UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ජූනි 15, 16, 17 සේරුවිල මංගල රාජමහා විහාරයේ දී

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ජූනි 15, 16, 17 සේරුවිල මංගල රාජමහා විහාරයේ දී

2018.06.03, 04, 05 උපසම්පදා අපේක්ෂක ස්වාමීන්වහන්සේලා සඳහා පුහුණුව දඹුල්ල අවුඩංගාව ශ්‍රී ධර්මවර්ධනාරාම පුරාණ විහාරයේ දී සිදු කෙරේ. ජුනි 05 වනදා පෙරවරු 6.00 ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ උදෙසා පවත්වන කිරි ආහාර පූජාව, 7.00 හීල දානය 8.00 අපවත් වී වදාළ මහානායක මාහිමිපාණන් වහන්සේලා සිහිගන්වමින් දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර මහානායක හිමිපාණන් වහන්සේගේ පිළිරුවට පූජෝපහාර දැක්වීම, 8.15 ශ්‍රී සුමේධංකර මහානාහිමි, සේරුවිල සරණකිත්ති අනුනාහිමි, සිහිගන්වමින් අභිනවයෙන් තනා නිම කළ ධර්ම මන්දිරය සඟ සතු කොට පූජා කිරීම. 8.20 උත්සව සභාව 9.00 ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා සංඝ සභාව ආරම්භ කිරීම, 10.30 ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ උදෙසා පවත්වන දෙතිස් ව්‍යාංජන සහිත සම්බුද්ධ පූජාව, 11.00 දවල් සඟ සතු දානය, අනතුරුව 12.00 උපසම්පදා පුණ්‍ය කර්මය ආරම්භ කිරීම.

 

 

 

 

 

****

208 වැනි උපසම්පදා පුණ්‍යමහෝත්සවය සාර්ථක වේවා

ශ්‍රී ලංකා අමරපුර මහානිකායාන්තර්ගත ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ 208 වන වාර්ෂික පුණ්‍ය මහෝත්සවය ඓතිහාසික සේරුවිල මංගල රාජ මහා විහාරය කේන්ද්‍රකරගනිමින් මෙවර සිදුකිරීමට ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවීය විධායක සංඝ සභාව තීරණය කර ඇත. ඒ අනුව 2018 ජූනි 15 වෙනි දින උත්සවාකාරයෙන් සිදු කෙරෙන උපසම්පදා පුණ්‍යෙීත්සවය සමාරම්භක උළෙල වෙනුවෙන් මෙම සුබ පැතුම් පණිවුඩය නිකුත් කරනුයේ හදපිරි සොම්නසිනි.

සසරෙහි ඇති බියකරුබව දකිමින් එයින් මිදීමට ඇති මාර්ගය සොයා ශ්‍රද්ධාවෙන් සසුන්ගතවන කුල පුත්‍රයා සාමණේර ජීවිතය ගතකරමින් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර ඉගෙනුමෙහි නිරතව සිට උපසම්පදාපේක්ෂකත්වයට පැමිණෙයි. එකී තත්වයට පත්වූ පසු සුදුසුකම් පරීක්ෂාකර බලා අධිශීලභාවයට පත්කිරීම චිරාගත සම්ප්‍රදායයි. එකී තත්ත්වය උදාකර ගැනීම සඳහා කරුණු පහක් සම්පූර්ණ වී තිබීම අනිවාර්ය ය. එනම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ පහළවීම, සම්පූර්ණ මනුෂ්‍යත්වයක් ලබාතිබීම, උපසපන් භික්ෂූන් වැඩසිටීම, පැවිදි සාමණේර ශීලය ආරක්ෂාකිරීම, පාත්‍රා සිවුරු, ආචාර්ය, උපාධ්‍යායන් වහන්සේලා සිටීම යන කරුණු පහයි. මෙයින් පැහැදිලි වන්නේ අභිනවෝපසම්පන්න භික්ෂුවක් එකී තත්ත්වයට පත්වන්නට සුදුසුකම් කෙතෙක් සපුරා තිබුණත් අභ්‍යන්තර බාහිර යන අංශ දෙකින්ම සම්පූර්ණවීමට තවත් කරුණු ඇති බවයි. ඉහත කී දුර්ලභ කරුණු සපුරාගන්නා පැවිද්දා ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් ද, ඉන්ද්‍රිය සංවරයෙන් ද ආජීව පාරිශුද්ධියෙන් ද ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලයෙන් ද සමන්විත වූ භික්ෂූ පෞරුෂයකට හිමිකම් කියනු ලබයි.

