UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු ගුණමහිම: සම්මා සම්බුද්ධ නම් වන සේක

වප් පුර පසළොස්වක පෝදා සිට සතර පෝයට ම කොටස් වශයෙන් පළවන නව අරහාදී සම්බුදු ගුණ මුල් කරගත් දම් දෙසුම ලිපි මාලාව අංක – 30

සම්මා සම්බුද්ධ නම් වන සේක

මාර්ගාංග අට ම පහළ වෙන්නේ සෝවාන් ආදී මාර්ගඵලවලදී, පමණයි. අපට අංග අට ම එකවර පහළ වෙන්නේ නෑ. පහළ වෙන්නේ ප්‍රධාන වශයෙන් අංග පහ යි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග පහ. ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක් නම් ඔය අංග පහ අනිවාර්යයෙන් පහළ වෙනවා. නමුත් අපි යහපත් වචන කතා කරන කොට සම්මා වාචා පහළ වෙනවා. යහපත් ක්‍රියාවේ යෙදෙන කොට සම්මා කම්මන්ත, යහපත්ව ජීවත් වෙනකොට සම්මා ආජීව එතකොට ඒවා ඒ මාර්ග අංග තුන ‘අනියත යෝගී’ නියත වශයෙන් යෙදෙන්නේ නෑ. අවස්ථානුකූලව තමයි යෙදෙන්නේ. තථාගත බුදුපියාණන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා ආර්ය අෂ්ඨාංගික මාර්ගය මනාව භාවිත කළ බැවින්, බහුලීකෘත කළ බැවින්, අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ කියා කියනවා. දැන් ඒ සම්මා සම්බුද්ධ ගුණයේ අවසාන පාඨය සංඛාර, විකාර, ලක්ඛණ, පඤ්ඤත්ති නිබ්බාණ යන පංචවිධ නෙය්‍යමණ්ඩලය පරෝපදේශකයින් තොරව මනාව අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ කියනවා. සංඛාර කියන්නේ සංස්කාර. ධර්ම විකාර කියන්නේ විකාර බවට පත්වන දේවල්. ලක්ඛණ කියන්නේ ලක්ෂණ ධර්ම, පඤ්ඤත්ති කියන්නේ නාම සම්මුති ආදි පඤ්ඤත්ති ධර්ම, නිබ්බාණ කියන්නේ නිවන. මේ පංචවිධ නෙයියමණ්ඩලය කියන්නේ දැන ගත යුතු කාරණා පර උපදේශකයකින් තොරව අපේ බුදුරජාණන් වහන්සේ බෝ මැඬදී අවබෝධ කරගත් නිසා තමයි සම්මා සම්බුද්ධ කියා කියන්නේ.

බුදුරජාණන් වහන්සේ සිත වටහාගත්තා. මෙකක්ද සිත කියා කියන්නේ “ආරම්මණෙ චින්තේතීති චිත්තං’

අරමුණු සිතන බැවින්, ‘විජානන ලක්ඛණං’ අරමුණු දැනගන්නා බැවින් සිත කියා කියනවා. කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත්, කුසල් සිත්, අකුසල් සිත්, විපාක සිත්, ක්‍රියා සිත්, මහග්ගත ලෝකෝත්තර සිත්, පරිත්ත සිත්, අප්පමාණ සිත් මෙලෙස සිත් බෙද බෙදා වර්ග කරන්න පුළුවන්. ඊළඟට සිතක් එක්ක උපදින ධර්ම, සිතිවිලි සිතෙහි පවතින ධර්මවලටයි චෛතසික කියා කියන්නේ. සිත සමඟ යෙදෙන ධර්ම වලට කියන්නේ චෛතසික කියලා. චෛතසිකවලට අපි කියනවා සිතිවිලි.අකුසල් සිතක ඇතිවන සිතිවිලි මොනවා ද? ඔය සිතිවිලි සියල්ලක්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. කවුරුත් උන්වහන්සේට ඉගැන්නුවේ නෑ. උන්වහන්සේ සර්වඥතා ඥානය සමඟයි ඔය සිතයි සිතිවිලි සියල්ල අවබෝධ කරගත්තේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ඕලාරික රූප සහිත කර්මජ රූප වටහාගත්තා. ඇස කියන්නේ මොකක් ද? ඇස සකස්වෙලා තියෙන්නේ මොනවයින් ද? ඇස කියන කොට ඇස සකස්වෙලා තියෙන්නේ කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන හේතු 04 ක්. අතීත කර්මයෙන් හටගත්තා වු මේ අස් කර්ම දෝෂයක් නිසා සමහර අයට ඉපදෙනකොට ඇස් දෙක අන්ධ වෙනවා. ඒක කර්ම දෝෂයක්. එහෙමනම් අපට මේ හොඳ පියවි ඇස් දෙකක් ලැබිලා තියෙන්නෙ. පෙර සසරේ කරගත්ත කුසල කර්මයක විපාක වශයෙන්.

