UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධීතු සූත්‍රය : චිත්ත සමාධියටත් නිවන් මඟටත් භේද නැත

ධීතු සූත්‍රය

චිත්ත සමාධියටත් නිවන් මඟටත් භේද නැත

භාග්‍යවතුන් වහන්සේ, පසේ නදී කොසොල් රජතුමාට දියණියකගේ උතුම් බව පෙන්වා දෙමින් දහම් කතාව පැහැදිලි කර දේශනා කරන ලද්දේ, සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයෙහි ධීතු සූත්‍ර දේශනාවේ දී ය.

එම දහම් කතාව තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, නන්ද මාතා කතා වස්තුවේ දී භික්ෂූන් වහන්සේලාගෙන් කර්මස්ථාන ගෙන, භික්ෂූන් වහන්සේලාට පෙරාතුව මාර්ගඵල අවබෝධය උදාකරගත් අවස්ථාව මෙහි දී සිහිපත් කරගත යුතුමයි. මෙම දහම් පෙළ සිහිපත් කරන විට චිත්ත සමාධියටත්, නිවන් මඟටත් ස්ත්‍රී පුරුෂ භේදයක් කිසිසේත් ම අදාළ නොවන බව ඉතාම පැහැදිලි ය. මේ නිසා නුවණ ලබා ගැනීමේ දී අවශ්‍ය වන්නේ උත්සාහය, අධිෂ්ඨානය, සම්‍යග් ප්‍රඥාව ම බව ඉතාම හොඳින් තේරුම් ගත හැකි ය.

කුණ්ඩලකේෂී කතාවේ දී ස්ත්‍රිය පිළිබඳව එක්තරා දෙවියෙක් සඳහන් කළ අදහස දහමෙහි අනුමත කොට දක්වා තිබෙනවා. ඒ කුමක් ද?

“නසො සබ්බේසු ඨානේසු
පුරිසො හෝති පණ්ඩිතො
ඉත්ථිපි පණ්ඩිතා හොන්ති

තත්ථ තත්ථ විචක්ඛනා” “සෑම තැනක දී ම පුරුෂයා පමණක් පණ්ඩිත හෝ නුවණැතියෙක් බවට පත්වන්නේ නැහැ. ඒ ඒ තැනට අනුව කටයුතු කිරීමෙන් ස්ත්‍රියත්, පණ්ඩිතයෙක් හෙවත් නුවණැත්තියක් බවට පත්වෙනවා”.

මේ දහම් පෙළ මොනතරම් සාධාරණ ද? කාරුණික ද? සිත් සුවපත් කරන්නේ ද? යන්න ඉතාම පැහැදිලි ය. එම නිසා ඔබටත් ඔබේ පවුලටත් දියණියක් ලැබුණේ නම් ඒ දියණිය ලබා දුන්නු අම්මාගේ පටන් නුවණින් මෙනෙහි කර බලන්න.

අප මේ ලෝකයට බිහිවුණේ අම්මා කෙනෙක් නිසා නම්, ඇයගේ සිතේ හටගත්තා වූ ආදරය, කරුණාව නිසා ම, රුධිරය කිරි බවට හැරුණි. ඒ මවුකිරිවලින් මුල් අවධියේ දරුවාගේ කුස පෝෂණය කරයි. එසේ වැඩුණු දරුවෙක් නැවත ස්ත්‍රියක්, පුරුෂයෙක්ට වඩා පහත් යැයි සිතීම හෝ සැලකීම කොතරම්දුරට සුදුසු දැයි නුවණින් කල්පනාකොට බැලිය යුතුයි. අම්මා කෙනෙකුගෙන් මෙලොවට බිහි වී ලොව දැක ඒ අම්මාගේ දෑතින් ම ප්‍රසන්න, නීරෝගී දරුවෙක් බවට පත් වන්නේ ය. එවන් පෝෂණයක් ලද අයෙක් අම්මා කෙනෙක් බවට පත්විය හැකි දියණියක් පිළිබඳව හෝ කාන්තාවක්, ස්ත්‍රියක් පිළිබඳව පහත්කොට සිතන්නේ නම් හෝ නපුරු හෝ පරුෂ වචනයෙන් කතා කරන්නේ නම් හෝ අදහස්වලින් හෙළා දකින්නේ නම් හෝ එය තමා මෙලොවට බිහිකළ අම්මාට ම කරන අගෞරවයක් හැටියට සිහිපත් කළ යුතුමයි. මේ නිසා ස්ත්‍රියක් නැණවත් නම්, නුවණැති නම්, බුදු උතුමන් පවා ලෝකයට බිහිකරන එවැනි ශ්‍රේෂ්ඨ දියණියක් ඉතා ම උතුම් බව ස්ත්‍රී රත්නයක් ම බව සඳහන් කළ යුතුමයි.

