UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සත්‍යය අවබෝධය තමන් සතුය

සත්‍යය අවබෝධය තමන් සතුය

විවිධ ජයග්‍රහණතුළින්, විවිධ ක්‍රියාකාරකම්තුළින් වීරත්වයට පත් වූ අය ලෝකයේ සිටිති. සමහරු දේශ දේශාන්තර ජයග්‍රහණය කිරීමෙන් ද, සමහරු තම රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, උදාර උතුම් අනුස්මරණීය ක්‍රියාකාරකම් ඉටුකර ලීමෙන් ද, සමහරු විවිධ විද්‍යාත්මක නිර්මාණ තුළින් ද වීරත්වයට පත්ව ඇත. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වීරත්වයට පත් වූයේ මෙබඳු ක්‍රියාකාරකම් තුළින් නොවේ. මේ අනන්ත වූ සංසාර ගමනෙහි සැරි සරන සත්ත්ව සමූහයා විඳින දුක් ගින්දර නිවාලීම සඳහා නිවැරැදි සත්‍ය මාර්ගය සොයාගෙන එය මිනිස් ප්‍රජාවට පෙන්වා දීම තුළිනි.

මේ උදාර උතුම් සතු්‍ය ධර්මය සොයා ගැනීම සඳහා තම සංසාර ගමන තුළ තම ජිවන සුව පහසුව ගැන නොසිතා මොනතරම් පරිත්‍යාගශීලී ක්‍රියාකාරකම් සමුදායක් ඉටුකර ඇත්ද? සිද්ධාර්ථ කුමාරයා වශයෙන් සියලු සම්පත් අතහැර දමා සය අවුරුද්දක් වින්ද දුක් කන්දරාව දෙස බලන්න. මේවා ගැන සිතන විට බුද්ධ චරිතය තුළින් පෙන්නුම් කරන වීරත්වය අසමසම ය.

පස්වග මහණුන්ගෙන් ඇරඹුණ මහ සඟ පරපුර, මහජනතාවගේ සිත් ඇද බැඳ තබා ගත් ශාන්ත දාන්ත ප්‍රසාද ජනක පිරිසක් බවට පත් ව සිටි අයුරු ත්‍රිපිටක ධර්මය තුළින් අපි දකිමු. එදා භික්ෂු සංඝයා, සංවර ඉඳුරන්ගෙන් යුක්ත වූහ. ශාන්ත දාන්ත මනසකින් යුක්ත වූහ. අනවශ්‍ය කතාවලින් තොරව, බිමට යොමාගත් ඇස් ඇතිව වැඩම කරන භික්ෂූන් ගේ ගමන් විලාසය හැම දෙනාගේම නෙතට සුවයක් ගෙනදිනි. මේ නිසාම බුදුරදුන් ඇතුළු මහා සංඝරත්නයේ දැක්මෙන් වශී කෘත වූ බොහෝ දෙනා තම ඉඩකඩම් දේපොළ , ගෙවල්දොරවල් , අඹු දරුවන් ඇතුළු සියල්ල හැර දමා විමුක්තිය සොයමින් මේ ශාසනයට ඇතුළු වූහ.

“කිං සච්ච ගවේසී’ යනුවෙන් සඳහන් අයුරින් සත්‍යය කුමක්දැයි සොයමින් හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ ආකාරයත් පසුව එහි අසාර්ථක බව දැක මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් පරම සත්‍ය සොයා ගත් ආකාරයත් බුද්ධ චරිතය අපට පෙන්වා දෙයි. මෙතෙක් ලෝකයේ කිසි කෙනෙකු විසින් ඉදිරිපත් නොකළ ලෝකයේ යථාස්වභාවය පැහැදිලි කරන සත්‍ය ධර්මයක් ම බුදුරදුහු ඉදිරිපත් කළහ. බුදුරදුහු සොයාගත් ඒ ධර්මය, සත්‍යය සොයන අයට මඟපෙන්වීමක් බවත්, එම සත්‍යය අවබෝධය ඒ ඒ පුද්ගලයා සතු බවත් බුදුරදුහු අවධාරණය කළහ.