සිතෙන් හටගන්න රූප ඇහේ තියෙනවා. ඍතුවෙන් හටගන්න රූප ඇසේ තියෙනවා .ආහාරවලින් හටගන්න රූප අහේ තියෙනවා. කනත් එහෙමයි. නාසය දිව ප්‍රසාද සියල්ලම ඒවාගේ බුදුරජාණන් වහන්සේ මේ කියන කර්මජ රූප නිෂ්පන්න රූප සියල්ලක් සර්වඥතා ඤාණයෙන් අවබෝධ කරගත්තා. ඒ නිසා අපි කියන්නේ සංඛාර කියන ඤෙයිය මණ්ඩලය අවබෝධ කරගත්තා. ඊළඟට විකාර කියා කියනවා. රූප පහක් මොනවද කාය විඤ්ඤත්ති, වචී විඤ්ඤත්ති ලුහුතා, මුදුතා කම්මඤ්ඤතා මේ රූප පහට කියන්නේ විකාර රූප කියලයි. කයින් වන ක්‍රියාව තමයි කාය විඤ්ඤත්ති , කොහොමද කාය විඤ්ඤත්ති තෝරාගන්නේ? මේ අතපය එහෙට මෙහෙට ක්‍රියාකරල ක්‍රියාවෙනකොට තමයි කාය විඤ්ඤත්ති උපදින්නෙ. වචී විඤ්ඤත්ති රූපය කියන්නෙ මොකක් ද? වචන පිටවීම. දැන් මට සිතක් පහළ වෙනවා බණ පදයක් දේශනා කරන්න ඕන කියා. ඒ අනුව දැන් කුසල් සිත පහළ ව, කුසල් සිත සමඟ උපදිනවා චිත්තජ රූප පඨවි ධාතු අධිකව. ඒ කියන්නේ මේ තද රළු ගතිය අධිකව. ඒ පඨවි ධාතුව උගුරේදී කර්මජ පඨවිය සමඟ හැප්පෙනවා. කර්මජ පඨවිවල හැප්පිලා තමයි මේ වචන පිටවෙන්නේ. ඊළඟට කාය විඤ්ඤත්ති, වචී විඤ්ඤත්ති ඇතිවෙන කොට මට පැටලිල්ලක් නැතුව එක දිගට වචන එන්නේ ලහුතා. මුදුතා කම්මඤ්ඤතා නිසා. දැන් අපි අතින් පයින් එක දිගටම වැඩකරනකොට වැඩකරගෙන යන්නේ රූපයේ තිබෙන මෘදු බව, සැහැල්ලු බව, දක්ෂ බව නිසයි. එතකොට මේ කියන රූප පහ ට අප කියන්නෙ විකාර රූප කියා. එතකොට බුදුපියාණන් වහන්සේ ඔය කියන විකාර රූපයෙන් කිසිම කෙනෙකුගේ උදව් උපකාරයක් නැතිව මනාව අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධයි.

ඊළඟට ලක්ඛණ, ලක්ඛණ රූප 04 ක්. උපචය , සන්තති, ජරතා, අනිච්චතා, උපචය කියා කියන්නේ මේ කර්මජ රූපයේ මුල් හට ගැනීමට. ප්‍රතිසන්ධි අවස්ථාවේ කර්මජ රූපයේ මුල් හට ගැනීමට කියන්නේ උපචය අවස්ථාව කියා. සන්තති ,ජරතා අනිච්චතා කියා කියන්නේ සෑම රූප කලාපයකම උප්පාද අවස්ථාව, ඨිති අවස්ථාව හා භංග අවස්ථාව. හැම රූපයකම හට ගැනීම සන්තති, පැවතීම ජරතා නැති වීම අනිත්‍යතා. මේ සෑම රූප කලාපයකම රූප හට ගැනීමක් තියෙනවා. රූපයක් හට අරගෙන චිත්තක්ෂණ 17 ක් මේ රූපයේ ජීවත්වෙනවා. 17 කින් පස්සේ තමයි මේ රූපය භංග වෙන්නෙ. මේ අවස්ථාව තමයි ලක්ඛණ රූප කියා කියන්නේ. තථාගතයන් වහන්සේ කිසිම කෙනෙකුගේ උදව්වක් උපකාරයක් නැතිව ඔය කියන, ලක්ඛණ මනාව අවබෝධ කරගත්ත නිසා කියන්නේ සම්මා සම්බුද්ධ කියලයි. ඊළඟට නිර්වාණය.

