UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වසර 2325ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 265ක් සපිරුණු

වසර 2325ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 265ක් සපිරුණු

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ උපසම්පදාව

“විනයෝනාම සම්බුද්ධ සාසනස්ස ආයු, විනයේ ඨිතෙ සාසනං ඨිතං හොති” යනුවෙන් විනය හෙවත් උපසම්පදාව නම් සම්බුද්ධ ශාසනයේ ආයුෂයයි. විනය හෙවත් උපසම්පදාව මැනවින් පිහිටි කල්හි සම්බුද්ධ ශාසනය මැනවින් පිහිටියේ වෙයි. යනාදි වශයෙන් දැක්වෙන අයුරින් සම්බුද්ධ ශාසනය යනු උපසම්පදාවයි. උපසම්පදා භික්ෂූන් වහන්සේ නොමැති විට ශාසනයක් නොපවතියි. බුද්ධාදි මහරහතන් වහන්සේලා උපසම්පදාවට පත්වූ බව සඳහන් වහන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයත් සමගම බෝධි මූලයෙහිදීම උපසම්පදාවට පත්වීමයි.

රහතන් වහන්සේලා ඒහිභික්ෂු භාවයෙන් හා සරණාගමන ආදී අශ්ටවිධ උපසම්පදාවන්ගෙන් එකකට පත්වූ බව සඳහන් කළ හැක. ධර්මාශෝක මහරජතුමා බෞද්ධයෙක් බවට පත්වූයේ මහකෙළ නාගරාජයා විසින් මවා පෙන්වන ලද බුදුරජාණන් වහන්සේ සියැසින් දැක අසීමිත බුද්ධාලම්බන ප්‍රීතියට පත්වී මොග්ගලී පුත්තතිස්ස මහරහතහන් වහන්සේගෙන් කරුණු කාරණා දැනගෙන අසූ හාරදහසක් වෙහෙර විහාර ඉදිකොට සම්බුද්ධ සාසනය පිහිටුවීම සඳහා රටවල් 09 කට දූතයන් යවමින් ස්වකීය මිහිඳු කුමාරයා පැවිදි කොට බුද්ධ වර්ෂ 237 එකී මිහිඳු මහරහතන් වහන්සේ සමග ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන රහතන් වහන්සේලා හා සුමන සාමණේරයන් ද භණ්ඩුක උපාසක ද ලක්දිව මිහින්තලයට එවා දේවානම් පියතිස්ස රජතුමන් ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණගත උපාසකයන් බවට පත් වීමෙන් අනුරාධපුර මහා විහාර සීමාව තුළ ග්‍රාම සීමාව සම්මත කොට, සුමන සාමණේරයන් ඇතුළු එකී පිරිස පැවිදි උපසම්පදා කොට අනතුරුව දේවානම්පියතිස්ස මහරජතුමාගේ සොහොයුරු අරිට්ඨ කුමරුන් ඇතුළු රාජකීයයන් පැවිදි උපසම්පදා කොට ශ්‍රී ලංකාද්වීපයෙහි සම්බුද්ධ ශාසනය පිහිටුවීය.

මේ අයුරින් සම්බුද්ධ ශාසනය පිහිට වූ මුල්ම විහාරය අනුරාධපුරයේ මහා විහාරය යි. මෙම විහාරය මුල්කොට ආරම්භ කළ උපසම්පදාව මහා විහාර උපසම්පදාවයි. ශීලයෙහි උපරිම ශීල යැයි කියන ලද අධිශීලයට පැමිණීම හෝ එය ලැබීම උපසම්පදාව නම් වේ. පැවිද්දට උපසම්පදාව අයත් වේ. පැවිද්ද නැතිවිට උපසම්පදාව ද නැත. උපසම්පදාවට ශාසනය අයත් වේ. උපසම්පදාව නැතිවිට ශාසනය ද නැත. මුලපටන් පැවති උපසම්පදා ක්‍රම අටෙන් දැනට පවත්නේ රාධ බ්‍රාහ්මණයා මුල්කොට ආරම්භ කරණ ලද ඤත්‍ථි චතුත්‍ථකම්ම උපසම්පදාවයි. සම්බුද්ධ ශාසනය පිහිටුවීම යනු උපසම්පදාව පිහිටුවීම හෙයින් මිහිඳු මහ රහතන් වහන්සේ පළමු කොටම මහාවිහාරයත් සමගම පැවිදි උපසම්පදාව ශ්‍රී ලංකාද්වීපයේ පිහිටවූයේ මේ නිසාමය. එතැන් පටන් මහා විහාරය මෙන්ම ථූපාරාමයත් සීමාබන්ධනාදිය ද පිහිටුවමින් නන් දෙසින් පැමිණෙන පිරිස් පැවිදි උපසම්පදා කරවමින් වැඩිදියුණු කිරීමට පටන් ගති. විදේශ ආක්‍රමණ හා සිංහල රාජ්‍යයේ අභ්‍යන්තර ගැටුම් නිසා නැවතත් රාජ්‍යයේත් සම්බුද්ධ ශාසනයේත් පරිහානිය දක්නට ලැබෙන අතර, පොළොන්නරු යුගය වන විට සොළී ආක්‍රමණය නිසාම ලක්දිව සියලුම ජාතික, ආගමික, සංස්කෘතික හා ශබ්ද ශාස්ත්‍රත් අන්තපරිහානියට පත්වී උපසම්පදා විනය කර්මයට ප්‍රමාණවත් භික්ෂූන් පස්නමක් වත් සොයාගැනීමට නොහැකි වූ අවස්ථාවක මහළු විජයබා රජතුමා රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා උපසම්පදා විනය කර්මය සිදු කරවා ශාසනය වැඩිදියුණු කරන ලදී.

