UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වෙසක් දින සැමරුම නිමිත්තෙන් සුභපැතුම්

ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වෙසක් පණිවුඩ

බුදුවරයාණන් වහන්සේලාගේ උපත දුලබ ය

ශ්‍රී වෛශාඛ පුණ්‍යමහෝත්සව දිනය සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය, සම්මා සම්බුද්ධත්වය හා මහාපරිනිර්වාණය යන අසිරිමත් ත්‍රිවිධ මංගල්‍යය සිදු වූ පරම පූජනීය මංගලෝත්සව දිනයයි. මෙදින බුදු කරුණා ගුණ සිසිලෙන් සියලු සිත්සතන් නැහැවී යයි.

ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව වෙසක් දින මහෝත්සවයෙන් පැවැත්වීම, දඹදිව ධර්මාශෝක මහාධිරාජයාගේ කාලයෙහි ඇරඹුණු අතර, මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසුව දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ දී ම ලක්දිව වෙසක් උත්සව පැවැත්වීම ඇරඹුණි. පසුකාලීනව සිටි දුටුගැමුණු, වළගම්බා, මහා පරාක්‍රමබාහු, මහා විජයබාහු වැනි අනෙකුත් සියලු නරපතියන් විසින් ශ්‍රී වෛශාඛ පුණ්‍ය මහෝත්සව දිනය මහත් උත්සවශ්‍රීයෙන් සැමරූ බව වංශකතා තුළින් හෙළිවේ. උතුම් වෙසක් පුන් පොහෝ දිනයේ දී ත්‍රිවිධරත්නය කෙරෙහි නන්විධ පූජා සිදුකෙරෙන අතර, දුගී, මගී, යාචකාදීන්ට ආහාරපානාදියෙන් සංග්‍රහ කෙරෙති. කොඩි සේසත් ඔසවා, විචිත්‍රවත් පහනින් හා තොරණින් සරසවා, අලංකාර පෙරහරින්, පංචතූර්ය නාදයෙන් හා සාධු නාදයෙන් තුණුරුවන් කෙරෙහි ආමිෂ පූජා පවත්වන්නාහ. සැදැහැති බෞද්ධ ජනතාව සිල් සමාදන් වීම, ධර්මශ්‍රවණය කිරීම, භාවනානුයෝගීව කටයුතු කිරීම ආදී ප්‍රතිපත්ති පූජාවෙන් සම්බුදු රජුන් පුදන්නේ අතිශය භක්තියෙනි.

අතීත රජදරුවන් විසින් චිරාගත සම්ප්‍රදායානුකූලව පවත්වාගෙන ආ වෙසක් පුණ්‍යොත්සව මංගල්‍යයන් වර්තමානයෙහි ද නොකඩකොට පැවැත්වීමට රජය විසින් කටයුතු සම්පාදනය කිරීම අගය කළ යුතු ය. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසනා පරිදි, බුද්ධශාසන අමාත්‍යංශයේ හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන්, කුරුණෑගල දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලය හා එක්ව, බිංගිරිය රජමහ විහාරයේ දී පැවැත්වීමට කටයුතු සම්පාදනය කිරීම ප්‍රදේශවාසීන් තුළ බෞද්ධ ප්‍රබෝධය ජනිත කරවීමට හා ශ්‍රද්ධා භක්තිය වඩා වර්ධනය කිරීමට හේතුවනු නිසැක ය. සකල ලෝකවාසී බෞද්ධ ජනතාව විසින් මෙවැනි පුදපූජා පැවැත්වීමෙන් සම්බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍යය සිහිපත් කරන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ලොව පහළ වීම අතිශය දුර්ලබ නිසා ය. එබැවින් ත්‍රිවිධරත්නයේ ආශිර්වාදයෙන් සැමට ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ආශිංසනය කරම්හ.