මෙවර අප පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා උළෙල සේරුවිල ඓතිහාසික මංගල රාජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදුකිරීමට අප විධායක සංඝ සභාව තීරණය කළේ ය. ඒ පිළිබඳ විමසූ විට එම භාරදූර කටයුත්ත නොපැකිලිව භාරගත් සේරුවිල මංගල රාජමහා විහාරාධිපති, නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන සංඝනායක කථිකාචාර්ය මුංහේනේ මෙත්තාරාම නායක ස්ථිවිරපාදයාණන් වහන්සේ ඇතුළු චෛත්‍යවර්ධන සමිතියට අප මෙහිදී පුණ්‍යානුමෝදනාව පළකරමින් නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. එමෙන්ම අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවය මෙරට පිහිටුවා වසර 208 ගතවන මේ මොහොතේ ආදිකර්තෘභූත කතළුවේ ශ්‍රී ගුණරතනතිස්සාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සේරුවිල මංගල රාජමහා විහාරස්ථානය සොයාගනිමින් සමස්ත ලෝකවාසීන්ට වන්දනාමානන කිරීමට මගපෑදූ අපවත්වී වදාළ අතිපූජ්‍ය දඹගස්ආරේ සුමේධංකර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු නිකාය භාරෝවහනය කළ අපවත්වී වදාළ සියලු මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අනුස්මරණය කරමින් මෙවර පැවැත්වෙන උපසම්පදා උළෙලෙහි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි සුභාශිංසනය කරමි.

****

සේරුවිල මංගල රජමහා විහාරයේ වැඩසිටින ශ්‍රීමත් ලලාට ධාතූන් වහන්සේ වෙත කරන සැබෑ පූජෝපහාරයක්

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ උපසම්පදා පුණ්‍ය උත්සවය මෙවර සේරුවිල මංගල රජමහා විහාරයේ පැවැත්වීම සඳහා අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විධායක මහා සංඝ සභාව ගත් තීරණය උතුම් ලලාට ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීම පිණිස ගත් වටිනා අදහසක් බව සිහිපත් කළ යුතු ය.

