UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දුම් දමන තුඹ වම්මික සූත්‍රය සක් බඳුය මිනිස් ජීවිතය

වම්මික සූත්‍රය:

දුම් දමන තුඹ  සක් බඳුය මිනිස් ජීවිතය

" භික්ෂුව, තුඹසක් තියෙනවා. මේ තුඹස රෑ කාලයේ දුම් දමනවා. දවල් කාලයේ ගිනි ගන්නවා. එවිට එය දකින බමුණෙක් ඥානවන්ත පුද්ගලයකුට මේ ආකාරයෙන් පවසනවා.” ආයුධයක් රැගෙන විත් මේ තුඹස හාරන්න.'

දුම් දමන තුඹසක් බඳු මනුෂ්‍ය ජීවිතයේ යථා ස්වභාවය නුවණින් දකින්නට කළ දහම් කතාවකි, තුඹසක් මුල්කොට දෙසූ මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් වම්මික සූත්‍ර දේශනාව. එය සරලව මෙසේ පැහැදිලි කර ගනිමු.

භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටි දිනක කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අන්ධ වනයේ වැඩ සිටියහ. එහි දී එක්තරා දෙවියෙක් මැදියම් රාත්‍රියේ මුළු අන්ධ වනය ම ඒකාලෝක කරමින් පැමිණ, කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට ගෞරව කිරීමෙන් අනතුරුව මෙසේ සඳහන් කළේ ය.

භික්ෂුන් වහන්ස, මේ තුඹස රෑ කාලයේ දුම් දමනවා. දවල් කාලයේ ගිනි ගන්නවා. ඒ දෙස බලාගෙන සිටින බමුණෙක් මේ ආකාරයෙන් පවසනවා. නුඹ ඥානවන්තයෙක් ද? එසේ නම් ආයුධයක් රැගෙන පැමිණ මේ තුඹස හාරන්න. ඒ ඥානවන්ත පුද්ගලයා ආයුධයක් රැගෙන පැමිණ තුඹස හාරන විට අගුලක් හමුවුණා. “මෙතන අගුලක් තියෙනවා යැයි පවසනවා.” ඔය අගුල ඔසවා අයින් කරන්න. “නැවතත් ඔය ආයුධයෙන් තුඹස හාරන්න.” මෙහෙම සඳහන් කළ විට, ඒ නුවණැති පුද්ගලයා නැවතත් ඒ ආයුධයෙන් තුඹස හාරනවා. එවිට ගෙම්බෙක් හමුවුණා. “මෙන්න මෙතැන ගෙම්බෙක් යැයි ඒ පුද්ගලයා සඳහන් කරනවා.” එසේ නම් ඒ ගෙම්බා රැගෙන ඔතැනින් ඉවත් කරන්න. ගෙම්බා ඉවත් කළ ඒ ඥානවන්ත පුද්ගලයා ආයුධයෙන් තවත් හාරන්නට අවශ්‍යයැයි පවසනවා. එසේ හාරගෙන යන විට දෙමන් හන්දියක් මුණගැහෙනවා. ඒ ඥානවන්ත පුද්ගලයා පවසනවා. “මෙන්න මෙතැන දෙමන් හන්දියක් තියෙනවා කියා.” ඔය දෙමන් හන්දියත් උස්සලා අයින් කරන්න කියා නැවතත් පවසනවා. ඒ නුවණැති පුද්ගලයා ආයුධයෙන් තවදුරටත් හාරන්නට පටන් ගන්නවා. එසේ ඒ ආයුධයෙන් තවදුරටත් හාරගෙන යන විට හිස් බඳුනක් හමුවුණා. “මෙතැන හිස් බඳුනක් තියෙනවා යැයි පවසනවා.” එවිට බ්‍රාහ්මණයා මෙසේ පවසනවා. “ඔය හිස් බඳුන රැගෙන එතැනින් ඉවත් කරන්න. ඒ නුවණැති පුද්ගලයා එයට ඇහුම්කන්දී, ආයුධයෙන් තවත් හාරන්න අවශ්‍ය යැයි පවසා තවදුරටත් හාරනවා. මේ ආකාරයෙන් තවදුරටත් හාරගෙන යන විට ඉබ්බෙක් මුණ ගැසෙනවා. “මෙතැන ඉබ්බෙක් සිටිනවා කියා පවසනවා.” බ්‍රාහ්මණයා මෙහෙම පවසනවා. “ඔය ඉබ්බත් එතැනින් ඉවත් කරන්න.” නුවණැති පුද්ගලයා ඒ ඉබ්බත් ඔසවා පැත්තකින් තබා, නැවතත් ආයුධයෙන් හාරනවා. එසේ ආයුධයෙන් හාරගෙන යන විට කඩුවක්, මස් කපන කොටයක් හමුවෙනවා. “මෙන්න මෙතැන කඩුවකුයි මස්කපන කොටයකුයි තිබෙනවා යැයි කියා පවසනවා. බ්‍රාහ්මණයා නැවතත් පවසනවා, “ඔය කඩුවයි මස්කපන කොටෙයි එයත් එතැනින් ඉවත්කොට පැත්තකින් තියන්න.” ඥානවන්ත පුද්ගලයා ආයුධයෙන් තුඹස තවදුරටත් හාරගෙන යද්දි මස්කුට්ටියක් හමුවුණා. මෙතැන මස් කුට්ටියක් තියෙනවා යැයි නැවතත් පවසනවා.” ඔය මස් කුට්ටියත් අයින් කරන්න. ඒ නුවණැති පුද්ගලයා ආයුධයෙන් තවදුරටත් හාරගෙන යනවා. එසේ හාරගෙන යන විට නාග රාජයෙක් හමුවුණා. “මෙන්න මෙතැන නාගරාජයෙක් සිටිනවා, යැයි පවසනවා.” ඔව් ඒ නාග රාජයාට ඔහොම සිටින්න ඉඩ අරින්න. ඒ නාගරාජයා සමඟ හැප්පෙන්න යන්න එපා. නාග රාජයා වන්දනා කරන්න කියා බ්‍රාහ්මණයා පවසනවා.

