UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිතේ බලය ජීවිතයට සමීප කරවන පිරුවානා පොත් වහන්සේ

පිරිතේ බලය ජීවිතයට සමීප කරවන පිරුවානා පොත් වහන්සේ

නවතම සංස්කරණය එළිදැක්වූ පදියතලාවේ අමරවංශ හිමි සමඟ සංවාදයක්

දඹාන මාවරගල ආරණ්‍ය සේනාසන වාසී රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පදියතලාවේ අමරවංශ හිමිපාණන් වහන්සේ විශ්ව විද්‍යාලයේ ද කථිකාචාර්ය වරයෙකි.

සුභාෂිතය සංස්කරණය, සිංහල අක්ෂර වින්‍යාස රීති සහ නිරවද්‍ය පදමාලා වැනි ග්‍රන්ථ අමරවංශ හිමියන්ගේ ශාස්ත්‍රීය සේවයේ ම හැඟි ඵලයන් ය. නුගේගොඩ සරසවි පොත් ප්‍රකාශකයන් විසින් ප්‍රකාශයට පත් කෙරෙණු නව පිරුවානා පොත් වහන්සේ ද අමරවංශ හිමියන්ගේ සංස්කරණයක් වීම විශේෂිත වෙයි.

විවිධ පසුතල යටතේ පැමිණිය ද පිරුවානා පොත් වහන්සේ සමඟ නොලිහෙන සේ ගැට ගැසුණු සම්ප්‍රදායත් සංස්කෘතියත් වෙනස් කළ නො හැකියි. එම පදනම මත හිඳ දෝෂ රහිතව නිවරද්‍යතාවය රකිමින් සරල සිංහල තේරුම් සහිතව එහි ගුණාත්මක බව සුරකිමින් ඉතා වගකීමෙනු යි මා මෙම පිරුවානා පොත් වහන්සේ සංස්කරණය කළේ. ‘වහන්සේ’ යන ගෞරවනීය ආමන්ත්‍රණයකින් ග්‍රන්ථයකට සැලකීමට තරම් බෞද්ධයා පෙළඹෙන්නේ කුමන පදනමක් මත ද? ප්‍රතිමා වහන්සේ, බෝධීන් වහන්සේ, ධාතූන් වහන්සේ ට මලක්, පහනක් පුදා ගෞරව කරනවා සේම පිරුවානා පොත් වහන්සේ ද පූජනීයයි.

සද්ධර්මයේ ආශිර්වාදයෙන් මෙලොවට පමණක් නො ව, දෙලොව යහපත, සෙත ශාන්තිය උදෙසා හේතු වන පිරිතෙහි බලය ශක්තිය බල පවත්වන නිසාම මෙය පිරුවානා පොත් වහන්සේ ලෙස පූජනීයත්වයෙන් සලකනවා.එය තවදුරටත් පැහැදිලි කළ හොත් බෞද්ධයන් වන අපට තිසරණ සරණ හැර අන් සරණක් නෑ. දුක් පීඩාවන්ට, රෝග පීඩාවන්ට, බිය සංකාව වැනි ව්‍යාධීන්ට පමණක් නො වෙයි, නිවැරදි ධර්මතාවයන් මත දිවි මඟ සකසාගැනීම වැනි ලෞකික මෙන්ම ලෝකෝත්තර ගමන් මඟ උදෙසා මෙමඟින් බොහෝ දේ කියා දෙනවා. අධ්‍යාත්මික මෙන්ම කායික සුවය සඳහා, ධර්මයේ බලය රැඳී තෙරුවන් සරණ රැඳී පිරිතේ බලය විශේෂිතයි. චිරාත් කාලයක් තිස්සේ සමාජය තුළ පවතින ප්‍රත්‍යක්ෂ කළ සත්‍ය එයයි. මෙය දිව ඔසුවක් වැනි යි.

එසේ නම් එවැනි බලයකින්, ශක්තියකින් අනූන වන පිරුවානා පොත් වහන්සේ ගේ අගය මිල කළ නොහැකි යි. පෙර දී සතර බණවර නමින් පිරිත් සූත්‍ර දේශනා කර තිබෙන්නේ සත්‍ය ක්‍රියා වශයෙනුයි... මෙහි ප්‍රධාන අන්තර්ගතය වන්නේ ද සතර බණ වරයි. සත්‍ය ක්‍රියා දේශනාවන්ගේ බලයෙන් යහපත් ප්‍රතිඵල උදාවන බව සත්‍යයක්.

ඒ විදියටම මානව සමාජයේ යහපත උදෙසා ද තව දුරටත් ප්‍රවර්ධනය වී තිබෙනවා. මෙය සජ්ඣායනා කිරීමේදී මනස ඒකාග්‍ර වන නිසා එතැන භාවනාමය චින්තනයක් ද ගොඩ නැගෙනවා. මෙය චිරාත් කාලයක් තිස්සේ සජ්ජායනා වන සත්‍යවාදී, අර්ථ පූර්ණ වදන් පෙළහරක් හා සමානයි. එය නිබඳ ශ්‍රවණය වන්නේ නම්, කියැවෙන්නේ නම් එතැන ප්‍රබල මානසික සුවයක් ගොඩ නැගෙනවා. මෙය විද්‍යාත්මකවද තහවුරු කර ගත හැකි සත්‍යයක් මේ විදියට පිරිතේ බලය අපරිමිත බව කියැවෙනවා.

අනෙක් පසින් අධ්‍යාත්මික පාරිශුද්ධතාවයෙන් කෙරෙන සත්‍ය ක්‍රියාවේ ඵලය යහපත්, ඒ නිසාම මෙය මනෝ චිකිත්සාවක්. ධාතු කරඬුවක් පෙරටු කොට ගෙන හිස මතින් පිරිත් මණ්ඩපය වෙතට වඩමවාගෙන එන පිරුවානා පොත් වහන්සේ නිවසේදී පරිහරණය කිරීම සුදුසු ද? පැහැදිලිවම පිරුවානා පොත් වහන්සේ පන්සලටම සීමා නොවන බෞද්ධ සැදැහැති පක්ෂයට අයත් පූජනීය වස්තුවක්.

සැබෑ බෞද්ධ නිවසක් නම් ඒ නිවසේ පිරුවානා පොත් වහන්සේ ගෞරවනීය ලෙස පරිහරණය කෙරෙන්නේ නම් ඒ ආශිර්වාදයෙන් ලැබෙන්නේ මහඟු ප්‍රතිඵලයක්. පිරිතෙහි බලය, එයින් ලැබෙන ආරක්ෂාව සඵල කර ගැනීමට පිරිත පිළිබඳ මනා අවබෝධයක් ලබාගත යුතුයි. එහි අර්ථයන් ද, මානසික සබඳතාවයන් ද හොඳීන් හඳුනාගත යුතුය. තුණුරුවන් කෙරෙහි වූ අචල විශ්වාසයෙන් මනා සිහිනුවණින් ශීලයෙහි පිහිටමින් සජ්ඣායනා කෙරෙන විට එහි ශක්තිය දෛනික ජීවිතයට ආශිර්වාදයක් වෙනවා.


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]