ඒ වගේ ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළෙහි සිල්වත් බව පිළිබඳව දක්වා තිබෙනවා. සීලය නම් කායික වාචසික සංවරයයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට වර්තමාන පරිසරය දක්වා ම දඩබ්බර, ඕලාරික චරිත වඩාත් ම දක්නට තිබුණේ නම්, ඒ බොහෝ තැනක පුරුෂ පක්ෂය මුල්කොට ගෙන ය.

එහෙත් ඉන් අදහස් කරන්නේ පුරුෂ පක්ෂයම දුසිල්වත් බව නොවෙයි. පුරුෂ වගේ ම කාන්තා පක්ෂය ද සිල්වත් විය හැකියි. ඒ වගේ ම දුසිල්වත් විය හැකියි. එහෙත් එදා සිට අද දක්වා ම සමාජය තුළ දුසිල්වත් බව වඩාත් ම මතු කොට පෙන්වන තැන්වල මත්වතුර පානය ද, රණ්ඩුදබර වීමේ දී ද, කලකෝලාහල කර ගැනීමේ දී ද වඩාත් මුල් තැනකට පැමිණෙන්නේ පුරුෂ පක්ෂය බව පැහැදිලියි.

නැවතත් සඳහන් කරන්නේ පුරුෂ පක්ෂය ම කියන අදහස නොවේ. එනමුත් කාන්තා පක්ෂය බහුතරයක් හැකිතාක්දුරට සංයමයෙන්, සංයතයෙන් යුක්තව කටයුතු කරමින් සිල්වත්වීමේ ප්‍රතිපදාවට අවතීර්ණ වන බව පැහැදිලිකොට ගත හැකියි. භාග්‍යවතුන් වහන්සේගේ සමයේ දී පවා විශාඛා මහෝපාසිකාව පිළිබඳව සඳහන් වන්නේ බොහෝ අවස්ථාවන්හි දී පන්සියයක් හා එයට වැඩි පිරිසක් යෙහෙළියන් හා සමඟින් භාග්‍යවතුන් වහන්සේ වෙතට පැමිණුන බවයි. අප්‍රමාණ කාන්තා පිරිස් ධර්ම මාර්ගය වෙතට පැමිණුන බවයි. මේ හැම කාන්තාවක් ම එදා බුද්ධ ශාසනයේ දී භික්ෂූන් වහන්සේලාට මව්වරු සේ ඇප උපස්ථාන කරමින් බුද්ධ ශාසනයේ පැවැත්ම පිණිස මහඟු සේවාවක් ඉටු කළහ.

භාරත සමාජය සේ ම, ශ්‍රී ලාංකික සමාජයේත් ලෝකයේ ඕනෑම බෞද්ධ රටකත්, පුරුෂ පක්ෂය සේ ම උපාසිකා පිරිසත් පුරුෂ පක්ෂයට නොදෙවෙනි මෙන් ශාසනයේ පැවැත්මට උපකාරත්වයෙන් කටයුතු කළ බව පැහැදිලියි. වර්තමාන ශ්‍රී ලාංකික සමාජයේ ද විහාරස්ථානයන්හි සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන මඟක, තැනක වැඩිම පිරිස කාන්තාවන් නොවේ දැයි නුවණින් ම කල්පනා කොට ගත යුතුයි. මෙහි දී අප අදහස් කරන්නේ ස්ත්‍රී, පුරුෂ කියා කිසිදු පිරිසක් භේදයට දක්වා වෙනස්කොට නොසලකා, පුරුෂ පක්ෂයට හිමි තැන පුරුෂ පක්ෂයට ලබාදීමත්, මවුවරුන්ට, කාන්තාවන්ට ලබාදිය යුතු තැන ඔවුන්ට ලබාදීමත් ගුණ ගරුකත්වයෙන් මනුෂ්‍ය ජීවිතයේ ගෞරවය රැකගෙන ජීවිත පවත්වන්නට අවස්ථාව සලසා දිය යුතු බවයි.

ඒ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් යම් දියණියක් සිල්වත් වන්නේ නම්, ඒ සිල්වත් වූ දියණිය මවු පදවියකට පත් වූ දා, සිල්වත් වූ අම්මා කෙනෙක්, බුද්ධ මාතාවක් ලෙස දරුවන්ගේ සිත්වලට යොමුවන්නේ නම්, මොනතරම් සැනසිල්ලක් ද? යම් විටක ලෞකික පැවැත්ම තුළ අම්මා, බුදු අම්මා වගේ යැයි සැලකුවත් මතුමත්තේ සංසාරේ සැබෑවට ම මේ අම්මා පුරුෂ පක්ෂයට උපතේ දී මාරුවෙමින් සම්මා සම්බුද්ධත්වය පවා අවබෝධ කර ගැනීමේ හැකියාවකට පත්වන්නේ නොවේ දැයි ඔබ ම සිතින් කල්පනා කොට බලන්න. දියණියක් නැණවත්නම්, සිල්වත්නම් ඒ ලෙස ම තමාගේ මව්පියන්ට වගේ නැන්ද මාමාටත් දෙවියන්කොට සලකන්නේ නම්, ගරු කරන්නේ නම් සමස්ත සමාජයට ම නායකත්වයක් දීමත් සංඥත බවක් දීමත් කාන්තාවගේ දෑතේ හා සිතේ නොපවත්නේ දැයි ඔබ ම සිතා බලන්න.