භික්ෂුව දැන් ඔබ ඔය ප්‍රශ්න ටික රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත වඩින්න. භාග්‍යවතුන් වහන්සේගෙන් එහි තේරුම ප්‍රශ්න කරන්න. භාග්‍යවතුන් වහන්සේ විසින් ඔබට ඔය කතාවේ සඳහන් කරන ලද දහම් ගැටලු ඉතාමත් හොඳින් පැහැදිලි කොට දේශනා කරාවි. අන්න ඒ විස්තරය අනුව භික්ෂුවක් වූ ඔබ හොඳින් මතකයේ තබා ගන්න. "මමනම් දකින්නෙ නැහැ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙව් මිනිස් ප්‍රජාව ඇති ලෝකයේ තථාගතයාණන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවකයෙකුගෙන් හැර ඒ ආකාරයට අසා දැන හෝ ඒ ප්‍රශ්නවලට සිත සතුටුවන ආකාරයෙන් පිළිතුරු දෙන්න වෙන කෙනෙක් ඉන්නවා කියා." මේ ආකාරයට ඒ දෙවියා කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේට සඳහන් කිරීමෙන් අනතුරුව නොපෙනී ගියේ ය.

මේ කතාව කියවන ඔබට යම් විටක එකවිට ම මේ තුඹස හාරගෙන යන විට මතු වූ වස්තූන් හා පුද්ගලයන් පිළිබඳව අමතක වේවි. එනමුත් මින් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ විසින් මේ වස්තූන් මුල්කොටගෙන පෙන්වා දෙන ධර්ම කතාව හොඳින් මතකයේ තබා ගන්න. මතකයේ තබා ගන්නවා පමණක් නොවෙයි . ඒ වස්තූන් මුල්කොටගෙන කාගෙ කාගේත් සිත්වල, අශ්‍රැතවත් පෘතග්ජන සිත්වල පවතින කෙලෙස් බැහැර කරන්න අවබෝධයෙන් යුතුවම මුලින් උපුටා දමන්න අධිෂ්ඨානයක් කරගන්න. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කිරීමත්, කියවීමත්, සාකච්ඡා කිරීමත් මේ සියල්ලන්ගෙන් ම බලාපොරොත්තුවෙන්නෙ ඒ අදහසමයි. එසේ නැතිව කියවා, සාකච්ඡා කර, මතකයේ තබාගෙන සිටිය පමණින් කෙලෙස් නැසීමෙන් ලබන්නා වූ උතුම් අවබෝධය වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබන්න පහසුවෙන්නෙ නැහැ. එපමණකුත් නොවෙයි මෙලොව වශයෙන් ස්වභාවයෙන් ම මුහුණපාන්නට සිදුවන ශෝක පරිදේව, දුක්ඛදෝමනස්ස ඉදිරියේ වඩ වඩාත් කායික හා මානසික ගැටලුවලට මුහුණ දෙන්න සිදුවේවි.

දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතය හරියට මහ මඟ කරකැවෙමින් යන රථ රෝදයක් සේ දුක සැප දෙකට ම එකසේ මුහුණපාවී. මහ මඟ කැරකෙන රෝදය අපවිත්‍ර දෑ, පවිත්‍ර දෑ දුගඳ, සුගඳ මේ හැම දෙයක් මතින් ම කරකැවීගෙන යයි. මනුෂ්‍ය ජීවිතය කියන්නෙත් ඒ වගේ දේකුයි. බුදු බව ලද බුදු උතුමන්ටත් බාහිර ලෝකයේ දුක්ඛ දෝමනස්ස පැමිණුනා සේ ම භාග්‍යවතුන් වහන්සේ දරාගෙන සිටිය ස්කන්ධ පංචකයත් වෙනස්වෙන විට, දිරාගෙන යන විට සම්මතය තුළ දුක් ගැහැට සකස් වුණා.

කෙලෙසුන් නැසූ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ කිසිවක් මම මාගේ යන දෘෂ්ටියෙන් උපාදානය කරගත්තේ නැහැ. ඒ නිසා සම්මතය තුළ සැප වූවත්, දුක් වූවත් සියල්ල ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත ඵලයක් බවත් ඒවා හටගත්තා සේ ම නැතිවන බව නුවණින් දැක ඒ සිත අකම්පිත, සමාහිත, වෙනස්නොවන සිතක් බවට පත්වෙලා තිබුණා. රහත් උතුමන්ගේ සිතත් ඒ වාගෙයි. භයානක වූ සසර දුකින් පිරි ජීවිතයෙන් සැනසිල්ලක් සොයන ඔබත්, මමත් ඒ ආකාරයෙන් ම අපේ සිත පුරුදු කොට ගත යුතුමයි. මේ ඇවිලෙන තුඹසෙ කතාවෙන් ඔබටත් මටත් ඒ ධර්ම මාර්ගයෙන් ලබන සැනසිල්ල ඉක්මන් කර ගැනීමට උපදේශ බොහොමයක් ලබා දේවි.

එම දේවතාවාගේ කතාවෙන් අනතුරුව කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ඒ රාත්‍රිය ගෙවීයෑමෙන් අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වෙතට වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර එකත්පසෙක වැඩ සිටියහ. එසේ වැඩ සිටි කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මේ ආකාරයෙන් සඳහන් කළ සේක.

ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඊයේ මධ්‍යම රාත්‍රී යාමේ මුළු අන්ධවනයම ඒකාලෝක කරගෙන එක්තරා දෙවියෙක් මා ළඟට පැමිණ මට ගෞරව කරමින්, එකත් පසෙක වාඩි වී සිට මට මේ ආකාරයෙන් සඳහන් කළේ ය.

“භික්ෂුව, තුඹසක් තියෙනවා. මේ තුඹස රෑ කාලයේ දුම් දමනවා. දවල් කාලයේ ගිනි ගන්නවා. එවිට එය දකින බමුණෙක් ඥානවන්ත පුද්ගලයකුට මේ ආකාරයෙන් පවසනවා.” ආයුධයක් රැගෙන විත් මේ තුඹස හාරන්න. ඒ ඥානවන්තයා ආයුධයක් ගෙන ඒ තුඹස හාරනවිට අගුලක්, ගෙම්බෙක්, දෙමන් හන්දියක්, හිස් බඳුනක්, ඉබ්බෙක්, කඩුවක් හා මස් කපන කොටයක්, මස්කුට්ටියක් හමුවෙනවා. ඒ සියල්ල එකින් එක ඉවත් කර තවදුරටත් තුඹස හාරගෙන යන විට නාගරාජයෙක් හමුවුණා. මෙන්න මෙතැන නාග රාජයෙක් යැයි පැවසූ විට, නාගරාජයාට ඒ ආකාරයෙන්ම ඉන්නට ඉඩ අරින්න. නාගරාජයා සමඟ ගැටෙන්නට එපා. නාගරාජයාට වන්දනා කරන්න යැයි සඳහන් කළා.

භාග්‍යවතුන් වහන්ස, ඒ දේවතාවා මට පැවසුවේ, මම මේ සඳහන් කළ කතාව ඒ ආකාරයෙන් ම භාග්‍යවතුන් වහන්සේ වෙතට වැඩම කර පවසන්න කියමිනි. එහි තේරුම භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දැන ගන්නා ලෙස ද ඒ දේවතාවා සඳහන් කළේ ය.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]