UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අටුවා පුරාණය - 01: අටුවා පුරාණය

අටුවා පුරාණය

‘අටුවා රසකතා’ යනුවෙන් අද සිට පළවෙන ලිපි පෙළෙහි ඇතුළත් වන්නේ අටුවාවන්හි ඇතුළත් රසවත් බණ කතා කිහිපයකි. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ දැනුම ලබා ගත හැකි මෙහි ඇතුළත් කතා ජීවිතයට මහත් ඤාණාලෝකයක් මෙන් ම ධර්මාලෝකයක් ද සපයනු නො අනුමාන ය.

සාහිත්‍ය කෝෂ්ඨාගාරයක් බඳු අටුවා සාහිත්‍ය තුළ, ධර්ම විස්තර, පුද්ගලනාම හා ස්ථානනාම විස්තර, සමාජ ආර්ථික හා දේශපාලන තත්ත්වය, එකල පැවැති චාරිත්‍ර– වාරිත්‍ර රජවරුන් සම්බන්ධ විස්තර, භික්ෂූන් වහන්සේ සම්බන්ධ විස්තර, එකල සමාජයේ පැවති (ඉන්දීය හා ලාංකීය) කතා පුවත්, ව්‍යාකරණ විවරණ ආදි බොහෝ ක්ෂේත්‍රයන් ඔස්සේ කරුණු කාරණා දැනගත හැකි ය.

මෙම ලිපි පෙළෙන් අපගේ අවධානය යොමුවන්නේ අටුවාචාරීන් විසින් ධර්මය විස්තර කිරීම සඳහා සදූපදේශයන් වශයෙන් යොදාගත් එකල සමාජයේ පැවති (ඉන්දීය හා ලාංකීය) කතා පුවත වෙත ය. එම ලිපි මාලාවේ පළමු වැන්න වන මේ තුළින් ඉදිරිපත් වන්නේ අට්ඨකතා හෙවත් අටුවා පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය කරුණු කාරණාවන් ය.

පාලි සාහිත්‍ය තුළ පෙළ දහම හෙවත් බුද්ධ භාෂිතය හැරුණු කොට ඊළඟට වැදගත් සාහිත්‍යාංගය වන්නේ අට්ඨකථාවන්ය. පෙළ දහමෙහි එන ගැඹුරු තැන් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම සඳහා ලියවුණු අර්ථකථනයන් අට්ඨකතා ලෙස හඳුන්වයි.

පෙළ දහමෙහි ද අට්ඨකථා ස්වරූපයෙන් හෙවත් කෙටියෙන් දේශනා කළ ඇතැම් සූත්‍රයන්ට විශේෂ අර්ථ කථනයන් ප්‍රකාශ කිරීම සඳහා දේශිත සූත්‍ර ධර්මයන් ඇත. බුදුරජාණන් වහන්සේගේ පළමු දම්දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රයේ දේශිත චතුරාර්ය සත්‍යය, සච්චවිභංග සූත්‍රයේ දී සැරියුත් මහරහතන් වහන්සේ විසින් දීර්ඝ වශයෙන් අර්ථකථන සපයා දේශනා කොට ඇත. මහා කොට්ඨිත මහරහතන් වහන්සේ විසින් දේශිත මහාවේදල්හ සූත්‍රය ද එවැන්නකි. එමෙන්ම ඛුද්දක නිකායන්තර්ගත මහා නිද්දදේසපාලි හා චුල්ල නිද්දේසපාලි යන කෘතීන් තුළ විස්තර වන්නේ සුත්ත නිපාතයේ ඇතුළත් අට්ඨක හා පාරායන වර්ගයන්ට සැරියුත් මහරහතන් වහන්සේ විසින් කළ අර්ථ කථනයන් ය.

පෙළ දහම සඳහා ක්‍රමවත්ව අට්ඨකථා ලිවීම ආරම්භ වන්නේ මහානාම රජ දවස (ක්‍රි.ව. 409-431) දඹදිව සිට ලක්දිව පැමිණි බුද්ධඝෝෂ හිමියන් අතිනි. එහෙත් ඒ වනවිටත් මිහිඳු මාහිමියන්ගෙන් ආරම්භ වුණ ලක් සසුන තුළ හෙළ බසින් රචිත “හෙළටුවා’ නමින් රචිත විශේෂ අර්ථකතනයන් සමූහයක් තිබුණ බව ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහතා විසින් පැරැණි ලක්දිව බෞද්ධ ඉතිහාසය නම් කෘතියෙන් පෙන්වා දෙයි.