ගෘහයක සමගිය, සමාදානය, බිරිඳකගේ හෝ අම්මා කෙනෙකුගේ අතේ පවතී. දරුවන් හා සමඟින් නිතර ගැවසෙමින්, දරුවන්ට භෞතික වශයෙන් ම සම්බන්ධය කුසේ වැඩෙන අවස්ථාවේ දී ලබාදුන්නා සේ ම ජීවිතවල දුක, සැප බෙදාගෙන කටයුතු කරන මව්පියන් අතරින් නිතරම සමීපව කටයුතු කරන අම්මා කෙනෙකුගේ ඒ ගුණය වෙනසක් නොකොට පුරුෂ පක්ෂය පවා තමාගේ ම අම්මා ගේ ජීවිතයෙන් ගලපා බලන්නට යැයි ආරාධනා කරමු. එවැනි ගුණබර ස්වාමි දියණියක් ගෙදරක මවුපියන්ට දියණියක් නොව පුතණු කෙනෙක් සේ ම ඔවුන්ගේ වචනයෙන් පිටවන්නේ ඒ නිසයි. බොහෝ දියණිවරුන්ට සද්පුරුෂ ගුණවන්ත මවුපියෝ ආමන්ත්‍රණය කරන්නේ දුවේ කියනවාටත් වඩා පුතේ කියන අදහසයි.

ඔවුන්ගේ ලෝකය තුළ දියණියක් සේ ම සිතින් පුතණුවෙක් ඒ දියණිය තුළ සිටින බව පැහැදිලියි. දියණියකගෙන් ලැබිය හැකි සෞම්‍ය බව සුකුමාල බව ඔවුන් දකිනවා සේ ම පුරුෂයකුගෙන් ලැබිය යුතු පුතකුගෙන් ලැබිය හැකි නායකත්වයත්, ඉදිරියට යෑමත්, අර දියණියකගේ සුකුමාල සුමුදු බවින් සෞම්‍ය බව ඔස්සේ ම මවුපියන් දැක ගන්නට උත්සාහ කරන බව ඉතාම පැහැදිලියි.

බුදුරජාණන් වහන්සේගේ දවස මුඵතැන්ගෙටත්, දරුවන් ලැබීමටත් පමණක් යොමු කර ගත්තා වූ යන්ත්‍රයක් බවට පත්ව සිටි දියණිවරු බුදුරජාණන් වහන්සේගේ දහම ඔස්සේ ලෞකික වශයෙන් දියුණුවක් ලැබුවා පමණක් නොව ලෝකෝත්තර වශයෙන් ද සැනසුණු බව ඉතාම පැහැදිලියි.

ථේරී ගාථාවන් විමසා බලන විට එදා සමාජයේ කාන්තාවන් ලැබූ දුක්ඛ දෝමනස්සයන් ඉතා ම හොඳින් තේරුම් ගත හැකි ය. මුත්තා නම් තෙරණිය දහමින් සැනසී තමාගේ ගිහි ජීවිතයේ කතාව පාලි පෙළ සිංහලයට පරිවර්තනය කළ විට,

“මිදුණා මිදුණා තුන් කුදයෙන් මිදුණා

මෝල් ගහෙන්, වංගෙඩියෙන්, කුදු සැමියාගෙන් මිදුණා” යනුවෙනුයි.

ඉහත සඳහන් කළ ගේ දොරේ වැඩට ම සීමා වී සැමියාගේ ගුටි බැටවලට මුහුණ දෙමින් අප්‍රමාණ වූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී මෙලොව නිරයක සේ ගත කළ එතුමිය දහමින් සැනසී, කළ නිරාමිස ප්‍රීතියෙන් යුතු ඒ උදානය එදා පැවති බහුතරයක් කාන්තාවන්ගේ සැඟවුණු කතාව නොවේ දැයි නුවණින් කල්පනා කොට ගත යුතු ය. වර්තමාන පරිසරයෙහි සියලු දියණිවරු මතු මත්තේ මවුවරුන් බවට පත්වී ලොව සුවපත් කරාවි.

පුරුෂ පක්ෂය එයට ගෞරව කරමින් මව්වරුන්ට දිය යුතු ගෞරවය එසේ දීමත් බිරින්දෑවරුන්ට දිය යුතු ගෞරවය එසේ ලබාදීමත් දියණිවන්රුන්ට, පුතණුවරුන්ට එක හා සමානව හැදීම, වැඩීම පෝෂණය කිරීම ලෙන්ගතු බව ලබාදීමටත් බුදු දහම ඔස්සේ කරන උනන්දුව අනුශාසනය අනුගමනය කළ යුතුමයි.

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]