ධර්මය අවබෝධ කළ හැකි පුද්ගලයින් වර්ග තුනකට බෙදා දක්වා ඇත. එනම් උග්ඝටිතඤ්ඤු, විපංචිතඤ්ඤු, නෙය්‍ය යනුවෙනි. ධර්මය අවබෝධකර ගැනීමට උපතින්ම ලබන ජාති ප්‍රඥාවෙන් යුක්ත අයෙකු විය යුතු ය. එනම් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකින් උපත ලබා තිබිය යුතු ය. අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල් සිතකින් කරන ලද පුණ්‍ය ක්‍රියාවක් සිහිපත් වීමෙන් ලබන උපත ත්‍රිහේතුක ප්‍රතිසන්ධියයි. මෙහිදී කරන පින කිසියම් ලාභයක්, කීර්තියක්, ප්‍රශංසාවක් හෝ වෙනත් කිසියම් බලාපොරොත්තුවක් ඇතිව කරන්නක් නොවිය යුතු ය. එවිට එය අලෝභ සිතකින් සිදුවූවකි.

එමෙන් ම අප කරන පින්කම්වල දී තරහක්, ක්‍රෝධයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් නොමැති ව අනිත් තැනැත්තාට වඩා ඉහළින් කිරීමේ සිතිවිල්ලකින් තොරව සිදුකරනවා නම් එය අදෝස ය. එමෙන් ම තමා කරන පුණ්‍ය කර්මයෙහි වටිනාකම තේරුම් ගෙන ඒ අනුව සිතා බලා ප්‍රඥාවෙන් යුක්තව සිදු කරනු ලබන්නක් නම් එය අමෝහයයි. මේ අයුරින්, අලෝභ, අදෝස, අමෝහ චේතනාවලින් සිදු කරනු ලබන කාර්යය ත්‍රිහේතුක කුසල කර්මයකි. මරණාසන්න අවස්ථාවේ දී මේ ත්‍රිහේතුක කුසල කර්මයන් අරමුණු වී ලබන උපත ත්‍රිහේතුක ප්‍රතිසන්ධියයි. ත්‍රිහේතු ක ප්‍රතිසන්ධියකින් උපත ලැබුවා යන්නෙන් අදහස් වන්නේ ජාති ප්‍රඥාවෙන් යුක්තව උත්පත්තිය ලැබුවා යන්නයි. මොවුහු සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනා ගුණයෙන් යුක්තය. උග්ඝටිතඤ්ඤු යනු යම් දෙයක් ඉතාම කෙටියෙන් ඇසුවත් එය දහසක් නයින් වටහා ගැනීමේ ශක්තියෙන් යුක්තය යන්නයි. උදේ පාන්දර ඉර එළිය වැටුණු මොහොතේ ම පිබිදෙන නෙළුම් මලක් මෙනි. අපේ ශාසනයෙහි බාහිය දාරුචීරිය යනු බුදුරදුන් විසින් කෙටියෙන් දෙසූ දහම් අසා එය දහසක් නයින් ක්ෂණිකව අවබෝධකරගෙන නිවන් ලැබූ අයෙකි. කෝලිත උපතිස්ස පරිබ්‍රාජක දෙපළ ද මේ උතුම් ප්‍රඥාවන්ත ගුණයෙන් යුක්තව දහසක් නයින් ධර්මය අවබෝධකරගෙන සැරියුත් මුගලන් නමින් මේ ශාසනය ශෝභමානවත් කළ උතුමන් දෙපළකි.

ධර්මය අවබෝධ කර ගැනීමෙහිලා ඊළඟට අයත්වන පිරිස විපංචිතඤ්ඤු යනුවෙන් දහමෙහි දක්වා ඇත. මොවුහු තරමක් ප්‍රමාද වී සත්‍යය අවබෝධ කර ගනිති. සූත්‍රයක්, දෙකක්, තුනක් ඇසීම තුළින් සත්‍ය දකිති. වතුරෙන් උඩට අඩක් මතු වී ඇති නෙළුම් මල ඉර උදාවී ටික වේලාවකින් පිපෙන්නාක් මෙනි.

