UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුනි සිරිපා කරුණා කරන සමය යි මේ: වන්දනා වාරය

වන්දනා වාරය

බුද්ධං සරණේ සිරස දරාගෙන
ධම්මං සරණේ සිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉන්නයි තුන් සරණේ අදහාගෙන

සෑම වසරකම උඳුවප් පුර පසළොස්වක පොහොයත් සමඟ ආරම්භවන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ ඊළඟ වසරේ වෙසක් පුර පසළොස්වක පොහොයත් සමඟය.

මේ කාලය තුළ දී බෞද්ධ සැදැහැවතුන් පමණක් ම නොව හින්දු, ක්‍රිස්තියානි, ඉස්ලාම් බැතිමත්හු ද සමනග ගිර නැරඹීමට එක්වෙති. ඒ වගේ ම විදේශීය බැතිමත්හු ද ශ්‍රී පාද පද්මය වන්දනාවේ යති.

වෙසක් පොහොයෙන් පසු කාලය අවාරය නොහොත් බැතිමතුන් සිරිපා වන්දනාවේ නොයන කාලයයි. සිරිපා අඩවියට වැසි ලැබෙන කාලයයි. බැතිමතුන් නිසා අපිරිසුදු වූ සිරිපා අඩවිය ඒ මහා වැසිවලින් සේ දී පිරිසුදු වේ. ඉන් අනතුරුව දෙවියන් සිරිපා පද්මය වන්දනා කරන සමය උදාවන බවට යන්න විශ්වාසයක් පවතී. එමෙන් ම අලි ඇතුන් සහ අනෙකුත් සත්ත්වයන් ද සිරිපා වන්දනා කිරීමට පැමිණෙන බවට ද විශ්වාස කෙරේ.

සිරිපා අඩවිය සුමන සමන් දෙවියන්ගේ අදෘශ්‍යමාන බලයෙන් ආරක්ෂාවන බව එදා මෙන් ම අද ද විශ්වාස කෙරේ. වර්ෂ 1934 පෙබරවාරි 28 දිනට යෙදුණු නවම් මස පුර පසළොස්වක දින පැමිණ සිටි පිරිස නැගූ සාධුකාර නාදය මැද්දේ මහගිරි දඹේ සිට සිරිපා මළුව තෙක් විදුලි ආලෝකය සැපයීම විවෘත කරන ලදී.

ඒ මොහොතේ දී සිරිපා මළුවෙන් ෂඩ් වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදී ඇත. ඒ වගේ ම හැටන් මාර්ගය ඔස්සේ සිරිපා මළුවට හේවිසි සහිත පෙරහරක් එන ශබ්දයක් ද ඇසී ඇත. එහෙත් එවැන්නක් කිසිවෙකුට දර්ශනය වී නැත.

මහවැලි, කැලණි, කළු, වලවේ යන සතර මහා ගංගාවන් ද, තවත් කුඩා ප්‍රමාණයේ අතු ගංගා රැසක් ද ඒ ආශ්‍රයෙන් ඇති වූ අතිශය රමණීය වූ දිය ඇලි ගණනාවක් ද සිරිපා අඩවිය නිජබිම කරගෙන ගලා හැලෙයි.

එම ජල පහර උපයෝගී කරගෙන ජල විදුලි බලාගාර ද එම බලාගාර වටා ඇති වූ මහා ව්‍යාපෘති ලෙසට මහවැලි ව්‍යාපාරය ද බිහිවිය. එසේ හෙයින් ශ්‍රී පාදය ආගමික පූජනීය ස්ථානයක් පමණක් නොව ආර්ථිකයට ජීවයක් දුන් ස්ථානයක් ලෙසට ද වැදගත් වේ.

ලක්ෂපාන බලාගාරය සඳහා වූ නෝර්ටන් හි උමඟ තැනීම දෙවන අදියර ඉදිකිරීම් වැඩ ආරම්භයත් සමඟ එදා ඇද හැළුණු මහ වර්ෂාවකින් වැඩ බිමෙහි වූ පෙදරේරුවන් සඳහා තැනූ කුඩා මඩු ගැලවී විනාශ වී වතුරට ගසාගෙන ගොස් ඇත. සමනල අඩවියේ ඇති අදෘශ්‍යමාන බලවේග තේරුම් ගත් වැඩබිමෙහි මූලිකයෝ සමන් දෙවියන් උදෙසා පූජා පවත්වා බාර වී පඬුරු වෙන් කොට වැඩ ආරම්භ කළහ. ඒ එම කටයුත්ත සාර්ථකව කරගෙන යෑමට හැකිවිය. අද ද එම ප්‍රදේශයේ කිසියම් වැදගත් කටයුත්තක නියැලෙන්නේ නම් , සමන් දෙවිඳුන්ට පුද පූජා පවත්වා පින්පෙත් දී මේ කටයුත්ත පවතී.

ලක්ෂපාන බලාගාරයේ ප්‍රථම විදුලිය නිෂ්පාදනය ශ්‍රී පාද ස්ථානයට ලබා දෙන ලද දින රාත්‍රී 8.30 ට පමණ අහසෙහි දිස් වූ පූර්ණ චන්ද්‍රයා වටකරගත් චතුර්විධ වර්ණයෙන් යුත් රේඛා හතරක් දක්නට ලැබී ඇත. ඒ සමඟ ම සිරිපා කඳු මුදුනින් ආලෝකධාරා විහිදෙන්නට ද වී ඇත.

එක් දිනක සිරිපාද මළුවේ කාර්යාලයේ දොරකඩ හිමිදිරි පාන්දර තුනට පමණ විශාල පිපිරුම් හඬක් ඇසී ඇත. මළුවේ සිටි සියලු දෙනා බියටපත්ව ශබ්දය මතු වූ පෙදෙස සෝදිසියට ලක් කළ ද කිසිදු අමුත්තක් නොදුටුවේ ය. පසුව ආරංචි වූයේ එදා ශ්‍රී පාදස්ථානාධිපති ව වැඩ සිටි මොරොන්තුඩුවේ නායක හිමියන් අපවත්වී වදාළේ ඒ මොහොතේ බව ය.

මෙරට කිසියම් වූ විශාල ඛේදවාචකයක් ඇතිවන්නට පෙර ශ්‍රී පාද අඩවිය ආශ්‍රිතව පෙර නිමිති නිතරම සිදුවී ඇති බවට සාක්ෂි පවතී.


 

  වෙසක් පුර පසළොස්වක පෝය


 වෙසක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 29 වන දා ඉරිදා පූර්ව භාග 06.40 ට ලබයි. 30 වන දා සඳුදා පූර්ව භාග 06.30 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 29 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය මැයි 08 අඟහරුවාදා


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08

Full Moonඅමාවක

මැයි 15

First Quarterපුර අටවක

මැයි 22


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]