UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කළ කම් පල දෙන හැටි : සිංහල සංස්කෘතික මිනිසාගේගොඩනැඟීම

08 කොටස:

ප්‍රේත ආත්මවල උපත ලබන්නෝ

මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාවට වැදගත්වන උතුම් පොහොය දිනයක් ලෙස සැලකිය හැකි ය. උන්වහන්සේ වැඩම කිරීමත් සමඟ සංස්කෘතික, ජාතික හා ආගමික වශයෙන් ලබාගත් ධර්මානුකූල අවබෝධයට අනුව, සිංහල සංස්කෘතිය ගොඩනැඟිණි.

කළ කම් පල දේ, අයහපත කළ විට අයහපත ලැබේ, යහපත කළ විට යහපත ලැබේ, දුන් දේ ලැබේ යන බෞද්ධ දාර්ශනික අදහස මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් අනතුරුව සිංහල සමාජය අනුගමනය කිරීමට පෙළඹිණි. ඛුද්ධක නිකායට අයත් පේත වත්ථු පාලිය ශ්‍රී ලාංකේය ජනතාවට මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කළ සේක. ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි සහිතව සමාජයට හානිදායක අයුරින් ජීවත් වූ පුද්ගලයන් නැවත උප්පත්තිය ලැබිෙමි දී ප්‍රේත ආත්මවල ඉපදී ඇති ආකාරය එම කතා සියල්ලෙහිම අන්තර්ගත වේ.

අකුසල් කිරීම නුසුදුසු ය. අකුසල්වලට අනුරූප විපාක ලැබේ ය. යන ධර්මානුකූල අවබෝධය ඇතිකරගැනීමත් සමඟ මිනිසුන් බොහෝ සේ සකස් විය. ධර්ම සංකල්ප නිවැරැදිව වර්ධනය වෙමින් සිංහල සංස්කෘතිය ගොඩනැඟිණි.

අධ්‍යාපන විද්‍යාවේ උගන්වන න්‍යායට අනුව, ශිෂ්‍යයා දන්නා දේ පිළිබඳ කරුණු පහදා දී ඔහු නොදන්නා කරුණු දක්වා ගමන් කිරීමේ න්‍යාය බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා තුළද අන්තර්ගතව පවතී. අයහපත් සිතිවිලි,අයහපත් වචන සමාජගත කිරීම හේතු ªකොට අයහපත් ස්ථානවල උප්පත්තිය ලබා තිබීම පේත වත්ථු කථා සියල්ලෙහිම විග්‍රහ වේ. ප්‍රේත කථාවන්හි මූලික ලක්ෂණ කිහිපයක් දක්නට ලැබේ. එනම්,

ඇතැම් පිරිසක් මරණයට පත්ව, තමා ජීවත් වූ නිවසෙහිම ප්‍රේතයන්, ප්‍රේතියන් ලෙස ජීවත් වේ.

ඇතැම් පේ‍්‍රත කොටස් තමාගේ නිවසින් පිට නිවෙස්වල ප්‍රේත ආත්මයක උප්පත්තිය ලබා ප්‍රේත ආත්මයේ අකුසලය ගෙවා දමයි.

තමාගේ ගමින් පිට නොහඳුනන ගම්වල ප්‍රේතයන් ලෙස ඉපිද අකුසල් ගෙවයි.

ඇතැම් ප්‍රේතයන් තමාගේ ගමෙහිම ප්‍රේත ආත්මයක් ලබා දුක් විඳී.

පේත වත්ථු පාලිය යන කෘතිය අධ්‍යයනය කර බලන විට එම කෘතියෙහි දක්නට ලැබෙන පේ‍්‍රත වත්ථු කථා සියල්ලෙහිම ස්වභාවය ඉහත සඳහන් ස්ථාන හතරට බෙදා දැක්විය හැකි ය.

