UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමි

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමි

ඓතිහාසික යුග මෙහෙවරක නිහඬව නිරතවන, සසුනඹර බබළවන මහා පහන් ටැඹකි, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ.

ජාතික, ආගමික හා සාමාජ්ක වශයෙන් සුවිසල් මෙහෙවර රැසක් නිහඬව ඉටු කරන මහා නාහිමිපාණන් වහන්සේ තෛ‍්‍රනිකායික මහ සඟරුවනෙහි මෙන් ම අන්‍ය ආගමික නායකයන්ගේ ද ඉමහත් ගෞරවාදරයට පාත්‍රව වැඩ වෙසෙන මහා යතිවරයන් වහන්සේ නමක් වෙති. දුටුවන්ගේ නෙත් සිත් පහන් කරවන නිහත මානිත්වයෙන් අනූනව වැඩ වසන මහානායක මාහිමිපාණන් වහන්සේ සසුනඹරට නිහඬව සිදු කරනුයේ ආදර්ශවත් යුග මෙහෙවරකි.

දුකට පත්වූවන්ට පිහිටවීම, අසිරිමත් බුදු සිරිතෙන් අප ලද ආදර්ශයකි. ඒ සම්බුදු සිරිතට අනුව යමින් මහ නාහිමිපාණන් වහන්සේ ජාති, ආගම්, කුල ආදී පටු භේදයන්ගෙන් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් මිනිසුන්ගේ දුක දැක පිහිටවිය හැකි අයුරින් පිහිටවීම ද උන්වහන්සේගේ සුවිශේෂී ලක්ෂණයකි. ආර්ථික අතින් දුබල ජනතාවට මෙන්ම ස්වාභාවික විපත්වලින් අවතැන් වූවන් සොයා ගොස් පිහිට වනුයේ උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම මෙහෙයවීමෙනි. තෙල්දෙණිය තැන්නලන්ද ප්‍රදේශයේ නිවාස තුනක් ඉදිකර පිරිනැමූ අතර ඒ ගමට අවශ්‍ය පොදු යටිතල පහසුකම් සලසාදීමට ද මුල් වූහ.

යාපනයට වැඩමකර පාසල් දූ දරුවන් 1500 දෙනාවෙත පොත්පත් ආදිය පිරිනමා පා පැදි 100 ක් ද පිරිනැමූහ. එක් දැඩි නියං සමයක වව්නියාව කැලෑබොක්ක ප්‍රදේශයේ පීඩාවට පත් 800 ක් පමණ පිරිස වෙත වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමූහ. ඒ ආදී විවිධ පරිත්‍යාග ඉතා නිහඬව සිදු කළ අතර ඒ ගැන දැන සිටියේ ඇතැම්විට මහ නාහිමිපාණන් වහන්සේත්, එසේ පිහිට ලැබූවන් සහ ඇසුරු කරන පිරිසත් පමණක් වීම ද සුවිශේෂී වේ. උන්වහන්සේ හමුවට යන කවර තරාතිරමක අයෙකු වෙත වුවද සිදු කෙරෙන ආගන්තුක සත්කාරය පවා ඉතා ආදර්ශවත් ය.

ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමෙන් සමස්ත ලෝ වැසි බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූද, ශාසනභාරධාරී සංඝපීතෘන් වහන්සේගේ ජාතභූමියක්ද වූ මාතලේ කොහොන්සිය පත්තුවේ තිබ්බටුවාවේ ග්‍රාමයේ දී මහානාහිමිපාණන් වහන්සේ ජන්ම ලාභය ලැබූහ. තිබ්බටුවාව වලව්වේ බණ්ඩාරනායක වාසල මුදලි ටිකිරි බණ්ඩාර නිලමේතුමාගේ සහ කරල්ලියද්දේ ඉඩමේ වලව්වේ ලොකු කුමාරිහාමි දම්පතීන්ගේ පින්බර කනිටු පුත්‍ර රත්නය ලෙස 1944 මැයි මස 30 වන දා එසේ ජන්ම ලාභය ලැබූහ.

