UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය 07 වනදා ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී

පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවය 07 වනදා
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් හා රුවන්වැලි මහා සෑ රදුන් අබියස දී

බෞද්ධ ආකල්ප බෞද්ධයන්ට සිහිපත් කරවීම සඳහා ශාන්ති පදනම මඟින් ‘වෙසක් මිහිර’ නමින් චිත්තාකර්ශනීය වැඩසටහනක් රට පුරා ක්‍රියාත්මක කරන ලද අතර ඊට සමගාමීව 1990 වසරේ ආරම්භ වූ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේටත්, රුවන්වැලි මහා සෑ රදුන්ටත් පිච්චමල් විසිලක්ෂයක් පූජා කිරීමේ මහා පුෂ්ප පූජාව වසරින් වසර ජනප්‍රිය වීමත් සමඟම, බෞද්ධ ජනතාව තුළ නව උද්‍යෝගයක් ඇති වුණි.

මෙම පිච්ච මල් පූජා වැඩසටහන දැනට වසර පුරාම ක්‍රියාත්මක වන වැඩ සටහනක ස්වරූපය ගෙන ඇත. අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ, උතුරු මැද පළාතේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් සහ රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිකාරී, රජරට නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රවේදී පල්ලේගම හේමරතන නාහිමියන් වහන්සේලාගේ අනුශාසනා පරිදි අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වාර්ෂිකව සිදු කෙරෙන පිච්චමල් පූජා පුණ්‍ය මහෝත්සවය මෙවර පැවැත්වෙන්නේ 29වන වතාවට ය. ඒ 2018. 07. 08 යන දෙදින තුළ ය.

පිච්චමල් පූජාවේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමියන්ගේ සංකල්පනාවකට අනුව 1990 වසරේ මැයි මස ඇරැඹි මේ උතුම් පුණ්‍ය කර්මය සඳහා මුල් අවස්ථාවල දී සහභාගි වූයේ 200ක් පමණ වූ සැදැහැවතුන් පිරිසකි. එහෙත් මේ වන විට පිච්ච මල් පූජාව සඳහා දස දෙසින් සැදැහැවතුන් ලක්ෂ පහළොවකට වඩා අධික පිරිසක් සහභාගි වන බව වාර්තා වේ. මෙම පින්කම පිච්චමල් පූජාවට පමණක් සීමා නොකර ඊට සමගාමීව විවිධ පූජාවන් හා දානමය පින්කම් රැසක් ඇතුළත් දින දෙකක වැඩසටහනක් අනුරාධපුර මහමෙව්නා උයෙනේ දී ක්‍රියාත්මක වේ.

ජූලි මස 07වන දින ප.ව 2.00ට අනුරාධපුර ථූපාරාම චෛත්‍ය අසලින් පිච්ච මල් පූජා මහා පෙරහර ඇරැඹේ. මෙම පූජෝත්සවයට නන්දෙසින් ඉතා ගෞරවයෙන් නෙළා ගෙන එන ලක්ෂ සංඛ්‍යාත පිච්ච මල් රන්වන් පාත්‍ර විශාල ප්‍රමාණයක තැන්පත් කර අලංකාර මුතු කුඩ යටින් මහ පෙරහරින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත වැඩම කෙරෙන අතර පිරුවානා පොත් වහන්සේ සහ සර්වඥ ධාතූන් වහන්සේ වැඩ සිටින කරඬුව ද විශේෂ අලංකාර වූ රන්සිවි ගෙයක තැන්පත් කර සාධු නාද මැද සියලු පුද සිරිත් අනුගමනය කරමින් මෙම පෙරහරින්ම වැඩමකරවනු ලබයි. එය උඩ මළුව භූමියෙහි සුදු පලසක් ලෙසින් අඩියක් පමණ උසට පිච්චමල් අතුරා බෝධි වන්දනාව පවත්වනු ලැබේ. පිච්චමල් පූජා මහා පෙරහර ගමන්ගන්නා විට විවිධ මල් වර්ග, පඬුරු හා හඳුන්කූරු වැනි ද්‍රව්‍ය, පිච්ච මල් පූජා පාත්‍රවලට දැමීමෙන් වළකින ලෙසත්, පෙරහරට බාධාවන අයුරින් පිච්චමල් පූජා පාත්‍රවලට අත ගැසීමෙන් වළකින ලෙසත් කොටපොල අමරකිත්ති හිමියන් සැදැහැවත් බෞද්ධ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටියි.

