UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සුගති ගමන - 20 : කෙලෙස් බලවත් කාලයේ සිදුවන සප්ත අන්තඞකල්ප විනාශය

සුගති ගමන - 20 :

කෙලෙස් බලවත් කාලයේ සිදුවන සප්ත අන්තඞකල්ප විනාශය

ඔබ අසා ඇති පරිදි බුද්ධ ශාසනය අවුරුදු පන්දහසක් කල් ලොව පවතිනවා. බුද්ධ අධිෂ්ඨානයට අනුව බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේ අවුරුදු පන්දහසක් යන තුරා ලොව පවතිනවා. එසේනම්, තවත් අවුරුදු දෙදාස් පන්සියයක් අනාගතයට සිතුවොත්, තවත් අවුරුදු පනහක් මෙසේම මිනිස් ආයුෂ අඩුවෙවී ගියොත්, හැත්තෑවේ ආයුෂ අවුරුදු විස්සට අඩු වෙනවා. එසේනම්, බුදුන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු පන්දහසක් වෙද්දී , ධාතු පරිනිර්වාණය සිදු වෙද්දී, සිරිපා සටහන් ලොවෙන් මැකී යද්දී, බුද්ධ අධිෂ්ඨානය අවසන් වෙන කාලයේ අනාගතයේ මිනිස් ආයුෂ අවුරුදු විස්සට පමණ පිරිහෙනවා. මේ විස්තර සඳහන් වෙන්නේ දීඝ නිකායේ චක්කවත්තී සීහ නාද සූත්‍රයේ ය.

බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ‘ මහණෙනි, හතරවන අන්තඞකල්පයේ ආයුෂ පිරිහී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු දහයට අඩුවන කාලයේ මනුස්ස ස්වරූපයෙන් සිටින්නේ දිවියන්, සුනඛයන්, බළලුන් ආදී තිරිසන් සතුන්ටත් අන්ත පිරිසක්. ඒ තරමට ම විකෘති රාගය, විකෘති ද්වේශය, විකෘති මෝහය බලවත් වෙලා. ඒ නිසා සත්ත්වයන්ගේ කෙලෙස් බලවත් වීම තුළ, අකුසල් බලවත් වීම තුළ හතරවන අන්තඞකල්ප විනාශය ධර්මයේ පෙන්වන්නේ සප්ත අන්තඞකල්ප විනාශයක් ලෙස යි. සප්ත යනු තියුණු ආයුධ යි. මිනිසුන් ආයුධ වලින් මරාගෙන ලොව ම ලෙයින් තෙත්ව විනාශ වන කාලයක්. මෙලෙස අන්තඞකල්පය ළඟාවන විට මෘග සංඥා පහළ වෙනවා. මෘග සං වර්ෂාවන් ඇති වෙනවා. එක දිගට ඇද හැලෙන මහා වර්ෂාවත් සමඟ මිනිසුන් සත්තු වගේ විකෘති වෙනවා. ලේ පිපාසිත ආසාවන් ඔවුන් තුළ ගොඩ නැඟෙනවා. ඒ නිසා එකිනෙකා දකින විට ම ලේ පිපාසයෙන් පන්න පන්නා මරාගන්නා කාලයක් ලොවේ ඇති වෙනවා. මවුපියෝ දරුවන් පසු පස පන්නනවා. දරුවෝ මවුපියන් ලුහු බඳිනවා. සහෝදරයන් සහෝදරයන් පසුපස , ස්වාමියා ,බිරිඳ, දරුවෝ එකිනෙකා මරාගෙන දින හතක් ගත වෙද්දී මුළු ලොව ම ලේ විලක් බවට පත් ව අවසන් වෙනවා.

බුදුන් වහන්සේ වදාළේ, ‘මහණෙනි, තනි තනියෙන් කැලෑවල සැඟවුණු පිරිස පමණක් බේරෙනවා. දෙන්නෙක් එකට සැඟවුණොත් , එක් අයකුට අනෙක් කෙනා මරණ සිතිවිලි පහළ වෙනවා. ඒ නිසා තනි තනියෙන් සැඟවුණු පිරිස පමණක් බේරිලා, අනාගතයේ ලොවම ලේ විලක් වෙලා අවසන් වෙනවා’ එසේනම්, අප ජීවත් වන්නේ හතරවන අන්තඞකල්ප විනාශය ළඟ ළඟ ම පෙනි පෙනී පවතින යුගයක යි.