ලක්දිව රචිත හෙළටුවාවන් 28 ක් පමණ පැවති බව අදිකාරම් මහතා පෙන්වා දෙන අතර, එහිලා වඩාත් ප්‍රසිද්ධියට පත් හෙළටුවා කිහිපයක් මෙසේ ය. මහා අට්ඨකථා හෙවත් මූල අට්ඨකථා , මහා පච්චරිය අට්ඨකථා, කුරින්දි අට්ඨකථා, අන්දඛ අට්ඨකථා , සංඛේප අට්ඨකථා, විනය අට්ඨකතා, සුත්තන්ත අට්ඨකථා ආගම අට්ඨකතා දීඝ අට්ඨකතා, මජ්ක්‍ධිම අට්ඨකතා ආදිය යි.

බුද්ධඝෝස හිමියන් සිය පාලි අට්ඨකථාවන් රචනා කිරීමට පෙර ඒ සියලු හෙළටුවාවන් පරිශීලනය කර ඇති බව එතුමා පවසයි. ඒ බව බුද්ධඝෝස හිමියන්ගේ අට්ඨකථා තුළ උපුටා දක්වා ඇති හෙළටුවා පාඨයන්ගෙන් හා සිය රචනාවන් තුළ වරින්වර හෙළටුවා නාමයන් සඳහන් කර තිබීමෙන් තවදුරටත් පැහැදිලි වෙයි. බුද්ධඝෝෂ හිමියන්ගේ පළමු අටුවාව වන්නේ විසුද්ධි මාර්ගය යි. එය සමස්ත ත්‍රිපිටකයට ම කරන ලද මහර්ඝ අටුවාවකි. ධර්ම සංග්‍රහයකි. නිවන සඳහා වූ මාර්ගය පෙන්වා දෙන්නකි.

විසුද්ධි මාර්ගය බිහි වී ඇත්තේ එකල අනුරාධපුර මාහාවිහාරීය භික්ෂූන් විසින් අටුවාකරණය සඳහා බුද්ධඝෝස හිමියන්ගේ දැනුම පරීක්ෂා කිරීම සඳහා කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙනි.

බුද්ධඝෝෂ හිමියන්ගේ පළමු අටුවාව

‘අටුවා රසකතා’ යනුවෙන් සතිපතා පළවෙන ලිපි පෙළෙහි අද ලිපියෙන් අප ඉදිරිපත් කරන්නේ අට්ඨකථාචාර්ය බුද්ධඝෝස හිමියන්ගේ ජීවන තොරතුරු හා උන්වහන්සේගේ පළමු අටුවාව සම්බන්ධවය. පෙළ දහමට කරන ලද අටුවාවලින් වැඩි ගණනක් කරන ලද්දේ බුද්ධඝෝස හිමියන් විසිනි. බුද්ධඝෝස හිමියන් පිළිබඳ විවිධ ජනප්‍රවාද කතා ඇත. එහිලා බුරුම බසින් ලියන ලද ‘බුද්ධඝෝසුප්පත්ති’ යන කෘතියෙහි බොහෝ කරුණු ඇතුළත්ව ඇත. එහෙත් ඒ සියල්ල නිරවද්‍ය ලෙස උගතුන් නොසළකන නිසා එය ප්‍රාමාණික ග්‍රන්ථයක් ලෙස නො සලකයි.

බුද්ධඝෝස හිමි

මහාවංසයේ 37වන පරිච්ඡේදයේ 216 වන ගාථාවේ සිට 240 වන ගාථාව දක්වා බුද්ධඝෝස හිමියන්ගේ ඉගෙනීම, වාදයෙහි දක්ෂබව, රේවත තෙරුන් හමුවීම, පැවිදිවීම, දඹදිව ග්‍රන්ථ රචනය, ලක්දිව පැමිණීම, මහාවිහාර භික්ෂූන් බැහැදැකීම, විසුද්ධි මාර්ගය රචනා කිරීම ආදී කරුණු රාශියක් ඇතුළත් ලත්වෙයි.

