UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනියනං

කුඹල්ගම මේධංකර නා හිමි

ශාසන ශෝභන ගුණයන්ගෙන් පරිපූර්ණ යතිවරයාණන් වහන්සේ නමක් වු රත්නපුර ගැටන්ගම ශ්‍රී විජයාරාමාධිපති, සබරගමු බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක විචිත්‍රභාණි ශාස්ත්‍රපති පණ්ඩිත කුඹල්ගම මේධංකර නාහිමිපාණන් වහන්සේ පැවිදි දිවියෙන් 60 වසරක් සපිරේ.

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මැතිවරණ කොට්ඨාසයේ කුඹල්ගම ගමේ ජන්ම ලාභය ලැබූ මෙම පින්වත් කුමරුවන් 1958 ජුනි 23 වන දින කුඹල්ගම ශ්‍රී විසුද්ධාරාමපති කුඹල්ගම විසුද්ධාලෝක නා හිමිපාණන් වහන්සේගේ සහ බෙලිහුල්ඔය ශී‍්‍ර සුවිසුද්ධාරාමපති අමරපුර සිරි සද්ධම්ම වංශ මහානිකායේ රාස්සගල විහාර පාර්ශ්වයෙහි මහා නායක අපවත් වී වදාළ ගැටඅරළුවේ ශ්‍රී ධම්මරතන මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස පැවිදි විය. මූලික අධ්‍යාපනය විහාරස්ථානයෙන් ලබා උසස් අධ්‍යාපනය සඳහා රත්නපුර සුධර්මශාලා සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනට ඇතුලත් වූහ. එහි දී සිංහල,පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි හා ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හැදෑරීය. මෙම කාලයේ දී අභිධජ මහාරට්ඨ ගුරු අතිගරු බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක මාහිමිපාණන් වහන්සේගේ හා ගැටඅරළුවේ ශ්‍රී ධම්මරතන මහානායක නාහිමිපාණන් වහන්සේගේ, ශ්‍රීපාදස්ථානාධිපති බටුගෙදර යසස්සි නාහිමිපාණන් වහන්සේගේ හා මහාචාර්ය හේන්පිටගෙදර ඥානසීහ අනුනායක මාහිමිපාණන් වහන්සේගේ නිබඳ ඇසුර නිසාත් අවවාද අනුශාසනා නිසාත් දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යාපනය ලැබීමටත් ඉන් පසුව ශී‍්‍ර ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවත්, ශී‍්‍ර ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත්, ලබා ගැනීමට ශක්තිය ලැබුණි.

1967 ජුනි 16 වන දින බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සංඝරත්නය වෙතින් උපසම්පදාව ලබා ගත්හ. ජාතික, ආගමික, සාමාජික හා සංස්කෘතික සේවාවන් සිදු කිරීම සඳහා රත්නපුර ශී‍්‍ර විජයාරාම විහාරස්ථානයට වැඩම කොට එකල විහාරාධිපති ලෙස වැඩ විසූ ගගුල්විටියේ ඥානාලංකාර නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව විහාරාධිපති ධුරයට පත්වූහ. 1968 සිට රත්නපුර මූද්දුව ශ්‍රීසුමන මහාපිරිවෙනේ ආචාර්ය ධුරයට පත්කර ගන්නා ලදී. පසුව නියෝජ්‍ය පරිවෙනාධිපති ධූරයටත්, පරිවෙනාධිපති ධූරයටත්, පත්වූහ. එහිදී මේධංකර නාහිමිපාණන් වහන්සේ ගිහි, පැවිදි ශිෂ්‍යයෝ රාශියක් සමාජයට දායාද කළහ. ඒ සමගම ශාසනික කාර්ය භාර්යයෙහි නියලුණහ. නාහිමිපාණන් වහන්සේ රත්නපුර ශාසනාරක්ෂක බල මණ්ඩලයෙහි ප්‍රධාන ලේඛකාධිකාරි ධූරයත් සභාපති ධූරයත්, දරමින් විශාල සේවයක් සිදු කළහ. එම කාලය තුළ දී තම කාලය, ධනය, ශ්‍රමය යොදවමින් ප්‍රදේශයේ සමිති සමාගම් රාශියක් ඇති කරමින් තරුණ, මහලු, ළමා ආදී සියලු දෙනාගේම සමගිය අගය කළහ. ඒ අනුව විහාරස්ථානයේ විශාල දියුණුවක් ඇති කිරීමට දිවා රෑ කටයුතු සිදු කළහ. එහි ප්‍රතිඵල ලෙස සකලාංගයෙන් සමන්විත විහාරස්ථානයක් දැකිය හැකි විය. තමාගේ සමාජිය යුග මෙහෙවර දෙස් විදෙස් රටවලටද වරින් වර යෙදවීය. වාර්ෂිකව දඹදිව වැඩම කළ අතර තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, ඇමරිකාව ආදි රටවල ධර්ම ප්‍රචාර කටයුතු වල නිරත වූහ.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයෙහි මහානා හිමිපාණන් වහන්සේ ඇතුළු කාරක සභාව වෙතින් සබරගමු, බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක තනතුරත්, “විචිත්‍රභාණි” හා අමරපුර සිරි සද්ධම්ම වංශික මහානිකායේ ප්‍රධාන ලේඛකාධිකාරි තනතුරට කුඹල්ගම මේධංකර නායක මාහිමිපාණන් වහන්සේ වෙත පිරිනමා ඇත.