මෙවැනිම පිච්චමල් පූජා පෙරහරක් මෙදින (07) රාත්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඩ සිටින මළුවේ සිට රුවන්වැලි මහා සෑය දක්වා පැවැත්වේ. මහා සෑ රඳුන් පුදන්නට පිච්චමලින් අලංකාර කරන ලද සෑරදුන්ගේ අනුරුවක් හා රන්වන් පාත්‍රවල බහාලූ පිච්චමල් මෙම පෙරහරින් මහා මළුවට වැඩම කරවති. මීට අමතරව ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා තෙරුවන් ගුණ පාඨ සඳහන් කරන ලද රන්වන් බෝ පත්‍ර පළඳනාවක් පළඳ වන අතර, රුවන් වැලි මහා සෑ මළුවේ තැන්පත් කරන ලද විශේෂ අලංකාර මණ්ඩප 28ක අටවිසි බුදුරජාණන් වහන්සේ වඩා හිඳුවා අටවිසි බුද්ධ පූජා පින්කම සිදු කෙරේ. ඉන් අනතුරුව රටට, සෙත්පතා පසු දින (08) උදෑසන රුවන්වැලි ම හා සෑ රදුන් අබියස දී මහා කිරි ආහාර පූජාව සිදු කිරීමට ශාන්ති පදනම කටයුතු කර ඇත.

පිච්ච මල් පූජා පුණ්‍ය මහෝත්සවයට නන්දෙසින් පැමිණෙන පින්වත් ජනතාවට අනුරාධපුරයට පහසුවෙන් ළඟාවිය හැකි පරිදි විශේෂ දුම්රිය හා බස් සේවාවන් සූදානම් කර තිබෙන අතර, පූජා භූමිය තුළ සැදැහැවතුන්ට අවශ්‍ය නිර්මාංශ ආහාර පාන ලබා ගැනීම සඳහා දන්සල් විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කෙරේ. බටහිර හා දේශීය වෛද්‍ය පහසුකම් ඇතුළත් ජංගම රෝහල රුවන්වැලි මහා සෑය ඉදිරිපිට නටබුන් ආසන්නයේ ස්ථාපිත කර පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම පිච්චමල් පූජා කමිටුවේ විශේෂ වගකීම වේ. යම් කෙනෙකු අතරමං වුවහොත් ඒ සඳහා විශේෂ වැඩ පිළිවෙළක් යොදා ඇති අතර, පානීය ජල පහසුකම් මහමෙව්නා උයනේ ස්ථාන ගත කර තිබේ. විශේෂයෙන් සුදුවතින් සැරැසී පැමිණෙන ලෙසත්, කාන්තාවන් කනකර ආභරණවලින් තොරව පැමිණීම වැදගත් බවටත්, විශේෂයෙන් දෙමාපියන් කුඩා දරුවන් කැටුව පැමිණෙන විට තම දුරකථන අංකය ලියන ලද කොළයක් දරුවාගේ සාක්කුවේ බහා තබන ලෙසත් ශාන්ති පදනම බොදු සැදැහැවතුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර සිටිති.
අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමි
 
දඹගස්ආරේ
ශ්‍රී සුමේධංකර නා හිමි
 
කොටපොල
අමරකිත්ති හිමි
 

එදා භාතිය රජතුමා සුවඳ විලවුන් මිශ්‍රකොට තනාගත් මැටි මිශ්‍රණයකින් රුවන්වැලි මහා සෑය වටා තවරා පසුව සුවඳ සමන් පිච්ච මල් එකිනෙක ඔබ්බවා මලින් සරසන ලදී. ඉන්පසුව දින හතක් මුළුල්ලේ තිසාවැව් ජලය යන්ත්‍රානුසාරයෙන් ඉහළට විහුදුවා මල් විකසිත ව තබා ගැනීම සඳහා මහත් වෑයමක් දරන ලදී. ශාන්ති පදනම මල් පූජාවට අලුතින් අර්ථයක් බෞද්ධ ජනතාව අතරට එකතු කළේ ය.