කුසගින්දරෙන් පෙළීම, කෙතරම් ආහාර ලබාගත්ත ද, කුස නොපිරීම, කෙතරම් කෑම තිබුණ ද, ගිලගත නොහැකි වීම,. මුඛයට දා ගත්ත ද, උගුරෙන් පහළට ගමන් නොකිරීම, ආදී වශයෙන් දුක් විඳිමින් කුස පිරීමක් නැතිව සුදහගින්දරෙන් දින, සති, මාස , අවුරුදු ගණන් ජීවත් වෙති. ඇතැම් ප්‍රේතයෝ බීමට වතුර නොමැතිව පිපාසාවෙන් පෙළෙති. මුඛය හිල් වී තිබීම නිසා මුඛයට දැමූ වතුර බීමට පෙරම බිමට හැලීයයි..

ඇතැම් පිරිසක් කුසගින්නෙන් දුක් විඳී. තවත් පිරිසක් වතුර පිපාසාවෙන් දුක් විඳී. ඇතැම් ප්‍රේතයන් ඉතාම අපිරිසුදුව ජුගුප්සාජනකව ජීවත් වීම නිසාම, එම අපිරිසුදුකම ඔවුන්ට ද, දැනෙන්නේ නැත . ගව් ගණන් ඈතට දුගඳ හැමීම අනෙක් ලක්ෂණය වේ. ඔවුන් කරන ලද අකුසල කර්මය බරපතල නම්, විඳින විපාකය ද බරපතල වේ. විවිධාකාරයෙන් දුක් දොම්නස්වලට පත්වුණ කුසග්ින්නෙන් පිපාසාවෙන් පීඩා විඳින පිරිසක් ප්‍රේත ලෝකවල ජීවත් වෙති. ප්‍රේත ආත්ම ගෙවන පුද්ගලයන්ගේ ස්වභාවය එය වේ.

තමා මෙලොව ජීවත්ව සිටින කාලය පුරා යහපත් දෙය තමා සමීපයෙහි තබාගෙන අයහපත සමාජගත කිරීම හේතුවෙන් ඔවුන් ප්‍රේත ආත්ම ලබා ඇත. දුන් දෙය ලැබෙන බවත්, තබාගත් දෙය නැවත නොලැබෙන බවත් බුදුදහමේ ඉගැන්වේ. යමක් තබාගැනීමට හෝ ලැබීම පෙර පිනට සිදුවුව ද අයහපත දුන් නිසා අයහපත ලැබීම සඳහා ප්‍රේත ආත්මවල උප්පත්තිය ලබා එයට අනුරූප විපාක විඳී.

පේ‍්‍රත ආත්මයක උප්පත්තිය ලැබූ සියලුම පේ‍්‍රතයන්ට තම ඥාතීන් විසින් අනුමෝදන් කරන පින් ලබාගත නොහැකිය. ඛුප්පි පාසිත පේ‍්‍රත ආත්ම, පාන්ශු පිශාච පේ‍්‍රත ආත්ම, නිජ්ඡාම තණ්හික පේත ආත්ම , කාලකන්ජ අසුර ප්‍රේත ආත්ම, යන ප්‍රේත ආත්මවල උපන් ප්‍රේතයන්ට මෙලොවින් අනුමෝදන් කරනු ලබන පින් ලැබෙන්නේ නැත. ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බව ද, ඔවුන්ට දැනෙන්නේ නැත. පරදත්තූප ජීවි ප්‍රේත ආත්මයක පමණක් ජීවත්ව සිටින ප්‍රේතයන්ට ලේ ඥාතීන්ගේ පින් අනුමෝදන් විය හැකි බව හැඟෙයි. එම ආත්මභාවයෙහි ඉපදී සිටින ප්‍රේත පිරිස පමණක් පින් අනුමෝදන් කරගැනීම සඳහා තමාගේ ලේ ඥාතින් සොයාගෙන තමා ජීවත්වූ නිවෙස්වලට පැමිණෙන බවට බණ පොතේ සඳහන් වේ. ප්‍රේත ආත්මයක පවතින ස්වභාවය පැහැදිලි වේ.

