UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුගති ගමන -25: අසූහාර දහසක්වෙහෙර විහාර ඉදිවෙයි

සුගති ගමන -25:

අසූහාර දහසක් වෙහෙර විහාර ඉදිවෙයි

එදා රජකම් කළ ධර්මාශෝක රජතුමා යුද්ධයක් කරලා, විිශාල පිරිසක් මරණයට පත්වෙනවා. මේ යුද්ධයෙන් පසුව මුළු දඹදිව ම අධිරාජ්‍යයක් බවට පත්කරලා ධර්මාශෝක රජතුමා තම බලය දඹදිව් තලය පුරාම ව්‍යාප්ත කළා. ඒ වෙනවිට ධර්මාශෝක රජතුමා මිනිසුන් හැඳින්වූයේ චණ්ඩාශෝක නමින්. බොහොම රෞද්‍ර බලකාමී රජෙක් ලෙස මිනිසුන් අතර සිටියා. යුද්ධය අවසන්වන විට මිනිසුන්ගේ මරණ අවසානයේ තමන්ටම කළකිරීමක් ඇති වුණා.

මිනිසුන් මරලා, මේ ප්‍රදේශ අත්පත් කරගෙන මිනිසුන්ගේ විළාප හඬ අවසානයේ මොකක්ද, මා කළේ? යුද්ධයකින් භූමිය නිදහස් කරගත්තාට පසුව පසුතැවීමෙන් ඉන්නා රජතුමාට, කුඩා නීග්‍රෝධ නම් වූ ස්වාමීන් වහන්සේ නමක් පාරේ වඩින දසුන, ඒ ඉරියව් කෙරෙහි පුදුමාකාර පැහැදීමක් ඇති වුණා. බොහොම ශාන්ත සංවර උත්තමයෙක්. අවුරුදු හතයි. උන් වහන්සේ ධර්මය අවබෝධ කරගත් කෙනෙක් ලෙස සැලකෙනවා. උන්වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි, ඔබ වහන්සේ මේ මාළිගාවේ කැමැති තැනක වැඩ සිටින්න. රජතුමා නොසිතූ සේ මේ කුඩා සාමණේරයන් වහන්සේ රජතුමාගේ සිංහාසනය මත වැඩ සිටියා. රජතුමා පුංචි ආසනයක පහළින් වාඩි වුණා.

ස්වාමීනි, මට දහම් දෙසන්න, ඔබ වහන්සේ පුරුදු කරන ධර්මය මට කියා දෙන්න. මේ පුංචි නීග්‍රෝධ සාමණේරයන් වහන්සේ ධම්ම පදයේ අප්පමාද වග්ගයෙන් රජතුමාට දහම් දෙසනවා. අප්‍රමාදව ධර්මය කරා යන ආකාරය මේ ගාථාවල සඳහන් වෙනවා. මේ ඇසුරු කරගෙන බණ අසපු රජතුමාට තිසරණයෙහි පිහිටලා ධර්මය ගැන පුදුම ආශාවක් ඇති වෙනවා. එදා මේ චණ්ඩාශෝක ධර්මාශෝක කෙනෙක් බවට පත්වෙන්නේ කුඩා නීග්‍රෝධ ස්වාමීන් වහන්සේගෙන් බණ ඇසීමෙන්. එවිට රජතුමා එතනින් පසුව භික්ෂූන් වහන්සේ සොයන්න, ඇසුරු කරන්න පටන් ගත්තා.

රජතුමා දවසක් බොහෝ භික්ෂූන් වහන්සේ වඩමවාගෙන අසනවා, මේ වනවිට දඹදිව වැඩ සිටින ශ්‍රේෂ්ඨතම මහ රහතන් වහන්සේ කවුද? කියලා. ඒ වනවිට මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ බොහෝ වනාන්තරවලටවී, හුදෙකලාව, බොහෝ භික්ෂූන් වහන්සේලාට අනුග්‍රහ දක්වමින් කැළයේ වැඩ සිටියා. රජතුමනි, මේ වන විට මොග්ගලී පුත්ත තිස්ස නමින් ශ්‍රේෂ්ඨ මහ රහතන් වහන්සේ නමක් මේ ලෝකයේ වැඩ සිටිනවා.