බෝධිසත්ව ගුණේපේත කතලුවේ ගුණරතන මහා නායක මාහිමිපාණන් වහන්සේ ඉමහත් කැපවීමෙන් ආරම්භ කරන්නට යෙදුන ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ අපවත් වී වදාළ ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරය දැරූ දඹගස් ආරේ ශ්‍රී සුමේධංකර මහානායක මාහිමිපාණන් වහන්සේගේ ජීවිත පරිත්‍යාගයෙන් ආරම්භ කළ සේරුවිල මංගල රජමහා විහාරය ආරක්ෂා කිරීමට සහ උන්වහන්සේ වෙනුවෙන් ඉමහත් කැපකිරීමෙන් කළ මහා මෙහෙවරට කරන මහ මෙහෙවරක් වෙයි. මෙවර කල්‍යාණිවංශ උපසම්පදා පුණ්‍යකර්මයට සේරුවිල මංගල රජමහා විහාරය තෝරා ගැනීම සුදුසු වන්නේ ලාලට ධාතුන් වහන්සේ වැඩසිටින පින්බිම නිසාම ය. වසර දෙකක් පුරා මේ ස්ථානයේ වගකීම භාරගත් අප දඹගස්ආරේ සුමේධංකර මහා නාහිමියන් වහන්සේ ඇති කළ සංවර්ධනයේ නැවතුම 1984 දී සිදු විය. එම නැවතු තැනින් සේරුවිල නව පුනරුදය ඇති කිරීමට අපි තිර අදිටනක යෙදෙමු. මේ වන විටත් විනාශකර දැමූ ඓතිහාසික නයිපෙන නමය, සම්බුද්ධ ප්‍රතිමාව පෙර තිබූ මට්ටමට ප්‍රතිනිර්මාණය කිරීම අපේ ජීවිතයේ අප ලැබූ භාග්‍යයකි. එමෙන්ම සෑ මළුවේ පිහිටි විහාර මන්දිරය පෙර තිබූ ලෙසටම අලුත්වැඩියා කළෙමු. ඓතිහාසික බෝධිඝරයක් ලෙසට බෝධිඝරය ද නිර්මාණ කළෙමු. අභිනව ධර්මශාලාව හා සංඝාවාසය ඉදිකිරීම මේ කෙටි කාලය තුළ සිදුකරන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමු. තව නුදුරු දිනකදී අභිනව විශ්‍රාමශාලා 100 ක්, වාකරේ සේරුවිල නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට මේ දිනවල අප කරන කටයුතුවල විශේෂ අවස්ථාවන් ලෙස සලකමි. සේරුවිල විහාරය වටා පෞරාණික බැම්ම ඉදි කිරීමට මේ වන විටත් කටයුතු ආරම්භ කොට ඇත. මේ සඳහා කෝටි ගණනක මුදලක් වැයවෙතැයි ගණන් බලා ඇත. අපගේ ඉලක්කය 09 වන ලෝක උරුමය වූ සේරුවිල මංගල රජමහා විහාරය දේශීය විදේශීය සංචාරකයින්ට වන්දනාමාන කර ගත හැකි පුණ්‍ය භූමියක් බවට පත්කර ගැනීම ය. මෙවර පවත්වන උපසම්පදා විනය කර්මය අපගේ චිත්ත ශක්තිය ඇති කිරීම පිණිසත් වර්තමාන සේරුවිල සඟ පරපුරේ ක්‍රියාශීලී එකමුතු පිරිසක් බව කිව යුතු ය. මහානායක හිමියන් ප්‍රධාන ශ්‍රී කල්‍යාණිවංශ සංඝ සභාවට අපගේ සුභාශිංසනය හා ගෞරවය පළ කරමු.

****

බෞද්ධාගමික පුණ්‍යෙීත්සව අතර ප්‍රමුඛස්ථානයක් ගනු ලබන පින්කමක්

ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය ලාංකීය බෞද්ධාගමික පුණ්‍යෙීත්සව අතර, ප්‍රමුඛස්ථානයක් ගනු ලබන පින්කමක් ලෙස දකිමි.

විදේශීය ආක්‍රමණ හේතුවෙන් ලක්දිව බුදුසසුන පිරිහීයාම හේතුවෙන් වර්ෂ 1810 දී බුරුම දේශයේ හංසාවතී නුවරට වැඩම කරන ලද අතිගෞරවනීය, බෝධිසත්ව ගුණෝපේත කතලුවේ ගුණරතන තිස්ස නාහිමිපාණන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ පිරිසක් එරට කල්‍යාණී සීමා මාලකයේ දී මේධානන්ද ධජ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධ්‍යාය කොටගෙන පාරිශුද්ධෝපසම්පදාව ලබා ශ්‍රී ලංකාවට වැඩම කිරීමෙන් අනතුරුව දකුණු ලක දොඩන්දූව ශ්‍රී ශෛලබිම්බාරාම මූල මහා විහාරය මූලික කොට ගෙන ශ්‍රී කල්‍යාණිවංශ නිකාය පිහිටුවා ගැනිණි. දෙසිය අටවැනි වසරට සැපත්, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මෙවර වාර්ෂික උපසම්පදා උළෙලෙහි විශේෂත්වය වනුයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොට්ටියාරම් පත්තුවේ ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරස්ථ බද්ධ සීමා මාලකයේ දී පැවැත්වීම ය. කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන සිව්මහා බුදුරජාණන් වහන්සේලාගේ පා පහසින් අති පාරිශුද්ධ මේ පින්බිම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලලාට සහ කේශ ධාතූන් වහන්සේලා නිධන්ගත ඓතිහාසික පරම පූජනීය පින් කෙතක් ලෙසින් ද සේරුවාවිල මංගල රාජමහා විහාරස්ථානය සමස්ත ලෝවැසි බොදුනුවන්ගේ අසහාය වන්දනාවට පාත්‍ර වේ. එවන් වන්දනීය පුදබිමක ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ වාර්ෂික උපසම්පදා උළෙල පැවැත්වීම, අතිශය කාලෝචිත මෙන්ම නැගෙනහිර පළාතේ වෙසෙන බෞද්ධ ජනතාවගේ බැතිබර ප්‍රසාදය පිණිස නිසැකවම හේතුවන අතර, එකී ශාසනකාමී ප්‍රයත්නය උදෙසා කැපවන ඓතිහාසික සේරුවිල මංගල රාජමහා විහාරාධිපති, කථිකාචාර්ය, ශාස්ත්‍රපති අතිපූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයටත් දායක සභාවටත් මාගේ ශුභාශිංසන පිරිනමමි.