මල්වතු මහා විහාරයීය විහාරාංග සංවර්ධනයෙහි සදානුස්මරණීය මෙහෙවරක් සිදුකළ මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය පුරිජ්ජල ශ්‍රී සරණංකරාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසි එක්වන මහානායක මාහිමිපාණන් වහන්සේ සහ මල්වතු මහා විහාරයීය කාරක සභාන්තරගත තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකරාභිධාන එවකට ඓතිහාසික රිදී විහාරයේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1957 ජූනි 16 වන දා මල්වතු මහා විහාරයේ දී උතුම් පැවිදි දිවියට පත් වූහ.

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්ස්‍යාභිධාන විසි දෙවැනි මහානායක මාහිමිපාණන් වහන්සේ, අතිපූජ්‍ය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසි හතරවැනි මහානායක මාහිමිපාණන් වහන්සේ, ඓතිහාසික සෝමවතී රාජ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පහමුණේ ධර්ම කීර්ති ශ්‍රී සරණංකර ගුණානන්ද අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මල්වතු මහා විහාරයීය කාරක සංඝ සභික රත්තින්දේ අනෝමදස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන කෘතහස්ත ධර්ම විනයධර ධර්මාචාර්යයන් වහන්සේලා වෙතින් මහනුවර ශ්‍රී සංඝරාජ පරිවේනස්ථානයෙන් ධර්ම විනය මෙන් ම ශබ්ද ශාස්ත්‍රය ද හදාරා වර්ග පටිපාටියෙන් උසස් අධ්‍යාපනය ලැබූහ.

1964 ජූනි 10 වන දා අති පූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් වාහල නාග නාමයෙන් මල්වතු මහා විහාරයීය උපෝසථාගාරයේ දී උපසම්පදාවට පත් වූහ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ කුඩා කල සිට දැනුමෙන් මෙන්ම ගුණ නුවණින් ද, සීලයෙන් ද පෝෂණය වෙමින් ගත කළ පැවිදි දිවිය නිසාම ශාසනික උසස් තනතුරු ලැබීමට හා දැරීමට ද සුදුසුකම් සපුරාලීය.

මල්වතු, අස්ගිරි උභය මහා විහාරයන්හි ගරුතර මහ සඟරුවනට පැවරෙන භාරදූර වගකීම් අතර ජීවමාන බුදුරජාණන් වහන්සේ වන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා සිදු කෙරෙන සිරි දළදා තේවාව අති උතුම් පූජනීය දුර්ලභ අවස්ථාවකි. 1965, 1981, 1991 වසරවල දී එවකට වැඩ සිටි අතිපූජනීය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ කාරුණික උපදෙසින් ශ්‍රී දළදා මාලිගාවේ තේවා ධූරයට පත්ව පෞරාණික වත් පිළිවෙත් ආදිය පිළිබඳ මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් මනා පරිචයක් ලැබූහ.

අතිපූජ්‍ය අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ගරුතර කාරක මහා සංඝ සභාවේ කාරක සභික ධූරයට 1968 සැප්තැම්බර් 25 වන දා තෝරාපත් කරන ලදහ. 1969 දී මල්වතු මහා විහාර පාර්ශ්වයේ කර්මාචාර්ය ධූරයට පත් වූ උන්වහන්සේ ස්වකීය ආචාර්යෝත්තමයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු 1974 දී ඓතිහාසික රිදී විහාරය ඇතුළු විහාරස්ථානයන්හි අධිපති ධූරයට පත්වීමෙන් එම විහාරාරාමයන්හි ආරක්ෂාවට හා සංවර්ධනයට ඉටු කළේ උදාර මෙහෙවරකි.