දහම් මග අනුගමනය කළ බොහෝ දෙනා අපරිමිත සැනසීම ලැබූහ

ශ්‍රී ලංකාවාසී බෞද්ධ ජනතාවගේ දහම් දැනුම උද්දීපනය කිරීම සඳහා බොහෝ කලක සිට ශ්‍රී ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් නිකුත් කරනු ලබන බුදුසරණ පුවත්පත ශ්‍රී බු.ව. 2562 වැනි වෙසක් පොහෝදින නිමිත්තෙන් නිකුත් කරන්නා වූ අතිරේක සඟරාව සඳහා සුභාසිංසන පණිවුඩයක් ලබා දෙනුයේ ඉතාමත් සතුටින් යුක්තව ය.

සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය, සම්මා සම්බුද්ධත්වය සහ සම්බුද්ධ පරිණිර්වාණය සිද්ධ වූ වෙසක් පුන් පොහෝ දිනය ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් සුවිශේෂී දිනයකි. බුද්ධ යනු අවබෝධයයි. තථාගත යනු සත්‍යය අවබෝධ කොට ගැනීමයි. ඒ තුළින් සත්‍යය අවබෝධ කරගත් නිසා උන්වහන්සේ ලෝ පහළ වූ උත්තරීතරම ශාස්තෘන් වහන්සේ ලෙස ලොව පතළ වූ අතර, ලෝක සත්වයාගේ හිතසුව පිණිස පන්සාළිස් වසක් ධර්මය දේශනා කළ සේක. ඒ දහම් මග අනුගමනය කළ බොහෝ දෙනා අපිරිමිත සැනසීම ලැබූහ. අපේ ඉතිහාසය පුරා බුදු දහම අනුගමනය කළ රජදරුවන් විසූහ. අපේ කුඩා දිවයින ධර්මද්වීපයක් වූයේ ඒ නිසාවෙනි. එම දිවයින තුළ දහම් දැනුම් ප්‍රචලිත කිරීමට ද බුදුසරණ පුවත්පත තුළින් කරන්නා වූ සේවය අගේ කළ යුතු ය. බුදුසරණ පුවත්පත තුළින් කරන්නා වූ ශාසනික මෙහෙවර ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් චිරාත් කාලයක් පවතීවා! යි සුභාසිංශනය කරම්හ.


ලොව පුරා බෞද්ධ ජනතාව විසින් ආගමික උත්සව පවත්වනු ලබති

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා 2562 වැනි වර්ෂය නිමිති කොටගෙන ලොව පුරා බෞද්ධ ජනතාව ආගමික උත්සව පවත්වනු ලබති. උන්වහන්සේගේ උපත සහ බුදුබවට පත්වීම සිදුවී ඇත්තේ ඒ ඒ වර්ෂවල වෙසක් පොහෝ දිනවල ම බව සඳහන් වේ.

එබැවින් ලෝකවාසී බෞද්ධ ජනතාව එදා මෙදා තුර සෑම වෙසක් පොහෝ දිනකම තථාගත ජීවිතයෙහි මේ සිදුවීම් තුන මාතෘකා කොටගෙන විවිධ ආගමික උත්සව පවත්වති.මේ අතර සිංහල බෞද්ධයන් වශයෙන් අපට තවත් විශේෂ කරුණු කීපයක් වෙසක් පොහෝ දිනවල ම යෙදී ඇත.

පිළිගැනීමට අනුව සිංහල වර්ගයාගේ ආදී මුතුන්මිත්තා වූ විජය රජතුමා හත්සියයක් පමණ තම පිරිසත් සමඟ ලංකාවට සම්ප්‍රාප්ත වූයේ ද බුදුරදුන් පිරිනිවන් පා වදාළ පොහොය දිනයේ ම සවස් භාගයේ බව ඓතිහාසික වාර්තාවන්ගෙන් සනාථ වී ඇත. අපට මෙය ද අනුස්මරණීය දිනයකි.ඒ අතර ජීවමාන බුදුරජාණන් වහන්සේ කැලණියේ විසූ නාග ගෝත්‍රික චූලෝදර මහෝදර නා රජ දරුවන්ගේ ආරාධනය පරිදි කැලණියට වැඩම කළ සේක් ද, වෙසඟ පුර පසළොස්වක පොහෝ දිනයකම ය. මේ අනුව කැලණිය ශ්‍රී පාදය ප්‍රධාන, ප්‍රධාන ස්ථාන දහහතරකට ම එදිනම උන්වහන්සේ වැඩම කළ සේක.

