UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහනුවර යුගයට අයත් පෙතියාගොඩ ඓතිහාසික විහාර මන්දිරය

මහනුවර යුගයට අයත් පෙතියාගොඩ ඓතිහාසික විහාර මන්දිරය

මහනුවර රාජධානි සමයට අයත් යැයි සැලකෙන පෙතියාගොඩ පුරාණ විහාරය ඓතිහාසික විහාරස්ථානයකි. විහාරස්ථානයේ දැනට පිළිසකර කිරීම්වලට ලක්ව ඇති පැරැණි විහාර මන්දිරය මහනුවර යුගයේ ඉදිකෙරුණු ටැම්පිට විහාරයකි. විසිවන සියවසේ මුල්භාගයේ දී කැලණි ගඟෙහි ආරක්ෂිත බැම්ම කැඩී යාමෙන් සිදු වු ජල ගැලීම හේතුවෙන් විහාර මන්දිරය යටවුණු අතර පොළොව මට්ටමේ සිට අඩි 10 ක් පමණ උස් ටැම් පිට විහාර මන්දිරය තනා තිබුණත් ජල ගැල්මෙන් එය යට වූ බව පැරැණි දායකයෝ සිහිපත් කරති. කෙසේ වුව ද පසුකාලීනව ටැම් වසා බැමි බැඳ විහාර මන්දිරය ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

විහාරස්ථානයේ වර්තමාන දියුණුවෙහි අඩිතාලම දමනු ලැබුයේ අපවත් වී වදාළ සීනාදි සිව් කෝරළයේ විශේෂාධිකරණ සමථ බල සම්පන්න උපප්‍රධාන සංඝනායක වටරැක ශ්‍රී ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසිනි. වර්තමාන විහාරාධිපති කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු ආචාර්ය ශාස්ත්‍රපති දොම්පේ ඉන්දසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. විහාරස්ථානයේ අභිවෘද්ධිය හා දායක දායිකාවන්ගේ කුදු මහත් අවශ්‍යතා නොපිරිහෙළා ඉටු කිරීමේ ඒකායන අරමුණෙන් උන්වහන්සේ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ධුරයට සමු දුන්හ.

විහාරස්ථානයේ පැරැණි සියලු ගොඩනැගිලි පිළිසකර කළ උන්වහන්සේ සියලු විහාරාංග බොදු ජනයාගේ සිත්සතන් ප්‍රබෝධවත් වන පරිදි නවීකරණය කළහ. මෙම කටයුතු සාර්ථකව කර ගැනීම සඳහා ශාස්ත්‍රවේදී පිටවල සුධම්ම හිමියන් ද විහාරාධිපති හිමියන්ට අති විශාල අත්වැලක් සපයයි. දායක දායිකාවන්ගේ කුදු මහත් කටයුතුවලදී මෙන් ම බෝධින් වහන්සේට ආවතේව කරමින් සුධම්ම හිමියන් මහත් වු සේවාවක් ඉටුකරන අතර රාජකීය පණ්ඩිත පන්නල සුමන හිමියන් ද ඉටු කරන්නේ අමිල මෙහෙවරකි.

පෙතියාගොඩ විහාරය ගොඩනැංවිමේ සුවිශේෂී කාර්යභාරයේ දි ඇප කැප වී ක්‍රියාකළ ප්‍රදේශවාසී බොදු ගම් ප්‍රධානීන් අතර,