පැවිදි දිවියෙන් වසර 60 ක් සපිරෙන ශාසනික යුග මෙහෙවරෙහි යෙදෙන කුඹල්ගම මේධංකර නාහිමිපාණන් වහන්සේට චිරාත් කාලයක් නිදුක්ව, නිරෝගිව ජාතික හා ශාසනික කටයුතු සිදු කිරීමට තෙරුවන් සරණින් ශක්තිය ධෛර්ය ලැබේවා .


ඉහළමුල්ලේ සුගුණවංශ නා හිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික ‘පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා එම පාර්ශ්වයේ ශ්‍රී සුමනජෝති මහාකාරක සංඝ සභාව මඟින් ඉහළමුල්ලේ සුගුණවංශ හිමියන් පත්කළහ. උන්වහන්සේ මේවන විට එම පාර්ශවයේ වයඹ මධ්‍යම දෙදිසාවේ පළාත්භාර නායක පදවිය හොබවන අතර ඉන් පෙර එම පළාත් සංඝ සභාවේ ප්‍රධාන ලේකම්ධුරය හෙබවූහ.

අංකුඹුර, ඉහළමුල්ල ශ්‍රී සෝමානන්ද මහ පිරිවෙන් හි ආචාර්යවරයෙකු හා පරිවෙණාධිපතිවරයෙකු වශයෙන් සේවය කොට මේවන විට උන්වහන්සේ එම පිරිවෙනේ කෘත්‍යාධිකාරි ලෙස කටයුතු කරන අතර විහාරාධිපතින් වහන්සේ ද වන්නේය. ප්‍රදේශයේ ආගමික ,සාමාජික කටයුතුවලදී මුන්වහන්සේ ප්‍රධාන අනුශාසකවරයෙකි. එම පාර්ශ්වයේ කටයුතුවලදී ඇපකැපවීමෙන් ක්‍රියාකළ උන්වහන්සේ මෙම පදවිය සඳහා පත්කර ඇත.

අපවත් වී වදාළ ජිනවරවංශපාල අංකුඹුරේ ශ්‍රී සෝමානන්දාභිධාන මහානායක මාහිමියන්ගේ සහ මාතලේ ධම්මිස්සරාභිධාන නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු වන මුන් වහන්සේ එම භික්ෂු පරපුරේ පැවැත්ම හා අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන්නේය.