කලින් උන්වහන්සේ මහියංගනයට සහ නාගදීපය ට වැඩම කළ සේක්, අනාරාධිතවම ය. ඒ අපේ යුද්ධ දෙකක් සමතයකට පත්කිරීම පිණිසයි. මේ අනුව සිංහල වර්ගයා වූ අපට වෙසක් දිනය අති විශේෂ ය.

මෙවර වෙසක් පොහෝ දිනය යෙදී ඇත්තේ මෙම අප්‍රේල් මස 29 වැනි දාට ය. ඒ නිමිතිකොට ගෙන මේ සතිය තුළ විවිධ වෙසක් උත්සවයන් පවත්වනු ලබති. 1883 වර්ෂයේ ද මෙසේ ම අප්‍රේල් 29 වැනි දා වෙසක් පොහොයත්, අධි පොසොන් පොහොය මැයි 29 වැනිදාටත් යෙදී ඇත. එදා හික්කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්, ශ්‍රීමත් ජයතිලක මැතිතුමන් විසින් ජනතාවට උපදෙස් දී ඇත්තේ අප්‍රේල් 29 වැනිදාට යෙදුණු වෙසක් පොහොය ප්‍රතිපත්ති පූජාවට යොමුකරගන්නා ලෙසයි. මැයි 29 වැනි දා ට යෙදුණු පොහොය වෙසක් මාසයේ ම බැවින් එදිනට ආමිස පූජාවෙන් බුදුරදුන් පුදනා ලෙස උපදෙස් දී ඇත.

කෙසේ වෙතත් මේ සතිය පමණක් නොව මෙම මාසය ම වෙසක් මාසය වශයෙන් සලකා කටයුතු කිරීම අපගේ සැලසුම විය යුතුය. ප්‍රධාන වශයෙන් ම රට සදාචාරවත් කරගැනීම සඳහාත් එමගින් සාමයත්, සමෘද්ධියත් පෙර රජ දරුවන් සේ ක්‍රියාත්මක කරවීමට උත්සාහවත් වන ලෙස, පියවර ගන්නා ලෙස රජයෙන් ද, ප්‍රබල බෞද්ධ සමිති සමාගම්වලින් ද, පොදු මහජනතාවගෙන් ද ශ්‍රී ලංකා අමරපුර නිකායික මහා සංඝයා වහන්සේ ඉල්ලා සිටිති.


නිවැරැදි බුද්ධ භාෂිතය හඳුනාගැනීම පිණිස කටයුතු කිරීම වැදගත් ය

වර්ෂ 2607 කට පෙර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකදී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමත් සමඟ ලොව්තුරු දහමක ආභාසය ලැබීමට ලෝකවාසීහු භාග්‍යවත් වූහ. සියවස් විසිහයක් මුළුල්ලෙහි ඒ උත්තුංග ශාස්තෘවරයාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය යන තෛ‍්‍රමංගල්‍යය අනුස්මරණය කිරීම උදෙසා නානාවිධ පින්කම් සිදු කිරීම චාරිත්‍රයක් ව පවතී.

තෙරුවන් සරණ පිහිට කොට වෙසෙන බොදුනු දනන්හට මෙදින තරම් අති උතුම් දිනයක් තවත් නැත. එම අති උතුම් දිනයේ බුදුසව්,ගිහි පැවිදි සැවොම සම්මා වායාමයෙන් යුතුව ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවටම මුල්තැන දී කටයුතු කිරීමට සිතනු වටී. තමන් තුළ ඇති වැරැදි (ඇවත්, අකුසල්) හැර කුසල් වැඩීමට වෑයම් කිරීම සම්මා වායාම වේ. මෙය දෙලොව දියුණුවට මඟ වේ. අෂ්ටලෝක ධර්මයෙන් කම්පිත වන ලෝකය තුළ අකම්පිතව මධ්‍යස්ථ ජීවන ප්‍රතිපදාවකට යොමු වෙමින් උභය ලෝකාර්ථ සාධනය පිණිස කටයුතු කිරීම වැදගත්ය. සතර සංග්‍රහ වස්තු, සතර බ්‍රහ්මවිහරණ ආදි බෞද්ධ ඉගැන්වීම් ඔස්සේ ස්වකීය දිවි මග සාර්ථක කර ගනිමින් නුවණැත්තන්ගේ දෝෂ දර්ශනයට ලක් නොවන අන්දමේ නිවැරදි ජීවන මගකට යොමුවීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