සුරවීර මුහන්දිරම්ගේ දොන් අන්දිරිස් ගුණතිලක සමරනායක රාළහාමි

දොන් හෙන්ද්‍රික් සුරවීර අප්පුහාමි

දොන් ලොරෙන්සු අබේසිංහ අප්පුහාමි

ආදි ප්‍රභූන් මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර ඔවුහු මඬගල්ලේ මාහිමියන් පෙතියාගොඩ විහාරස්ථානයට වැඩමවා දන් පැන් පූජා කරමින් විහාරස්ථානය ගොඩනැංවීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළහ. මේ කාලය තුළ මඬගල්ලේ මාහිමියෝ තම ශිෂ්‍යවරයෙකු ලෙස පෙතියාගොඩ බුද්ධරක්ඛිත හිමිපැවිදිකරගත් අතර විහාරස්ථානයේ අභිවෘද්ධියට පදනම වැටෙනුයේ උන්වහන්සේගෙනි. එවකට ඉමහත් කීර්තියට පත්ව සිටි සංඝපීතෘවරුන් වු හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමි, වලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමි , රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි ආදී වියත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමඟ සමීප සබඳතා පැවැත්වීමට බුද්ධරක්ඛිත මාහිමියන්ට හැකි වී තිබේ. බුද්ධරක්ඛිත මාහිමියන්ගේ අපවත්වීමත් සමඟ පෙතියාගොඩ විහාරයේ විහාරාධිපතිත්වය හිමිවන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය ජල්තර හිමියන්ට ය. මහා ස්වාමින්ද්‍රයන් වහන්සේලා වන රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි යන මාහිමිවරු 1874 වර්ෂයේදී පෙතියාගොඩ විහාරස්ථානයේ වස් සමාදන් වී තිබේ. ජල්තර සුමන මාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු වන වටරැක උපතිස්ස මාහිමි අනතුරුව විහාරස්ථානයේ අධිපති තනතුරට පත්වන අතර උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වහන්සේලා අතර ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයා වන්නේ වටරැක ශ්‍රී සෝමාලංකාර මා හිමියන් ය. කනිෂ්ඨ ශිෂ්‍යවරයෙකු ලෙස වටරැක ශ්‍රී ඥානානන්ද මාහිමියන් සඳහන් කළ හැකි අතර සෝමාලංකාර මාහිමි පෙතියාගොඩ විහාරාධිපතිත්වයට පත්වෙද්දී ශ්‍රී ඥානානන්ද මාහිමියෝ පිලපිටිය පුරාණ විහාරයේ විහාරාධිපති ධුරයට පත් වෙති. පසුව සෝමාලංකාර මාහිමියන්ගේ අපවත්වීමෙන් පසු උන්වහන්සේ පෙතියාගොඩ විහාරයේ අධිපති ධුරයට පත්වෙති. මේ වූ කලී පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරය බැබළවූ අවිච්ඡින්න ව පැවත එන සඟ පරපුරයි.

ශ්‍රී සම්බෝධි දහම්පාසල දැයේ දරුවන්ගේ නැණ නුවණ පෑදීමේ මහඟු මෙහෙවරක නිරත වී සිටින අතර ඒ සඳහා විහාරාධිපති හිමියන්ගේ ඇප කැපවීම මහත්සේ අගය කළ යුතු ය. ධර්ම විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ධුරය දරමින් ශාස්ත්‍රවේදී පිටවල සුධම්ම හිමි ක්‍රියා කරති.

මේ අයුරින් සසුන් කෙතට, සමාජයට, දැයට අපිරිමිත මෙහෙවරක යෙදෙන කැලණිය පෙතියාගොඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරය විහාරස්ථානයක පැවතිය යුතු සකලාංගයන්ගෙන් සම්පූර්ණ වූ හෙයින් ද , අපවත් වී වදාළ වටරැක ශ්‍රී ඥානානන්ද නාහිමියන්ගේ ශත වර්ෂ පූරණ ජන්ම දිනය නිමිති කරගනිමින් ද

ගරා වැටෙමින් පැවති පැරැණි විහාර මන්දිරය ප්‍රතිසංස්කරණය කොට විවෘත කිරීමද ඊට සමගාමීව පොහොය සිමා සහිත ධාතු මන්දිරය ඉදිකොට විවෘත කිරීම ද,

කුල දරුවන් සිව් දෙනෙකු පැවිදිකිරීම ද,

දොරකඩ අස්න දේශනය හා තිස් පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනයක් ද,

සියක් නමකට අධික සංඝගත දක්ෂිණාවකින් ද යුතු පින්කම් මාලාවක් ජුනි 13 දින සිට පැවැත්වීමට විහාරාධිපති හිමියන් ප්‍රධාන විහාරස්ථ දායකකාරකාදින් සංවිධානය කොට තිබේ. මෙහි ආරාධිත අමුත්තන් ලෙස සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අග්ගමහා සද්ධම්මජෝතිකධජ ආචාර්ය නියංගොඩ ධර්ම කීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනාහිමි හා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශී‍්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රමුඛ ගිහිපැවිදි සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීමට නියමිත ය .

කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ,
ආචාර්ය සමාජයීය විද්‍යාපති,
සාමවිනිසුරු,
ඩී.එම්. සිසිර කුමාර රණවීර

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]