ආචාර්ය ගොඩගම මංගල හිමි

මහනුවර අස්ගිරිය මහා විහාරයීය විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සභික මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයාධිපති , ඓතිහාසික රංගිරි දඹුළු රාජ මහ විහාරාධිපති ආචාර්ය ගොඩගම ධර්මකීර්ති ශ්‍රී චන්දානන්ද මංගලාභිධාන නාහිමිපාණන් විසින් දෙස් විදෙස්හි ජාත්‍යන්තර මට්ටමෙන් සිදුකරනු ලබන ශාසනික, ආගමික ,බෞද්ධ සංස්කෘතික, ධර්මශාස්ත්‍රිය අධ්‍යාපන සේවය අගයමින් තායිලන්තයේ සංස්කෘතික අමාත්‍යාංශය විසින් ආචාර්ය මංගල නාහිමිපාණන්ට “ධර්මචක්‍ර” රාජකීය සම්මානය පිරිනමා ඇත. තායිලන්ත රජ පවුලේ සංකල්පයක් අනුව මෙම සම්මානය පිරිනමන ලදී. තායිලන්ත රජ පවුලේ සාමාජිකාවක් විසින් අචාර්ය මංගල නාහිමිපාණන් වහන්සේට සිරිඩි හොම් (ඛ්ඩ්ඒම්අධ් ඉඅධ්ව්ච්ඩ්ර්‍ණර්) කුමාරිය විසින් එම සම්මානය තායිලන්තයේදී පවත්වන ලද උත්සවයකදී පිරිනමන ලදී.

අපවත්වී වදාළ අස්ගිරිය මහා විහාර පාර්ශ්වයේ මහා නායක පලීපාන ශී‍්‍ර චන්දානන්ද මාහිමිපාණන් වහන්සේගේ බෞද්ධ අධ්‍යාපන සංකල්පයක් අනුව ආචාර්ය මංගල නාහිමියන්ගේ විද්‍යාලායාධිපතිත්වයෙන් ආරම්භ කරන ලද ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලය මේ වනවිට උසස් පාසලක් බවට පත්ව ඇත. මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යලයාධිපති වශයෙන්ද තායිලන්තයේ චූලාකෝර් විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකාවේ ශාඛාවක් ලෙස සහතික කරන ලද ශ්‍රී දළදා මාළිගාවේ පල්ලේකැලේ ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ (ෂිබා ඛ්ධ්ඕඒ) ආරම්භක උපදේශකයකු වශයෙන් ද ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය වෙනුවෙන් ආචාර්ය, මංගල නාහිමියන් සිදුකරන ලද සේවය ඉතා ශ්‍රේෂ්ඨය.


අත්තංගනේ සාසනරතන නා හිමි උපහාර

අත්තංගනේ ගම් පියසේ නම රටට
පරසිඳු කළා නා සමිඳුන් යස රුවට
සඟගුණ සුවඳකොට බුදු දහමින් ලොවට
“සාසනරතන” හිමි බිහිවුනි අප පිනට

“රතනජෝති” නා සමිඳුගෙ අඩි පාරේ
පියමං කළා අප සමිඳුන් හැම වාරේ
ගුණවත් සසුන් සරුකර යහ පාරේ
සසුනට ඉටු කරයි මෙහෙවර හැම වාරේ

කෙතරම් පදවි ලැබුවත් නිරහංකාර
පිංකෙත වැපිරුවා ලොවටම සරු සාර
“ශ්‍රීපති” පිරිවෙනෙන් බිහිවුණ තිර සාර
“නා සමිඳුනේ” පුදනෙමි බැති උපහාර

දියකලමුල්ල ගම් පියසේ උපහාර
කැටිකොට ලියැවුණේ මගෙ සිත කවිකාර
මාහට පිදිය හැකි පඬුරකි උපහාර
මේ කවි කුසුම්! පුදනෙමි සමිඳුට භාර

චිරාත් කාලයක් කෙරුමට යුග මෙහෙය
සව්නැණ ලැබේවා! සමිඳුට හැම විටය
සියක් ආයු ලැබ නිදුකින් වැජඹේය
පතනෙමු සමිඳුනේ සසුනට තව මෙහෙය

අත්තංගනේ හිමි නම ලොව බැබළේවා
සසුන රකින්නට සවිබල වැඩි වේවා
අප “නා සමිඳු” හැම දෙවියන් රැක දේවා
සාදු! සාදු! හඬ සිව් දෙස පැතිරේවා !

ඩබ්.ඒ.ධර්මා වන්නිආරච්චි
වළකුඹුරුමුල්ල
කුලියාපිටිය

 

පොසොන්
අව අටවක පෝය


පොසොන් අව අටවක පෝය ජූලි 06 වන දා සිකුරාදා පූර්ව භාග 01.05 ට ලබයි. 07 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.20 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 06 වන දා සිකුරාදා

 

මීළඟ පෝය ජූලි 12 වන දා බ්‍රහස්පතින්දා
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12

First Quarterපුර අටවක

ජූලි 19

Full Moonපසෙලාස්වක

ජූලි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]