ඒ අනුව උපතින් බමණෙකු වූ බුද්ධඝෝස හිමියන් කෙටි කලකින්ම සිව් වේදයන්ගේ මෙන්ම ශබ්ද ශාස්ත්‍රයේ ද පරතෙරපත් තරුණයෙක් විය. වාද විවාදාදියෙහි යෙදෙමින් සැරිසරන මේ තරුණයා දිනක් රාත්‍රියේ විහාරස්ථානයක නවාතැන් ගත්තේ ය. එහි වැඩ සිටියේ දැන උගත් රේවත නම් තෙර නමකි. එදින රාත්‍රියේ මේ තරුණයා ‘පතඤ්ජලී’ නම් වූ සංස්කෘත ව්‍යාකරණය කටපාඩමින් කියන ලදී. මේ ඇසූ රේවත තෙරණුවෝ මේ නම් සාමාන්‍ය කෙනෙකු නොව මහා ප්‍රඥයෙකු විය යුතු යැයි සිතා මේ තරුණයා අමතා ඔහු ගැන විමසනු වස් ‘කොටළු හඬින් කෑ ගසන්නේ කවුදැයි’ අසා ඇත.

මෙයින් ඇති වූ විවාදයෙන් රේවත තෙරණුවන් සමඟ ප්‍රශ්න විසර්ජනාදිය සිදු කරමින් සිටින අතර තුර රේවත තෙරණුවන් විසින් මේ තරුණයාට අභිධර්ම පාඨයක් කියන ලදී. එය කාගේ ධර්මයක් දැයි ඇසූ විට රේවත තෙරණුවන් විසින් එය බුද්ධ මන්තරයක් යැයි පවසා ඇත. එය ඉගෙනීමට තමාට අවශ්‍ය බව පැවසූ විට එය ඉගෙනීමට නම් පැවිදි විය යුතු යැයි රේවත හිමියන් විසින් පවසා ඇත. පැවිදි වී හෝ එය ඉගෙනීම යෙහෙකැසි සිතූ මේ තරුණයා පැවිදිවීමට කැමැත්ත ප්‍රකාශ කළේ ය. මේ වාදයෙහි දක්ෂ බහුශ්‍රැත තරුණයා පැවිදි කළ රේවත තෙරණුවෝ, බුදුරජාණන් වහන්සේට සමාන කටහඬක් ඔහු සතුව තිබූ නිසා ‘බුද්ධඝෝස’ යන නම තබන ලදී. බුද්ධඝෝස හිමියන්ගේ පැවිදිවීම සිදු වී ඇත්තේ ඒ අයුරිනි.

රේවත තෙරණුවන් සමීපයෙහි ධර්මය උගත් බුද්ධඝෝස හිමියන් ඉතා කෙටි කලකින්ම ‘ඤාණෝදය’ නමින් ප්‍රකරණයක් ද ‘ධම්මසංගනී’ නම් අභිධර්ම ග්‍රන්ථයට අටුවාවක් ද කර ඇත. උන්වහන්සේ විසින් පිරිත් අටුවාව ද ලිවීමට සැරසෙන විට එය දුටු රේවත හිමියන් විසින් ඒ කාලවකවානුව වන විට දඹදිව අටුවා නොවූ බැවින් ලක්දිව හෙළ බසින් ත්‍රිපිටකයට කරන ලද අටුවා ඇති බවත්, එහි ගොස් ඒවා ඉගෙන ගෙන එන ලෙසත් බුද්ධඝෝස හිමියන්ට පවසා ඇත. බුද්ධඝෝස හිමියන් ලක්දිවට පැමිණෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

විසුද්ධි මාර්ගය

මහානාම රාජ්‍ය කාලයේ එනම් ක්‍රිස්තු වර්ෂ 412 – 434 කාලයේ ලක්දිවට පැමිණි බුද්ධඝෝස හිමියන් අනුරාධපුර මහාවිහාර භික්ෂූන් වහන්සේලා බැහැදැක තමන් වහන්සේ ලක්දිවට පැමිණීමේ අරමුණ ප්‍රකාශ කර ඇත. එය දැනගත් මහාවිහාර භික්ෂූන් වහන්සේලා ඒ පිළිබඳ කතිකා කොට පෙළ දහමට අටුවා ලිවීමට පෙර බුද්ධඝෝස හිමියන්ගේ ඒ පිළිබඳ දැනුම පරීක්ෂා කිරීම සඳහා සංයුත්ත නිකායේ සගාථක වර්ගයේ දේවතා සංයුත්තයේ එන පහත සඳහන් ගාථා දෙක දී බුද්ධ වචනය සඳහා අටුවාවක් ලියන ලෙස පවසා ඇත.

අන්තොජටා බහිජටා,
ජටාය ජටිතා පජා
තං තං ගොතම පුච්ඡාමි,
කො ඉමං විජටයෙ ජටන්ති.

