමයි.

 

පොසොන් අමාවක පෝය


පොසොන් අමාවක පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.02 ට පෝය ලබයි. 13 වන දා සිකුරාදා පූර්ව භාග 08.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා ය.

 

මීළඟ පෝය ජූලි 19 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27

Second Quarterඅව අටවක

අගෝස්තු 04


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]