ප්‍රථම ශ්‍රී සම්බුද්ධ දේශනාව විශ්වයට එක්වූ ඇසළ මාසයේ පිච්ච මල් පූජාව සිදුවී ලක්වැසියන් අතර බුද්ධ වන්දනා ප්‍රබෝධය බලවත්ව මතු වීමට හේතු කාරක විය. පිච්ච මල් සුවඳ යි. ලස්සන යි. මෙම වැඩසටහන දැනට වසර පුරාම ක්‍රියාත්මක වන වැඩසටහනක ස්වරූපය ගෙන තිබීම විශේෂත්වයකි. පිච්ච මල් පූජාව පවත්වනු ලබන්නේ ජූලි මාසයේ වුවද පිච්ච ම ල් නෙළීම සඳහා පැළ වැවීමට උනන්දු වන අයට පැළ බෙදා දීම, පැළ තවාන් කිරීම, සෑම ගෙවතු වලම පිච්ච මල් වැවීම ආදී ලෙස යහපත් අරමුණකින් ළමා තරුණ වැඩිහිටි සැවොම එක් අරමුණකට සම්බන්ධ කර ගනිමින් බෞද්ධ යහගුණ වඩන වැඩ පිළිවෙළක් බවට පිච්ච මල් පූජාව පත්ව ඇත. අපට දැකිය හැක්කේ ජූලි මස පවත්වන පිච්ච මල් පූජාව වුවත්, මිනිසුන් වසර පුරාම යහපත් දෙයක් ගැන සිතමින් යහපත් දෙයක් ගැන කථා කරමින්, යහපත් දෙයක් ගැන ක්‍රියාත්මක වීම මඟින් මිනිස් සංහතිය යහ මඟට ගැනීමට මෙම වැඩසටහන සමත්ව ඇති බවකි.

පිච්ච මල් පූජාව සාර්ථක කර ගැනීමට ශාන්ති පදනම දස දහසකටත් වඩා සිටින සාමාජිකයන් හිතවතුන් හා සුබ පතන්නන් ද එක් වූ කල්හි එම ජන කණ්ඩායම මහත් ය. මෙම වැඩ සටහන් මෙන්ම මුතියංගණ රජ මහ විහාරයේ පැවැත්වූ බුද්ධ රාජ්‍ය වන්දනාවත්, කතරගම කිරිවෙහෙර අබියස දී බුද්ධ රාජ්‍ය වන්දනාව පවත්වා රතන සූත්‍රය දේශනා කර ගුවනින් පිරිත් පැන් ඉසීමෙන් පසු එවකට පැවැති මහා නියඟ දුරු කරමින් වැස්ස ලැබීම මෙම පුණ්‍ය වැඩසටහන්වල ඵලදායිකත්වය පෙන්නුම් කරන සාක්ෂියක් මෙන් විය.

මෙයින් වසර ගණනාවකට පෙර ශාන්ති පදනම නමැති සංකල්පය සේරුවිල දී ඇති කළා වුව ද, එයට අනුකූලව ශාන්ති පදනම නිර්මාණය කළ කොටපොල අමරකිත්ති හිමිපාණන් වහන්සේ වැනි වූ ශ්‍රේෂ්ඨ ශිෂ්‍ය රත්නයක් ලොවට බිහි කළා වූ ද , දුක් කම්කටොලු මැදින් ජාතික මෙහෙවරක් උදෙසා තම කාලය, ධනය ශ්‍රමය සහ ජීවිතයම පූජා කළා වූ , නැඟෙනහිරි තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ මංගල ධර්මකීර්ති ශ්‍රී දඹගස් ආරේ ශ්‍රී සුමේධංකර, ශ්‍රී කල්‍යාණි වංශ මහා නිකායේ මහා නා හිමියන් 29වන වරටත් පිච්චමල් පූජා පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන මේ උතුම් අවස්ථාවේ සිහිපත් කිරීම කළ ගුණ දන්නා කාගේත් යුතුකම වේ.

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]