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො,
චිත්තං පඤ්ඤඤ්ච භාවයං
ආතාපී නිපකො භික්ඛු,
සො ඉමං විජටයෙ ජටන්ති.

ඒ අනුව බලන විට විසුද්ධි මාර්ගය නම් වූ මෙම මහාර්ඝ ග්‍රන්ථය බිහි වී ඇත්තේ එකල අනුරාධපුර මහාවිහාරීය භික්ෂූන් විසින් අටුවාකරණය සඳහා බුද්ධඝෝස හිමියන්ගේ දැනුම පරීක්ෂා කිරීම සඳහා කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙනි.

මහාවිහාරික භික්ෂූන් වහන්සේලා බුද්ධ වචනය ඉතා ගෞරවයෙන් මෙන්ම සිය පණමෙන් සුරකිමින් ආ පිරිසකි. විදේශයක සිට පැමිණි මේ භික්ෂුව එක් වරම පෙළ දහමට අටුවා ලිවීමට පැමිණි බව ප්‍රකාශ කිරීමෙන් උන්වහන්සේලා ඒ සඳහා එකහෙලාම අවසර දී නැත. පෙළ දහම පිළිබඳ මනා දැනුමක් මෙන්ම අටුවා ලිවීම සඳහා සුදුසුකම් තිබේදැයි පරීක්ෂා කළ යුතුය යන්න මහාවිහාරීය භික්ෂූන් වහන්සේලාගේ ඒකමතික තීරණය වන්නට ඇත. ඒ සඳහා සංඝ සම්මතයෙන් ඉහත සඳහන් සංයුත්ත නිකායෙහි දේවතා සංයුත්තයෙහි අන්තර්ගත ගාථා දෙක ලබාදෙන ලද්දේ පධානඝරයෙහි වැඩ විසූ සංඝපාල මහතෙරුන් වහන්සේ විසිනි.

ඒ අනුව බුද්ධඝෝස හිමියන්ගේ පළමු අටුවාව ලෙස සම්භාවනාවට පාත්‍ර වන්නේ විසුද්ධි මාර්ගය යි. අටුවාකරණය සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීම වෙනුවෙන් රචිත විසුද්ධිමාර්ගය එක් වරුවකින් ලියා නිම කොට ශ්‍රී මහා බෝධිය සමීපයට භික්ෂූන් වහන්සේලා රැස් කරවා එය කියවන්නට බලන විට පොත අතුරුදන් ව ඇත. මහා වංසයේ සඳහන් වන්නේ එය සක්දෙව් රජුගේ උපදෙස් මත දෙවියන් විසින් කරන ලද පැහැරගැනීමක් වශයෙනි. පසුව නැවතත් වරුවකින් බුද්ධඝෝස හිමියන් විසින් විසුද්ධි මාර්ගයක් රචනා කරන ලදී. නැවතත් එය ද මහාවිහාර භික්ෂූන් වහන්සේලා වෙත ඉදිරිපත් කිරීමට පෙර දෙවියන් විසින් පැහැරගන්නා ලදී. එම කෘතිය ද අතුරුදන්ව ඇති බව දැනගත් බුද්ධඝෝස හිමියන් නැවතත් විසුද්ධි මාර්ගයක් රචනා කොට එය ඒ අවස්ථාවේ ම මහාවිහාරික භික්ෂූන් වහන්සේලා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී දෙවියන් විසින් පෙර සොරකම් කරන ලද පොත් දෙකම ලබා දෙන ලදී.

පසුව මහාවිහාරික භික්ෂූන් විසින් ඒ පොත් තුනම පරීක්ෂා කිරීමේ දී අකුරු වශයෙන් හෝ පරිච්ඡේද වශයෙන් හෝ කිසිදු වෙනසක් දක්නට නොලැබ ‘මේ තෙමේ ඒකාන්ත වශයෙන්ම බෝසත් කෙනෙක් යැයි’ පවසමින් අතිශය සතුටට පත්ව පෙළ බසට අටුවා කරණය සඳහා මහාවිහාර භික්ෂූන් සතු වූ පෙළ දහමත් හෙළ අටුවාත් සියල්ලම බාරදෙන ලදී.

(ඊළඟ ලිපියෙන් විසුද්ධි මාර්ගයේ එන රසවත් කතාවක් ඉදිරිපත් කරනු ලැබේ.)

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]