රජතුමා, උන්වහන්සේට පණිවුඩ කීපයක්ම යවනවා, හැබැයි, උන්වහන්සේ වැඩියේ නැහැ. අවසානයේ බුද්ධ ශාසනය බේරා ගන්න ඔබ වහන්සේ වඩින්න. ශාසනය වෙනුවෙන්. මා ශාසනයේ දියුණුවට උපකාර කරන බව පවසමින් රජතුමා පණිවුඩයක් යැව්වා. මේ මොහොතේ මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ වඩිනවා. ගංගානම් ගඟ දිගේ නැවක් පිටත් කරලා, ඒ නැවේ උන්වහන්සේ වඩමවාගෙන පැමිණියා. රජතුමා කරවටක් ජලයට බැස මේ උතුම් මහ රහතන් වහන්සේ පිළිගත්තා. ගං ඉවුරේම සකසා ගත් ආසනයක උන්වහන්සේ වඩා හිඳුවා බොහොම ගෞරවයෙන් වන්දනා කර, ස්වාමීනී, මා අසා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඍද්ධිි බලය තියෙනවා කියලා. ඔබ වහන්සේට පුළුවන්ද? මගේ සිත පහදවන්න, එවැනි ප්‍රාතිහාර්යයක් පාන්න යැයි විමසනවා.

එහි දී මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ අසනවා, රජතුමා කැමැති මහ පොළොව සෙලවෙනවා දකින්න ද? පොළොවේ පැත්තක් රළ හමනවා වගේ, කොටසක් සෙලවෙනවා දකින්නද ඇසුවා. ‘ස්වාමීනී, අපහසු යමක් ඇත්නම් එය මට කර පෙන්වන්නැ’යි රජතුමා පැවසුවා. මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ මොහොතක් සමාපත්ති සුවයෙන් වැඩ සිට රජතුමනි, අර පැත්ත බලන්න කියනවා. බලද්දී, මුහුදේ රළ හමනවා වගේ පොළොවේ එක පැත්තක් සෙලවෙනවා. රජතුමාගේ මුළු ඇඟම කිළි පොළාගෙන ගියා. ඒ මොහොතේම වන්දනා කර කියනවා, ස්වාමීනී, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මේ තරම් ඍද්ධි බල සම්පන්න නම්, ඒ බුදුරජාණන් වහන්සේ මොනතරම් ඍද්ධිමත් උත්තමයෙක් වෙන්න ඇතිද? ස්වාමීනී, බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොපමණ තියෙනවා දැ’යි ඇසුවා. එතැනදී මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ කියනවා, රජතුමනි, අසූහාරදහසක ධර්මස්ඛන්ධයක් තියෙනවා. එසේනම්, ස්වාමීනී, මේ දඹදිව් තලය පුරාම අසූහාරදහසක් වෙහෙර විහාර ඉදිකරනවා කියා මොග්ගලී පුත්ත මහ රහතන් වහන්සේ ඉදිරියේ රජතුමා පොරොන්දු වුණා.

මුළු දඹදිවම යොදුනක් යොදුනක් පාසා තමන්ගේ බලය යොදවලා, හැම නගරයකම යොදුනක්, යොදුනක් පාසා අංග සම්පූර්ණ ආරාම ඉදි කළා. වෙහෙර විහාර අසූහාරදහසක් ඉදි කළා. වෙසක් පුන් පොහෝ දවසක එදාම ධාතූන් වහන්සේ තැන්පත් කරවා, මේ වෙහෙර විහාර සඟ සතු කර පූජා කරමින් බුද්ධ ශාසනයට අප්‍රමාණ සේවයක් සිදු කළා. දවසක් රජතුමා අසනවා, ස්වාමීනී, මා දැන් බුද්ධ ශාසනයට ඥාතියෙක් නේද? එවිට මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ කියනවා රජතුමනි, ඔබ මහා පින්කරගත් උත්තමයෙක්. හැබැයි, ඔබට බුද්ධ ශාසනයේ ඥාති කමක් අවශ්‍ය නම්, ඔබේම ලෙයින් උපන් දරුවෙක් මේ ශාසනය තුළ පැවිදි කරවන්න කියනවා.

එදා මහින්ද කුමාරයා යුව රජකෙනෙක් ලෙස, ප්‍රාදේශීය පාලකයෙක් ලෙසින්, රාජ්‍ය පාලනය පවරලා තිබුණේ. රජතුමා මහින්ද කුමාරයාගෙන් ඇසුවා, පුතේ පැවිදි වෙන්න කැමැති නැද්ද? මට බුද්ධ ශාසනයේ ඥාති කමක් අවශ්‍යය යි. ඒ වෙලාවේ මහින්ද කුමාරයා කිව්වේ, මට අවසර ගන්න බැරුවයි සිටියේ. මා ඔබතුමාගෙන් අහන්නේ කොහොමද කියලා? පියාණෙනි, මා කැමැතියි පැවිදි වෙන්න කියලා ඒ මොහොතේම මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ළඟ මිහිඳු කුමාරයා පැවිදි වෙනවා.

මේ විදිහට මිහිඳු මහ රහතන් වහන්සේ බවට පත්වෙන්නේ, මොග්ගලී පුත්ත තිස්ස මහ රහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා, ධර්ම විනය හදාරලා, ඉතාම කෙටි කලකින් උන්වහන්සේ ඍද්ධිමත් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා යැ’යි සඳහන් වෙනවා.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]