මහා පරාක්‍රමබාහු මහ රජතුමා නිකායත්‍රයම සමගි කරවා කතිකාවතක් ද ඇති කොට දහස්ගණන් සාමණේරයන් උපසම්පදා කරවා නැවතත් මහා විහාර උපසම්පදාව තහවුරු කරවීය. දඹදෙණි නුවර දෙවැනි පැරකුම්බා රජතුමා ශාසනයේ චිරපැවැත්ම සඳහා කතිකාවතක් ද කරවා මහවැලි ගඟ දාස්තොට දී උපසම්පදා විනය කර්මයක් ද කරවීය. යාපහුනුවර රජ පැමිණි පළමු බුවනෙකබා රජතුමා ද කුරුණෑගල 2 බුවනෙකබා රජතුමා ද උපසම්පදා විනයකර්මයන් කරවූ බවත්, ගම්පල රාජ්‍ය කරවූ 3 වන විජයබාහු රජතුමා රයිගම්පුර ආසන්නයේ විහාරාරාම කරවා ධර්මකීර්ති සංඝරාජයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනයකර්මයක් ද ගම්පොල වීරබාහු රජතුමා 4 වැනි ධර්මකීර්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ද කෝට්ටේ 6 වන පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ දී වීදාගම මෛත්‍රී, තොටගමුවේ ශ්‍රී රාහුල ආදී භික්ෂූන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ දී ද සෙංකඩගල විසූ වීරවික්‍රම රජතුමා බු.ව. 2085 දී හෙවත් රාජ්‍ය වර්ෂ 1542 දී රජගෙට දකුණු දෙසින් පාත්‍ර ධාතුන් වහන්සේ නිදන්කොට දාගැබැක් බැඳ දෙමහල් පෝයගෙයක් සාදවා පෝයමළු විහාරය ඇතුළු නානා දිසාවන් හි විහාර 86 ක් කරවූ අතර, ධර්මකීර්ති හිමියන් ප්‍රධාන කොටගෙන 355 ක් සාමණේරයන් උපසම්පදා කරවා නොයෙක් පින්කම් සිදු කළහ.

ඉන් අනතුරුව පීතෘ ඝාතක සීතාවක රාජසිංහයන් භික්ෂූන් වහන්සේ සහිත වෙහෙර විහාරත් සම්බුද්ධ ශාසනයත් වනසමින් ධර්ම පොත්පත් සියල්ලම ගිනිබත් කොට සුවිශාල විනාශයක් කළ අතර, උපසම්පදා භික්ෂූන් වහන්සේ ද සම්පූර්ණයෙන්ම විනාශයට පත් කළ බව සඳහන් වේ. රාජ්‍ය වර්ෂ 1592 දී 1 වන විමලධර්මසූරිය රජතුමා දෙල්ගමුව රජමහ විහාරයේ කුරහන්ගල යට සුරක්ෂිතව තිබූ වාම ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමවා දෙමහල් ප්‍රාසාදයක් කරවා එහි තැන්පත් කොට පුද පූජා පැවැත් වූ අතර, රක්ඛංග දේශයෙන් භික්ෂූන් ගෙන්වා ගැටඹේතොට උපසම්පදා කරවා පෝයමළු විහාරයේ වඩා හිඳුවමින් තුන් මහල් දළදා මැඳුරක් ද සෑද වී ය. සෙනරත් රජු කල පරංගීන් පැමිණ දළදා මාලිගාව ද විනාශ කළ අතර, මැදමහනුවර ආදී නොයෙක් ස්ථානවල දළදා වහන්සේ සඟවා සුරක්ෂිත කරගනිමින් නැවතත් 2 වන විමලධර්මසූරිය රජතුමා දළදා මාලිගාව තුන් මහල් සේ සාදවා දළදා වහන්සේ වඩා හිඳුවා රක්ඛංග දේශයෙන් උපසම්පදාව ගෙන්වා ගැටඹේතොට දී 33 නමක් උපසම්පදා කරවා පෝයමළු විහාරයෙහි වාසයට සැලැස්වූහ. ඔහුගේ පුත් වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතෙමේ ආගමික ශාසනික කටයුතු දියුණු කරනුයේ වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය සේවය දියුණු කරලමින් සාරාර්ථසංග්‍රහය, මහාබෝධි වංශය, භෛෂජ්‍ය මංජුසාව ද සකස් කිරීමට මහෝපකාරී විය.