නිර්වාණය ලැබීමට අවස්ථා 3 ක් තියෙනවා

ශුන්‍යත විමෝක්ෂ වශයෙන්

අනිමිත්ත විමෝක්ෂ වශයෙන්

අප්පණිහීත විමෝක්ෂ වශයෙන්

යම් කිසියෝගාවචරයෙක් විදර්ශනා භාවනාවේ යෙදෙනවා. විදර්ශනා යෙදෙන ගමනේ දී එය අනිත්‍ය වශයෙන් මේ නාම රූපයන් විදර්ශනා කරගෙන ගිහිල්ලා. නිවනට පත්වෙනවා මෙන්ම අනිමිත්ත විමෝක්ෂයෙන් තමයි නිවන් දකින්නෙ. එතකොට දැන් අනිත්‍ය වශයෙන් දැක දැක ගිහිල්ලා ඒ සෝවාන් මාර්ග ඤාණය ලබනවා නම් ලබන්නේ. අනිමිත්ත විමෝක්ෂයෙන්, ඊළඟට යම් යෝගාවචරයෙක් දුක්ඛ වශයෙන් වඩාගෙන ගිහිල්ලා ඒ මාර්ගය සෝවාන් මාර්ගය ලබනවා නම් ලබන්නේ අප්පණිහිත විමෝක්ෂය වශයෙන්, ඊළඟට යම්කිසි යෝගාවචරයෙක් මේ නාමරූපයන් අනාත්ම වශයෙන් වඩ වඩා ගිහිල්ලා සෝවාන් මාර්ගය ලබනවා නම් ලබන්නේ ශූන්‍ය විමෝක්ෂයෙන් එහෙනම් අනිමිත්ත විමෝක්ෂයෙන් නිවන් දැකීම, ශුන්‍ය විමෝක්ෂයෙන් නිවන් දැකීම, අප්පණිහිත විමෝක්ෂයෙන් නිවන් දැකීම කියන මේ නිර්වාණ ස්වභාවය තථාගතයන් වහන්සේ කිසිම ගුරු උපදේශකයකින් තොරව අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධ කියා කියනවා .එතකොට මේ කියන පඤ්චවිධනෙය්‍ය මණ්ඩලය කිසිම කෙනෙකුගේ උදව්වක් උපකාරයකින් තොරව තථාගතයන් වහන්සේ අවබෝධ කරගත් නිසා සම්මා සම්බුද්ධයි.

ඊළඟට පඤ්ඤත්ති ,පඤ්ඤත්ති කියා කියන්නේ නාම සම්මුතිය,නාම සම්මුතිය කියා කියන්නේ අපි එක එක නම් ගම් දෙනවා. හරකා, ගෙදර, පුටු,මේස, අම්මා, කුසුමලතා ,සෝමලතා, සෝමපාල කියා නම් කියනවනේ. මේ හැමදෙයක්ම නාම සම්මුති නාම පඤ්ඤත්ති පැනවීම් පමණයි. එතකොට මේ වත් බුදුරජාණන් වහන්සේ සම්මුති වශයෙන් තේරුම් ගත්තා. මොකද වර්තමානෙ අද කතා කරනව මේසෙට මේසේ කියා. පුටුවට පුටුව කියා.

තථාගතයන් වහන්සේ අපිට කලින් දන්නවා මේසෙට කියන්නේ මේසය තමා අනාගතයේ කියා. මේකට (පුටුව) පුටුව කියා තමා අනාගතයේ දී කියන්නෙ. එතකොට තථාගතයන් වහන්සේ කල්මත්තෙන් මේ සියල්ල දැනගත්තා. එනිසා පඤ්ඤත්ති කියන න්‍යෙය මණ්ඩලය අපි වටහා ගත්තා. එහෙම නම් සම්මා සම්බුද්ධ ගුණය අපි පැහැදිලි කරද්දී “ස්වාමිනී, බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ විශිෂ්ඨත් ඤාණයෙන් අවබෝධ කරගත යුතු වූ සත්‍ය ධර්මයන් විශිෂ්ඨත් ඤාණයෙන් අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. පිරිසිඳ අවබෝධ කරගත් දුක්ඛ සත්‍ය පිරිසිඳ අවබෝධ කොට වදාළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. ප්‍රහාණය කොට වදාළ සමුදය සත්‍ය ප්‍රහාණය කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. සාක්ෂාත් කල යුතු වූ නිරෝධ සත්‍ය සාක්ෂාත් කර වදාළ බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. භාවනා වශයෙන් වැඩිය යුතු ආර්ය අෂ්ඨාංගික මාර්ගය භාවනා වශයෙන් අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වන සේක. සංඛාර, විකාර, ලක්ඛණ, පඤ්ඤප්ති, නිබ්බාන යන පංච විධ න්‍යෙය මණ්ඩලය මනාකොට අවබෝධ කරගත් බැවින් සම්මා සම්බුද්ධ නම් වූ සේක. මෙසේ සම්මා සම්බුද්ධ ගුණයෙන් සමන්නාගත වු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මාගේ ජීවිතය ද පූජා වේවා!

සාදු ! සාදු!! සාදු !!!

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]