‘බුදුන් වහන්සේ පෙන්වා වදාළේ, මෘගසං වර්ෂාව අවසන් වූ පසුව කැලයේ සැඟවුණු පිරිස එළියට පැමිණ ගම් නියම් ගම්වලට යනවා. එහි දී ඔවුන්ට සෑම තැනම ලේ විලක් බවට පත්ව ඇති දසුන පෙනෙනවා. එහි දී ඔවුන් අඬන්න, වැළපෙන්න පටන් ගන්නවා. අහෝ ! අපේ ඥාතීන්ට වූ දේ, අහෝ ! අපේ මව්පියන්ට, සහෝදරයන්ට වූ විපත?

අවසානයේ ඉතිරිවූ සුළු පිරිස තීරණය කරනවා, මේ විනාශය සිදු වුණේ අකුසල් කර්ම නිසා, දුස්ශීලකම් නිසා අපේ ඥාතීන් වැනසුණා. ඒ නිසා ඉතිරි පිරිස , මින් ඉදිරියට ‘අපි ප්‍රාණඝාතයෙන් වළකිමු’ යනුවෙන් පොරොන්දුවකට පැමිණෙනවා. පිරිහී ගිය ආයුෂ ඒ නිසා ම අවුරුදු දහයකින් වැඩි වෙනවා. එනම්, පරම්පරාවෙන් පරම්පරාවට අවුරුදු විස්ස දක්වා වැඩි වෙනවා. ඊළඟට ඔවුන් සොරකමෙන් වළකින්න උත්සාහ කරනවා. ඒ පිරිස තමන් විසින් ම නීතියක් පනවා ගනිමින් සොරකමින් වළකිනවා. එවිට අවුරුදු විස්සේ ආයුෂ ටිකෙන් ටික වැඩිවෙලා අවුරුදු හතළිහ දක්වා වැඩි වෙනවා. ඊළඟට ඔවුන් වැරැදි කාම සේවනයෙන් වළකිනවා. අවුරුදු හතළිහේ ආයුෂ පරම්පරාවෙන් පරම්පරාවට අවුරුදු අසූව දක්වා වැඩි වෙනවා. මෙසේ ගුණ ධර්ම පිරීම නිසා ම, එකින් එක යහපත් ජීවිත ගත කිරීම නිසා නැවත ආයුෂ වැඩිවෙලා, වැඩිවීගෙන යන්නේ පස්වන අන්තඞකල්පය දක්වා යි.

මෙලෙස අවුරුදු අසංඛ්‍යෙයට වැඩිවන කාලයක් එනවා. එහෙම වැඩිවුණු ආයුෂ නැවත ටිකෙන් ටික පිරිහෙන්න පටන් ගන්නවා. එලෙස පිරිහුණු ආයුෂ අවුරුදු ලක්ෂයටම අඩුවෙලා එතැන් සිට ම ආයුෂ පිරිහෙනවා. මෙසේ මනු ලොව මිනිස් ආයුෂ අවුරුදු අසූ දාහ දක්වා අඩුවන විට ලෝකය පාලනය කරන්නේ ‘සංඛ’ නම් සක්විති රජ කෙනෙක්.

මේ ලෝකයේ දහස් ගණන් ආයුෂ ඇති කාලවල මනුස්සයන්, මෙවැනි ශරීර, මෙවැනි පරිසරයක් ගැන දේශනාවල සඳහන් වෙනවා. දීර්ඝ ආයුෂ ඇති කාලවල ලෝකයේ සක්විති රජවරු පහළ වෙනවා. ලෝකයේ මිනිස්සු ගුණ ධර්ම පුරනවා. ලෝකෙම මිනිසුන් සිල් රකිනවා. සක්විති රජවරු අහසෙන් පැමිණ ලෝකය පාලනය කරනවා. දෙවියන් දිව්‍ය සේනාව පිරිවරාගෙන වඩිනවා වගේ සක්විති රජවරු සිව්රඟ සේනාව පිරිවරාගෙන අහසින් ගමන් කරනවා. එවිට අපට පෙනෙනවා මේ මනු ලොවත් දෙව් ලොවක් වගේ ම සැප බහුල කාලයක්.

දේශනාවේ සඳහන් සේ ‘මහණෙනි, දීර්ඝ ආයුෂ පවතින විට මනුස්ස ලෝක දිව්‍ය ලෝකවලට වඩා සැප බහුල යි කියනවා. ඇතැම් කාමාවචර දෙවිවරු මනුලොව සිත පිහිටුවන්න උත්සාහ කරනවා. මේ කාලේ අපට දිව්‍ය ලෝකයට වඩා මනුස්ස ලෝකය හොඳ බව සිතනවා. ඒ තරමට මනුස්ස ලෝකයේ සැප බහුල වෙනවා, දීර්ඝ ආයුෂ පවතින කාලවල දී.