ප්‍රේතයන් ප්‍රේතයන් අතර අරගල කරගනිති. ඇතැම් ප්‍රේතයෝ අනෙක් ප්‍රේතයන් ට පහරදී සිරුරෙහි ලේ උරා බොති. පැසවන ලද තුවාල වලින් වැගිරෙන සැරව බොමින් ඇතැම් ප්‍රේතයෝ ජීවත් වෙති. ඔවුන්ගේ ජීවිතය ඉතාම දුක්ඛිත ෙවි. දුක්ඛිත ජීවිත ගත කළ ද , කර්මයෙහි විපාක අනුව තමා දුක්ඛිත ආත්මයක් විඳින බවට හැඟීමක් නැත. එම දුක්ඛිත ආත්මයෙන් මිදිය යුතු බවට හැඟීමක් ද නැත. එය ප්‍රේතයන්ගේ ස්වභාවය වේ.

ප්‍රේත ආත්මවල උප්පත්තිය ලබා සිටින ප්‍රේතයන් මෙලොව ජීවත්වන මිනිසුනට නොපෙනීම තවත් ලක්ෂණයකි. බුදුරජාණන් වහන්සේ විසින් පේ‍්‍රතයෙකු සිටිනා බවට දේශනා කළ අවස්ථා බණ පොත්වල සඳහන්ව ඇත. බුදුරජාණන් වහන්සේට හා මහරහතන් වහන්සේලාට ප්‍රේතයන් දැක ගත හැකි වුව ද, සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන්ට ප්‍රේතයන් දක්නට ලැබෙන්නේ නැත. එසේ වුවද, මෙලොව ජීවත්වන ඥාාතියා ඉදිරියේ පෙනී සිටීමේ හැකියාව ඇතැම් ප්‍රේතයන් ට ඇත.

ඇතැම් පුද්ගලයන් මෙලොව කළ අයහපත් ක්‍රියා නිසා ගල් ප්‍රේතයන් ලෙස ද උප්පත්තිය ලබා ඇත. සාංඝික දේපළ හොරෙන් පරිශිලනය කළ පුද්ගලයන් ගල් පේ‍්‍රතයන් ලෙස උපදී. ගිහි පැවිදි දෙපාර්ශ්වයම එම සොරකමට හසු වේ. පොදු දේපළ හා රාජ්‍ය දේපළ නීත්‍යානුකූල ආකාරයට කොල්ලකෑම යන මානසික තත්ත්වයන් නිසා බරපතල අකුසල් කළ පුද්ගලයන් ඊළග භවයෙහි ගල් ප්‍රේතයන් ලෙස උප්පත්තිය ලබා බොහෝ කාලයක් දුක් විඳින බව පේත වත්ථු බණ පොතේ සඳහන්ව ඇත.

ඇතැම් පිරිස් තමාගේ ජීවිතයට සම්බන්ධ ශරීරය පවා ආහාරයට ගෙන කුස පුරවා ගනී. ඇතැම් පේ‍්‍රතයන් තමන්ගේ ශරීරයෙහි රුධිරය බී කුස පුරවා ගනී. ඇතැම් ප්‍රේතයන් තමාගේම දරුවන් ආහාරයට ගෙන කුස පුරවා ගනී. කෑම බීම හිඟකම, කෑම සොයාගෙන යාම, මනස අවුල්සහගතව කටයුතු කිරීම ප්‍රේත ආත්මයක ප්‍රධාන ලක්ෂණය වේ.

ප්‍රේත ලෝකයෙහි ස්වභාවය, ආයුකාලය, එහි උප්පත්තිය ලැබීමට හේතු වන පාපකර්ම පිළිබඳව බණ පොතෙහි දක්වා ඇත. අපේ සිංහල බෞද්ධ සංස්කෘතික සමාජය සකස් වන්නේ එම බණ කතාවලට අනුවය. එය ප්‍රේත කථා වුවද, ඒ තුළ බණ කතා සාහිත්‍යයක් ද, ගොඩනැඟුණි. එම බණ කථා සාහිත්‍ය ඇතුළත සිංහල සංස්කෘතික මිනිසා ගොඩනැඟීම සිදු වූ නිසාම අද වැනි අධි පොසොන් පුර පසළොස්වක පොහොය දිනයක ධර්ම ග්‍රන්ථයක් වන පේත වත්ථු සිහිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]