සම්බුද්ධ ශාසනය පිළිබඳ නානා මතිමතාන්තරයන් පැතිරී පවත්නා මෙම වකවානුවෙහි මනාවූ පරිචයකින් යුතුව නිවැරදි බුද්ධභාෂිතය හඳුනා ගැනීම පිණිස කටයුතු කිරීම වැදගත්ය. එමෙන් ම ලිහිල් වී යමින් පවතින ගිහිපැවිදි සබඳතා ශක්තිමත් කර ගැනීම පිණිස මෙම වෙසක් සමයෙහි කටයුතු කරනු වටී. වෙසක් දින සිදුකෙරෙන කටයුතු බොහෝමයකින් රාග – ද්වේෂ, මෝහ – වැඩි වනු මිස ඒවා සමනය නොවේ. අද අපේ පිළිවෙත විය යුත්තේ රාග– ද්වේෂ – මෝහ, සමනය වන, සිත නිවෙන පිළිවෙතක යෙදීමයි. එය සියලු දෙනාට සඟ මොක් සුවය සඳහා හේතු වේ. අන්ධානුකරණයෙන් නිරර්ථක කටයුතුවලින් වැළකී දෙලොවටම යහපත ගෙන දෙන කටයුතුවල යෙදීමට උත්සුක වන ලෙස සියලු දෙනා වෙත මෙත් සිතින් දන්වා සිටිමි.


අන්ධානුකරණයේ ගැලී හුන් සමාජය විද්‍යාත්මක චින්තනයකට යොමු කළ සේක

සිදුහත් කුමරුගේ උපත, සම්බුද්ධත්වයට පත්වීම සහ සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම නිමිත්තෙන් ලෝකවාසි බෞද්ධ ජනතාව විසින් සමරනු ලබන වෙසක් උළෙල පසුබිමින් පරිත්‍රාණ ධර්ම දේශනයක් සේ ඇසෙනුයේ මානව ශිෂ්ටාචාරයේ පුළුල් පරාසයක් ආලෝකවත් කළ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු සහ විශිෂ්ට මානවවාදී ශාස්තෘවරයෙකුගේ උත්තුංග දැක්ම පිළිබඳ ප්‍රකාශනය වේ.

ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වනුයේ භාරතීය සමාජය විවිධ ඇදහිලි සහ ආගම් කෙරෙහි අතිශය සංකීර්ණව පැවැති අවධියක ය. බ්‍රාහ්මණ බලාධිකාරිත්වය විසින් ජනවිඥානය සිය ආධිපත්‍යයට නතුකර ගෙන පැවැතිණි. ජන සමාජය විවිධ බෙදීම් කරණයට ගොදුරුව තිබිණි, ස්ත්‍රිත්වය යනු, නිෂේධනාත්මක ජීව විශේෂයක් විය. පුරුෂාධිපත්‍යය හමුවේ ඇය අව වරප්‍රසාදිත චරිතයක් වූවාය.

ආචීර්ණ කල්පිත එකී ගතානුගතික සමාජ ආකල්ප පුපුරුවා හළ සම්බුද්ධාගමනය අන්ධානුකරණයේ ගැලී හුන් සමාජය විද්‍යාත්මක චින්තනයකට යොමු කළ අතර, මිනිසාගේ බුද්ධියට ඍජුව ආමන්ත්‍රණය කළේය. ඔහු සතු සිතා, විමසා බලා සත්‍යය තේරුම් ගැනීමේ අයිතිය ඔහුටම පැවරුවේය. එනයින් මිථ්‍යාවෙන් අත්මිදුණු අධ්‍යාත්මික මිනිසකු සමාජගත වූයේ ය.