අනතුරුව විජය රාජසිංහ රජතෙමේ ශාසනික කටයුතු දියුණු කරලමින් සරණංකර සාමණේරයන් වහන්සේට ආරාධනා කොට සතර බණවර සන්නය ද ලියවමින් ධර්ම ශාස්ත්‍රීය කටයුතු දියුණු කිරීමට උපකාරී වූ අතර, සම්බුද්ධ ශාසනය ආරක්ෂා වීමට නම් උපසම්පදා භික්ෂූන් වහන්සේ සිටිය යුතු යැයි සරණංකර හිමියන්ගේ ද උපදෙස් අනුව උපසම්පදාව ගෙනඒම සඳහා කෝට්ටේ යුගයේදී ලංකාවෙන් ගෙන ගිය උපසම්පදාව සියම්දේශයේ සුරක්ෂිතව තිබෙන හෙයින් සියම් දේශයට යවන ලද දූත පිරිස සියමෙට පැමිණ අයෝධ්‍යා පුරයෙහි පරමධාර්මික රජතුමාට පඬුරු සන්නස් සහිතව පුද කළ මොහොතේ කරුණු විචාළ රජතෙම අපමණ සතුටට පත්ව සංඝරාජ මාහිමියන් සමග සාකච්ඡා කරනුයේ ලංකා ශාසනාභිවෘද්ධි වර්ධනයම ප්‍රාර්ථනය කරමින් ධර්ම විනයානුකූලව ශාසන කෘත්‍යය සාධන සාමාර්ථය, අප්‍රමාණ ධෘති, ස්මෘති, වීර්ය සම්පන්න ප්‍රවර උපාලි මහා ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන වූ විනය කර්මාදියෙහි අති දක්ෂ 18 නමක් උපසම්පදා භික්ෂූන්වහන්සේ සහ 7නමක් සාමණේරයන් වහන්සේලා ද ඇමතිවරු 3 ක් සමග ස්වර්ණමය, බුද්ධරූපයක් ද රන් පත්ඉරුවල ලියන ලද කර්මවාක්‍ය පොත ද, ප්‍රාතිමෝක්ෂය ද ලක්දිව අවිද්‍යාමාන ධර්මප්‍රකරණද ශ්‍රී පාදස්ථානය ආදි ස්ථාන සඳහා පුදපඬුරුද කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමාට පඬුරු සහිත සන්දේශයක් රාජ්‍ය වර්ෂ 1753 දී සියම් නැවකින් සියම් පිරිස හා විල්බාගෙදර රාළ ත්‍රිකුණාමලයටද සෙසු පිරිස ඕලන්ද නැවෙන් කොළඹට ද එවීය.

කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා අපමණ සතුටට පත්ව පළමුව මහපෙරහරක් පෙරමගට යවා ගොඩපල දී වැලිවිට සරණංකර සාමණේරයන් වහන්සේ ප්‍රධාන කොට ඇති මල්වතු අස්ගිරි උභය මහා විහාරයෙහි භික්ෂූන් හා මැති ඇමැතිවරු උන්වහන්සේලා පිළිගෙන එහි නැවතී උපසම්පදා විනයකර්මය සඳහා අදාළ පෙරපුහුණූ කටයුතු සිදු කෙරිණි. ඉන් පසුව ඒ ගොඩපොල නුවරින් උන්නාන්සේලා වැඩමවාගෙන ඇවිත් අලූත් ගංතොටින් මෙගොඩ වන අවස්ථාවට මහත් වූ රාජානුභාවයෙන් ඇමති සේනා පිරිවරා ඒ අලූත්ගංතොට කරන ලද පරණ ශාලාවට කීර්ති ශ්‍රී රාජසිංහ මහා රාජෝත්තමයාණෝ වැඩමවා සක්විති රුවනක් සම්භ වුනාක් මෙන් හේ සඟරුවන් කෙරෙහි මහත් වු ගෞරව උපදවා දැක වැඳ සුවදුක් විචාරීමෙන් පිළිසඳර කථාකොට නිමවා අපමණ රාජෝත්සවයෙන් ඒ වැඩිය උපාලි මහා ස්ථවිරාධි වූ උපසම්පන්න සෑමදෙනා වහන්සේලාම යානාවලින්ම මල්වත්තේ විහාරයට වැඩමවාගෙන ඇවිත් ලැගුම්ගෙවල් පිළිගන්වා වදාළාය”යනුවෙන් සංඝරාජ සාධූ චරියාවෙහි හා ස්‍යාමෝපසම්පදා වතෙහි සඳහන් පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමා අපමණ සතුටට පත් වූයේ තමාගේ මල්වත්ත භික්ෂූන් වහන්සේ උදෙසා පූජා කරමින් භික්ෂූන් වහන්සේ උදෙසා ලැගුම්ගෙවල්ද සාදවා උන්වහන්සේලාට මල්වතු විහාරයෙහි පෝයමළු විහාරයෙහි වැඩ විසීමට සැලැස්වීය. රා.ව. 1753 ජූලි 15 දින ඇසළ පුර පුන් පොහෝදා මල්වත්තෙහි පිහිටුවා තිබූ රාජකීය ශාලාව පොහොය සීමාවක් බවට පත්කොට උපාලි මහා ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන විංශත් වර්ගික භික්ෂූන් වහන්සේ එකී පෝය සීමාවට වැඩමවා කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් ප්‍රධාන ඇමැති මණ්ඩලය සහිත සැදැහවතුන් මධ්‍යයේ පෝයමළු විහාරයෙහි නායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ සාමණේරයන් පළමු කොට ද ඒ සමගම වැලිවිට, හුලංගමුවේ ,බඹරදෙණියේ, තිබ්බටුවාවේ යන සාමණේරයන් වහන්සේලා පස් නම හා අස්ගිරි විහාරයේ නායක පදවිය දැරූ නාවින්නේ සාමණේරයන්ද උපසම්පදා කොට වර්තමාන සම්බුද්ධ ශාසනයේ ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කරලීමෙන් ශ්‍රී ලංකා ධරණිතලයම අපමණ සතුටට පත්කරලමින් මහෝත්සව පැවැත්වීය.

උපසම්පදාව පිහිටුවීමට පොහොය සීමාවක් අත්‍යවශ්‍ය වූ හෙයින් එදා මිහිඳු මා හිමියන් දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන පොහොය සීමාවක් සම්මත කළාක් මෙන්ම උපාලි මාහිමියන් ද කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන සම්මත කරන ලද මල්වතු මහා විහාරයීය උපෝෂථාගාරයෙහි අද දක්වාම වසර 265ක් මුළුල්ලෙහි මහා විහාරවංශික ස්‍යාමනිකායික භික්ෂූන් වහන්සේගේ උපසම්පදාව සිදු කරලමින් භික්ෂූන්වහන්සේ සහිත රාජාරාජ මහාමාත්‍යාදි සැදැහැවතුන්ගේ නොමද ගෞරවයට පාත්‍රව පවතී. මේ අයුරින් ආරම්භ වූ උපසම්පදාව ආරක්ෂා කර පෝෂණය කිරීම සම්බුද්ධ ශාසනයේ ආයුෂය මෙන්ම ආරක්ෂාව වන අතර, මෙම වර්ෂයේ දී ද එකී මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ උපසම්පදාව 265 වන වරටත් මහනුවර මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි 2018.මැයි 29 වන අධි පොසොන්පුර පසළොස්වක පොහෝ දින පටන් ජුනි 27 වන දිනට යෙදෙන පොසොන් පුර පසළොස්වක් පොහෝ දින තෙක් සිදු කිරීමට මහනුවර මල්වතු අස්ගිරි උභය මහා විහාරයීය අතිගෞරවාර්හ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන සානුනායක ගරුතර කාරක මහා සංඝ සභා මගින් කටයුතු සූදානම් කොට ඇති බව මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්ට ඇතුළත් මහා සංඝ රත්නය ඇතුළු සකල ලෝකවාසී සැදැහැවත් බොදු මහජනතාව වෙත සිහිපත් කරනුයේ අපමණ භක්තිය පෙරදැරිව ය.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]