****

සම්බුදු සසුනේ වැදගත්ම විනය කර්මය

සතුරු ආක්‍රමණ හේතුවෙන් පිරිහීමට ලක් වූ ලක්දිව බුදු සසුන නැවත ගොඩනැංවීමේ අරමුණින් වර්ෂ 1810 දී බුරුම රටේ හංසාවතී නුවරට වැඩම කළ අතිපූජ්‍ය කතලුවේ ගුණරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු පිරිස, එහිදී උතුම් වූ උපසම්පදාව ලබා මෙරටට වැඩම කොට දකුණු ලක දොඩන්දූව ශ්‍රී ශෛලබිම්බාරාමය මූල මහා විහාරය ප්‍රමුඛ කොට ශ්‍රී කල්‍යාණිවංශ නිකාය පිහිටවූහ.

එදා මෙදා තුර පුරා වසර 208 ක් කල්‍යාණිවංශ නිකාය සම්බුදු සසුනේත්, සමස්ත දේශයේත් අභිවෘද්ධිය වෙනුවෙන් ලබා දුන් දායකත්වය අතිශය ප්‍රශංසනීය ය. ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය මෙවර ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරස්ථ බද්ධ සීමා මාලකයේ පැවැත්වීම සුවිශේෂ අවස්ථාවක් ලෙස දකිමි.

බුද්ධ ශ්‍රාවක භික්ෂු දිවියේ උත්තරීතර අවස්ථාවක් වන උපසම්පදාව භික්ෂූත්වයේ ශ්‍රේෂ්ඨත්වය වෙත පැමිණීම අර්ථවත් කරයි. එය සම්බුදු සසුනේ වැදගත්ම විනය කර්මය ලෙස සැලකේ. උපසම්පත්තිය ලැබූ භික්ෂූන් වහන්සේලා වෙතින් ශාසනයේ දියුණුවටත්, සමස්ත සමාජයේ උන්නතියටත් ලැබෙන දායකත්වය අති මහත් ය. මෙහිදී උපසම්පදාව ලබන භික්ෂූන් වහන්සේලාද අධ්‍යාත්මිකව දියුණු වූ සදාචාරසම්පන්න දේශයක් ගොඩනැංවීම උදෙසා කැප වන බව මාගේ විශ්වාසයයි.

බුදුන් වහන්සේ අනුදැන වදාළ ධර්ම මාර්ගය ද, පෙර සඟ සිරිතද සුරකිනු වස් නිරන්තරයෙන් කැප වන ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ වාර්ෂික උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සර්වප්‍රාකාරයෙන් සාර්ථක වේවායි මෙත් සිත් පෙරදැරිව සුභාශිංසන ගෙනෙමි.