අතිපූජ්‍ය විමලකීර්ති ශ්‍රී සුමන පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්දාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් 1979 මැයි මස 10 වන දා මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවේ උපලේඛකාධිකාරී ධූරයට පත් වූහ. උන්වහන්සේගේ ම නියමයෙන් 1985 නොවැම්බර් 9 වන දා ගරුතර කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී ධූරයට පත්ව ඊට අදාළ සියලු වගකීම් මැනවින් ඉටු කරන ලදී.

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ විසිපස්වැනි මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමයෙන් එම සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ධූරයට 1990 දී පත් කොට වදාළහ.

මෙසේ ශාසනික වගකීම් මනා කැපවීමෙන් ඉටු කළ හෙයින් රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව විසින් රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත රතනපාල සෝභිතාභිධාන අනු නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ අනුනායක ධූරයට පත් කරන ලදී.

මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපතිව වැඩ විසූ රඹුක්වැල්ලේ ශ්‍රී ධර්මරක්ෂිත විපස්ස්‍යාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහ පදවිය වන විසි හයවන මහානායක මා හිමිපාණන් වහන්සේ ලෙස 2004 ජූනි 20 වන දා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිමිපාණන් වහන්සේ පත් කොට වදාළ අතර 2004 අගෝස්තු 16 වන දා මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ දී එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානෝත්සවය සිදු කෙරිණි.

රිදී විහාරයේ පෞරාණිකත්වය පූජනීයත්වය හා රමණීයත්වය ආරක්ෂා කරමින් එහි භෞතික සංවර්ධනය උදෙසා ඇප කැප වී ක්‍රියා කළ අතර ම භාවනා මධ්‍යස්ථාන ආදිය ඇති කරමින් ද, කුඹුරුලෙන විහාරස්ථානය ද පිළිසකර කරවූහ. 1996 දී ශ්‍රී සිද්ධාර්ථ පිරිවෙන ආරම්භ කර ප්‍රදේශයේ ජාතික, ආගමික සේවාවන් සිදු කරන ලදී.

යහපත් දේ ඇගයීමත්, කිවයුතු දේ තරාතිරම නොබලා කිවයුත්තා ඉදිරියෙහි ඉතා සන්සුන්ව පැවසීමත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ සතු සුවිශේෂී වූ ගුණයකි.

මහානායක පදවිය බැබළවීමට නිරන්තරයෙන් නිහඬව, ආදර්ශවත්ව කටයුතු කරන මහානායක මාහිමිපාණන් වහන්සේ වෙත දෙස් විදෙස් ගෞරවනාමාදිය පිරිනැමීමට සූදානම් වුව ද ඒවා ඉතා කාරුණිකව බැහැර කළ අවස්ථා බොහෝ ය.

සම්බුදු සසුනේ චිරජීවනය කවදත් අගය කරන මහානායක මාහිමිපාණන් වහන්සේ සසුනඹරේ මෑත යුගයේ පහළ වූ සුපේෂල ශික්ෂාකාමී ආදර්ශවත් මහා යතිවරයන් වහන්සේ නමකි.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් වහන්සේගේ 75 වන ජන්ම සමරුව මෙම 30 වන දාට යෙදී ඇත.

ශතවර්ෂාධික කාලයක් නිදුක් ව නිරෝගීව වැඩ සිටින්නට තෙරුවන් බලයෙන් කායික මානසික සුව ශක්තිය ලැබේවායි ‘බුදුසරණ’ නිරන්තරයෙන් ආශීර්වාද කරමු.

 

අධි පොසොන් පුර පසළොස්වක පෝය


අධි පොසොන් පුර පසළොස්වක පෝය මැයි 28 වන දා සඳුදා අපර භාග 06.45 ට ලබයි. 29 වන දා අඟහරුවාදා අපර භාග 07.54 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි 29 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය ජූනි 06 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 29

Second Quarterඅව අටවක

ජූනි 06

Full Moonඅමාවක

ජූනි 13

First Quarterපුර අටවක

ජූනි 20


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]