තුන්වැනි කණ්ඩායම ලෙස ධර්මයෙහි දැක්වෙන්නේ නෙය්‍ය නැමැති ප්‍රඥාවන්ත පිරිසයි. සූත්‍රයක් දෙකක් ඇසීමෙන් නොව අවුරුද්දක්, දෙකක් හෝ ඊට වැඩි කාලයක් හෝ ගත වීම තුළින් බණ ඇසීම, සාකච්ඡා කිරීම, ප්‍රශ්න ඇසීම්, භාවනා කිරීම් ආදී ක්‍රියා කාරකම් තුළින් කලක් ගත වී ධර්මය අවබෝධ කරගන්නා පිරිස මෙම කණ්ඩායමට අයත් වෙති. වීර්යවන්තව, අභියෝගවලට මුහුණ දෙමින් ක්‍රියා කරන පිරිසක් වන මොවුහු අවසානයෙහි එහි ප්‍රතිඵලයක් ලෙස විමුක්තිය ලබති. ‘නෙය්‍ය’ නමැති මෙම පිරිස උපමාවකින් දක්වා ඇත්තේ වතුරෙන් උඩට මතු වීමට ඉතා ආසන්නව ඇති නෙළුම් පොහොට්ටුව ඉරඑළිය වැටීමෙන් පසු පිපෙන බවයි. පිපීම සඳහා වතුරෙන් උඩට මතුවන තෙක් බලාසිටීමට සිදුවේ.

මොනතරම් උත්සාහ කළ ද නිවන් අවබෝධ කරගත නොහැකි පිරිසක් ගැන ද ධර්මයෙහි සඳහන් ව ඇත. ඒ අය හඳුන්වා ඇත්තේ ‘පද පරම’ යන නමිනි. වතුර තුළ ඇති නෙළුම් පොහොට්ටුව වතුරින් උඩට මතු වන්නට පෙර ම මාළුන් හා කැස්බෑවුන් විසින් කා දමා විනාශ කරනු ඇත. වතුරෙන් උඩට මතු වී පිපීමේ අවස්ථාව නෙළුම් පොහොට්ටුවට අහිමි වනු ඇත.

බුදුදහමෙන් පෙන්නුම් කරන සත්‍යය අවබෝධ කරගත හැක්කේ නිදහස්ව සිතීමෙනි. කාලාම සූත්‍රය තුළින් පෙන්නුම් කර ඇති ආකාරයේ නිදහස් චින්තනයක් වෙනත් කිසිම ආගමක දක්නට නැත. කිසිම දේකට ගැති නොවී සත්‍යය දැකීම බුදුදහමේ අරමුණයි. බුදුදහමෙන් පෙන්නුම් කළේ ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි හා ක්‍රියාකාරකම් තුළින් ඉවත්වන ලෙසත්, අලෝභ, අදෝස, අමෝහ සිතිවිලි හා ක්‍රියාකාරකම් තම ජීවිතයට සම්බන්ධ කරගන්නා ලෙසත් ය. බුදුදහමෙහි වටිනාකම තේරුම් ගත හැක්කේ එය තම ජීවිතය තුළින් ක්‍රියාත්මක කිරීමෙනි. ධර්මය බබළන්නේ එය විවෘත වූ පමණට බව බුදුරදුහු පෙන්වා දුන්හ. ධර්මය වැසී ඇතිනම් ක්‍රියාත්මක වීමක් තැනිනම් එහි බැබළීමක් නැත.

මොනතරම් බණ ඇසුවත්, ධර්ම සාකච්ඡා කළත්, බණ පොත් කියෙව්වත් එය ජීවිතය තුළින් දැකගත නොහැකිනම්, ධර්මයෙන් ලැබිය යුතු ඵලය, වටිනාකම අපලබා නොමැත. බුදුහාමුදුරුවන්ගේ මඟ පෙන්වීම අනුව අසහනයට, වේදනාවට ශෝකයට, ඇඬිමට පත් පටාචාරා , කිසාගෝතමී, රජ්ජුමාලා, වැනි අය මොනතරම් සුවයක්, සැනසිල්ලක්, එදා ධර්මය තුළින් ලැබුවා ද? අපේ ජීවිත තුළත් මෙබඳු වේදනාත්මක අවස්ථාවන්ට අප මොනතරම් මුහුණ දෙනවා ද? මොනතරම් ජීවිත අකාලයේ විනාශකරගන්නවා ද? මෙය තේරුම්ගෙන බුදුරදුන් දේශනා කළ සත්‍ය ධර්මය ගැන සිතා ඒ ධර්ම කරුණු තුළින් අපට සැනසීමක් ලබා ගත හැකි නම්, එය අප ලබන උතුම් භාග්‍යයක් වනු ඇත.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]