UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම

අනුබුදු මිහිඳු මා හිමි වැඩි මිහින්තලා පුදබිම

ඇත් වෙහෙර

නාග පොකුණේ සිට පිය ගැට හයසියයක් පමණ ඉහළට නැගීමෙන් හමුවන මීටර් 27ක පමණ විශ්කම්භයෙන් යුත් ඇත් වෙහෙර ප්‍රමාණයෙන් කුඩා දා ගැබකි. මිහින්තලා කඳුයායේ උසම කන්ද වශයෙන් ඇත් වෙහෙර කන්ද සැලකේ.

ඇත් වෙහෙර යනු මෙම ඓතිහාසික ස්ථානයේ පුරාණ නාමය නොවන බව ද පැවසේ.

ඉදිකටු සෑය

පොළොව මට්ටමේ සිට අඩි 5 1/2ක් උසින් හා එක් පැත්තක් අඩි 40 ක් පමණ වන සතරැස් ගල් වේදිකාවක් මත ඉදිව ඇත. වේදිකාවට නැගීම පණිස පියගැට පෙළක් ද ඇත. පියගැට පෙළ දෙපස චාම් කොරවක් ගල් හා සඳකඩ පහනක් අත. පේසා වළලුවලින් මදක් උස්වන ලෙස කලු ගල් අල්ලා, විශ්කම්භය අඩි 20ක් පමණ වන සේ මෙම චෛත්‍යය නිර්මාණය කර ඇත.

කළුදිය පොකුණ

අඩි 200ක් පමණ දිගින් ද, අඩි 70ක් පමණ පළලින් ද යුත් කළුදිය පොකුණ නිමවා ඇති ලෙසින් පරිසරයේ ස්වභාවික ලක්ෂණ වඩාත් ඔපවත් වෙයි. පොකුණට බැසීමට ඇති පියගැට පෙළ ද දැකුම්කළු නිර්මාණයකි.

නිසංසල පරිසරයක පිහිටි කළුදිය පොකුණ අවට ගල් ලෙන්, ස්නානාගාර, භාවනා ශාලා, දාගැබ්, පිරිවෙන් ආදියෙන් යුත් පුරාණ ආරාමයක නටබුන්ය. වෘක්ෂලතාවන්ගෙන් සෙවන ලැබ ශාන්ත නිසසල පරිසරයක පිහිටි කළුදිය පොකුණ පධන් වීර්යය වඩන භික්ෂූන් වහන්සේලාට ආරණ්‍ය සේනාසනයක් විය. කළුදිය පොකුණට මෙම නාමය ලැබුණේ දියෙහි පතිත වූ අඳුරු පැහැති ගස් වැල්වල ඡායාව නිසා විය හැක. වැසි කාලයෙහි කන්දෙන් ගලන දිය එකතු කොට සෑදු මෙම පොකුණ පරිසරයට අමුතුම ආකාරයේ සිරියාවක් ගෙනදෙයි.

මිහිඳු රජුගේ පුවරු ලිපි

කොටස් දෙකකින් යුත් මිහිඳු රජුගේ පුවරු ලිපිය ලක්දිව ශාසන ඉතිහාසය ගැන වැදගත් තොරතුරු රාශියක් හෙළි කරන ලිපියක් සේ සැලකෙන අතර, මෙම පුවරු ලිපිය පිහිටා ඇත්තේ ධාතු මන්දිරයට ඇතුල්වන දොරටුවේ දෙපස ය. මිහින්තලයේ ඉතිහාසය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රාශියක් හෙළි කරන මිහිඳු පුවරු ලිපි හතරවන මිහිඳු රජු ක්‍රි. ව. 950 – 972 අතර කාලයේ කරවා ඇත.

රාජගිරි ලෙන කන්ද

විශාල ප්‍රමාණයේ ගල්ලෙන් කීපයක් ද පොකුණක් ද මෙම කුඩා කන්දේ දක්නට ලැබේ. ලක්දිව විසූ භික්ෂු සංඝයා වහන්සේගේ පරිහරණය උදෙසා එනම් තවුස් දිවියක් ගත කළ භික්ෂූන් වහන්සේගේ වාසස්ථාන ලෙසින් සැලකේ. පුරාණයේ ආවාසවල ස්වභාවය කෙසේ ද යන්න දැන ගැනීමට රාජගිරි ලෙන කන්දේ ඇති ලෙන් ප්‍රයෝජනවත් වේ. ඒවා නිවාස වශයෙන් ගත් කල එහි ඇති වාස්තු විද්‍යාත්මක ලක්ෂණ කෙරෙහි ද විශේෂ අවධානය යොමු විය යුතු ය.

බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති ලිපිවල මෙම ගල්ලෙන් සංඝයා වහන්සේ උදෙසා පූජා කළ සැදැහැවතුන්ගේ නම් සඳහන් කර ඇත. ඒ වගේ ම 9 වන සියවසට අයත් නාගරි අක්ෂරයන්ගෙන් ලියැවුණු ටැම් ලිපි ද මෙහි ඇත. ඒවා මහායානිකයන්ගේ බව නිසැක ය. මිහින්තලා භූමිය අනුරාධපුරයේ අභයගිරි විහාරයට නතු වූ මහායානික බෞද්ධ මධ්‍යස්ථානයක් වශයෙන් පැවැති බවට සාධක ඇත.

සංඛ පද්ම දොරටුපාල රූප

ලක්දිව දොරටුපාල රූප අතර ඉතා විරල දොරටු පාල රූප දෙකක් මිහින්තලයේ රාජගිරි ලෙන ආසන්නයේ දී දක්නට ලැබේ. ඒ ‘සංඛ පද්මය’ යි.

මේ දොරටුපාල රූප ලාංකේය දොරටු පාල රූප නෙළීම ආරම්භ වූ අවධියේ ම නෙළූ බවට විශ්වාස කළ හැකි වන්නේ පසු කලෙක බහිරව රූප හෙවත් වාමන රූපත්, ඉන් පසුව නාග රූප මුරගලට පැමිණීමත් නිසා ය.

මිහින්තලාවේ විශාල භූමි ප්‍රදේශයක් වසා ගත් සිංහල බෞද්ධ සංස්කෘතියේ නටබුන් කීපයක් තෝරා කළ විස්තරය මෙතකින් නිම වූව ද වර්තමානය වන විටත් කැලෑවෙන් වැසීගත් මහ පොළොවේ පසින් වැසීගත් අප නොදත් දෑ කොතෙකුත් නටබුන් ව තිබෙන්නට ඉඩ ඇත. තවත් ශත වර්ෂ ගණනාවක් අලුත් වෙමින් කියැවෙන ජාතියේ වංශ කතාව, එනම් මිහින්තලා කතා පුවත කිසි දිනකත් කියා නිම කළ නොහැකි වේ.

 

පොසොන් පුර අටවක පෝය


පොසොන් පුර අටවක පෝය ජුනි 20 වන බදාදා පූර්ව භාග 05.00 ට ලබයි. 21 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 03.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 20 වන දා බදාදා ය.

 

මීළඟ පෝය ජුනි 27 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27

Second Quarterඅව අටවක

ජූලි 06

Full Moonඅමාවක

ජූලි 12


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]