මිනිසකු වසලයෙකු හෝ ශ්‍රේෂ්ඨයෙකු වන්නේ උපත අනුව නොව ඔහුගේ ක්‍රියාවන් මත බව බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ දහමේ පොදු ආඛ්‍යානය වූයේ ය. ඒ ඔස්සේ සියල් මිනිස් වග එක රැහැනින් යා කෙරෙන සහජීවනය අනුප්‍රාණය ලද්දේ ය.

වෛරි සිත් මත මෛත්‍රියේ පැන් ඉසිමින් ලොවුතුරු දහමක් ලොවට දායාද කළ අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආමිස සහ ප්‍රතිපත්ති පුජාවෙන් පුදනු ලබන මේ අසිරිමත් වෙසක් සමයේ “බුදුසරණ” පුවත්පත විශේෂ අතිරේකයක් පළකරමින් ධර්ම ශාස්ත්‍රීය දැනුම සමාජගත කරන්නට දරන කැපවීම මහත් සේ අගයමි. ඒ සඳහා දායක කාරකවූ කර්තෘ මණ්ඩලයටත් ලිපි සම්පාදනය කළ වියත් මහා සංඝරත්නය ඇතුළු ලේඛක භවතුන්ටත් සමස්ත බෞද්ධ ජනතාවගේ කෘතවේදිත්වය පිරිනැමෙනු නිසැක ය. ඒ සැමට මගේ ශුභාශිංසන පිරිනමමි.


සැම සිත් පහන්වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා

බුදු දහමටත්, බුදු සසුනටත් ගරු කරන දැහැමි ජනතාවක් ලෙස බුදුන් වහන්සේ පෙන්වා වදාළ ධර්ම මාර්ගය තුළ අප කොතෙක් දුරට ගමන් කරමින් සිටින්නේ ද යන්න සිතා බැලීමට මේ වෙසක් උත්සවය කදිම අවස්ථාවකි.

පාලකයා විසින් සියලු සමාජ කොටස් වෙත ධාර්මික ලෙස රක්ෂාවරණය සැපයිය යුතු බවත්, ජනතාව සතුදෑ අවහිරයකින් තොරව භූක්ති විඳීමට ඉඩ ලැබෙන , ජීවිතාරක්ෂාව ඇති, පවුල් ජීවිතය සුරැකෙන, මුසාවෙන් තොර අදහස් හුවමාරුවකට ඉඩ සලසාලන, මිනිස් අයිතීන් සුරක්ෂිත වන පරිසරයක් නිර්මාණය කිරීම පාලකයාගේ යුතුකම බවත් චක්කවත්ති සීහනාද සූත්‍රයෙහි සඳහන් ය.

එබඳු යහපත් සමාජයක් ගොඩනැංවීම සඳහා දැඩි දුෂ්කරතා මධ්‍යයේ රජයක් ලෙස අපි කටයුතු කරමින් සිටින්නෙමු. ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් සුරැකෙන සදාචාරසම්පන්න සමාජය යථාර්ථයක් බවට පත්කිරීම දැන උගත් ශිෂ්ට සම්පන්න සෑම පුරවැසියෙකුගේ ම අපේක්ෂාව බව අපි දනිමු.

මෙත්, කරුණා , මුදිතා, උපේක්ෂා ප්‍රමුඛ වූ බුදුන් වහන්සේ වදාළ ධර්ම මාර්ගය එකී සමාජය ගොඩනැංවීම සඳහා අවශ්‍ය ශක්තිමත් පදනම සපයන බව විවාදයෙන් තොරය. තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බුදුදහම ආවරණයක් කර ගැනීමට තැත් නොකොට, සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් බුදුදහම නිසියාකාරයෙන් පිළිපැදීමට මේ වෙසක් දිනයේ අදිටන් කර ගනිමු.

ඒ සඳහා සැම සිත් පහන් වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]