ඒ වගේ ම බුදුන් වහන්සේ පෙන්වා වදාළේ ‘මහණෙනි, මිනිස් ආයුෂ පිරිහිලා අවුරුදු සීයයෙන් පහළට ආයුෂ පිරිහෙන විට මනුස්ස ලෝක අපායවලට වඩා අන්ත වෙනවා. අපාය හා සම වෙනවා. ඒ නිසා අපට පෙනෙනවා, අප ජීවත්වන ලෝකය මිනිස් ආයුෂ අවුරුදු සියයෙන් පහළට පිරිහුණු අපාය වගේ කෙලෙස් බලවත් වූ යුගයක් බව. එවැනි මනුස්ස ලෝකයක සිටිනා අපට අවුරුදු දහස් ගණන් ආයුෂ ඇති කාල ගැන සිතාගන්නවත් බැහැ.

අසංඛ්‍යෙය දක්වා ආයුෂ අඩුවෙලා අවුරුදු අසූදාහ වෙද්දී පස්වන අන්තඞකල්පයේ ‘සංඛ’ සක්විති රජතුමා මුළු ලෝකය ම පංච ශීලය තුළ පිහිටුවනවා. එතුමාට කිසිම ආයුධයක් , දඬු මුඟුරු, දඬුවම්, දැඩි නීති නැහැ. ලෝකයට ම පන්සිල් වලින් අනුශාසනා කරමින් අහසින් ගමන් කරනවා. ඒ කාලයේ ‘සංඛ’ සක්විති රජතුමාට ‘සුබ්‍රහ්ම’ නමින් අග්‍ර පුරෝහිත බමුණෙක් සිටිනවා. මේ බමුණාගේ බිරිය ‘බ්‍රහ්මවතී’ දේවිය යි. මේ දෙදෙනාට උපත ලබන පින්බර පුතණුවන් ලෙස මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලොව පහළ වෙනවා.

පස්වන අන්තඞකල්පයේ මිනිසුන්ගේ ආයුෂ අසංඛ්‍යෙයේ සිට අසූදාහ දක්වා අඩුවෙද්දී මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ පහළ වීම ගැන ධර්මයේ තවද මෙසේ සඳහන් වෙයි. මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවුරුදු දහඅට දහසක් ගිහි ජීවිතය ගත කරනවා. සතර පෙරනිමිති දකින්නේ සක්‍ර දෙවියන්ගේ මැදිහත්වීමෙන්. එවිට තමන්ගේ ‘ඡන්දවතී’ නම් බිසව ‘බ්‍රහ්මවර්ධන’ නම් පුතු බිහිකරන දවසේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනවා. නමුත්, ගෞතම බෝසතාණන් වහන්සේ වගේ මාළිඟා අතහැර කැලයකට යන්නේ නැහැ. අන්ත දුක් විඳින්නේ නැහැ. දීර්ඝ ආයුෂ ඇති කාලවල බෝසතාණන් වහන්සේ ධර්මාවබෝධය කරන්න දුෂ්කර ක්‍රියා කරන්නේ ඉතාමත් ම සුළු කාලයක්.

මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන්නේ මාලිඟාවේ දී ම කාමයන්ගෙන් වෙන්වෙලා. උන්වහන්සේ මාලිඟාවේ උඩුමහල් තලයට වැඩමකර සතියක් දුෂ්කර ක්‍රියා කරනවා. එය අවසන්වන වෙසක් පුන් පොහෝ දිනයේ තමන් වහන්සේගේ ගිහි කල බිරිය වන ‘ඡන්දවතී’ දේවිය කිරිපිඬු ගෙනවිත්, උඩුමහල් තලයේ වැඩ සිටින බෝසතාණන් වහන්සේට පූජා කරනවා. ඒ දානය වළඳා අවසන් වෙද්දී ම මහා බ්‍රහ්ම දෙවියන් අහසින් පැමිණ අටපිරිකර පූජා කරනවා. ඒ සිවුරු පිරිකර දරාගත් මෛත්‍රී බෝසතාණෝ, කෙස් වැටිය කපා අහසට විසි කර, අහසින් ම බෝ මුලට වැඩම කරනවා.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]