****

ශාසනික වශයෙන් ලබන්නාවූ උදාරතම දායාදයක්

1810 දී බුරුමයෙහි හංසවති නුවරට වැඩම කරන ලද අතිපූජ්‍ය කතලුවේ ගුණරතන තිස්ස නාහිමිපාණන් වහන්සේ ඇතුළු ලාංකික භික්ෂූන් පිරිසක් එහි කල්‍යාණි සීමා මාලකයේදී මේධානන්ද ධජ නාහිමියන් උපාධ්‍යාය කොටගෙන පාරිශූද්ධෝපසම්පදාව ලැබ ලක්දිවට වැඩම කොට දකුණු ලක දොඩන්දූව ශ්‍රී ශෛලබිම්බාරාමය මූල මහා විහාරය මූලික කොට ශ්‍රී කල්‍යාණිවංශ නිකාය පිහිටුවනු ලැබීය. හෙරණ ශික්ෂාවේ මනා පරිචයක් ඇති, ආචාර සම්පත්තියෙන් හා ශීල සම්පත්තියෙන් පිරිසුදු වූ හෙරණ තෙම උපසම්පත්තියට සුදුසු ය. අධ්‍යාත්මික පාරිශුද්ධිය පසක් කරගනු පිණිස, අවශ්‍ය වටපිටාව නිර්මාණය කොට එහි පිවිසෙනු වස් උසස් ශීලයෙහි අධිශීලයෙහි පිහිටුවීම, ඔසවා තැබීම උපසම්පදාවෙන් සිදු කෙරෙයි. කට වහරෙහි ප්‍රකාශ වන කෝටියක් සංවර ශීලයෙහි පිහිටුවීම නම් මෙයයි. එම ශීලය පිහිටන්නේ ශික්ෂාපද කියවීමෙන් නොව, කර්ම වාක්‍ය ප්‍රකාශනයකිනි. එය සංඝ සම්මතයෙන්ම සිදුවීම මෙහි විශේෂත්වයකි. ශාසනික වශයෙන් ලබන්නා වූ උදාරතම දායාදයක් වන උපසම්පත්තිය ශ්‍රද්ධාවෙන් කළ යුතු විනය කර්මයකි. එවන් අවස්ථාවක් අන්‍යාගාමිකයින් විශාල වශයෙන් ජීවත් වන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙහි පැවැත්වීමට පියවර ගැනීම සුවිශේෂි කරුණක් වනු ඇත.

 

 

****

අතිශය වැදගත් කාරණයක්

ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේ සීමා මාලකයේදී ශ්‍රී බු.ව. 2562 පොසොන් මස 15,16 හා 17 යන දිනවල පැවැත්වෙන ශී‍්‍ර ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණි වංශ මහා නිකායේ වාර්ෂික උපසදම්පදා පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. වසර දෙසීයකට අධික ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණි වංශ මහා නිකාය ශ්‍රී ලංකා අමරපුර නිකාය නියෝජනය කරන පුරෝගාමි පාර්ශ්වයක් ලෙස හඳුන්වා දිය හැකිය. එසේම ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ දියුණුව සඳහා සුවිශාල මෙහෙවරක් කළ උගත් ධර්මධර හා විනයධර ස්වාමීන්වහන්සේලා රාශියක් ශ්‍රී කල්‍යාණි වංශ මහා නිකාය තුළින් බිහිවූ බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුවේ. “විනයෝ නාම සාසනස්ස ආයු” යන සම්බුද්ධ දේශනාව අනුව ශාසනයේ චිර පැවැත්ම සඳහා ශාසනික විනය අත්‍යවශ්‍ය සාධකයකි. මෙම උපසම්පදා උළෙල තුළින් එම අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා සාධනීය දායකත්වයක් ලැබෙන බව නොඅනුමාන ය.

රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරෙන මෙවර උපසම්පදා උත්සවය ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරයේදී සිදු කිරීමට තීරණය කිරීම අතිශය වැදගත් කාරණයකි. විශේෂයෙන් වසර ගණනාවක යුද්ධයෙන් පීඩාවට පත් සේරුවාවිල ප්‍රදේශයේ හා ති‍්‍රකුණාමලය දිස්ත්‍රික්කයේ බෞද්ධ ජනයා තුළ ආගමික ප්‍රබෝධයක් ඇති කිරීමට මෙම උපසම්පදා විනය කර්මය හේතු වනු ඇතැයි විශ්වාස කරමි.

****

මහරගම ලලිතා සපරමාදු මහත්මිය විසින් මිලියන 30 කට අධික මුදලක් වැයකොට අභිනවයෙන් ඉදි කරන්නට යෙදුණු ‘ශ්‍රී සුමේධංකර ධර්ම මන්දිරය’ සඟ සතු කර පූජා කෙරේ.

 

අධිපොසොන් අව අටවක පෝය


අධිපොසොන් අව අටවක පෝය ජුනි 06 වනදා බදාදා පූර්වභාග 11.13 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 12.34 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි 06 වනදා බදාදාය.

 

මීළඟ පෝය ජුනි 13 වනදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20

Full Moonපසෙලාස්වක

ජූනි 27


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]