UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රාජ්‍ය වෙසක් මහෝත්සවය බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දී : දැමුණු සිත සුව ගෙන දේ මෙවර වෙසක් තේමාව යි

රාජ්‍ය වෙසක් මහෝත්සවය බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ දී

දැමුණු සිත සුව ගෙන දේ මෙවර වෙසක් තේමාව යි

ශ්‍රී බුද්ධ වර්ෂ 2562 වැනි රාජ්‍ය වෙසක් මහෝත්සවය මේ මස 28 සහ 29 යන දෙදින බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ දී පැවැත්වේ. සංවර්ධනයේ තිරසර අරමුණු සාක්ෂාත් කරනු පිණිස ගමේ විහාරස්ථානය අධ්‍යාත්මික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරමින් ප්‍රඥාවන්ත බොදුනුවන්ගෙන් යුතු බෝසත් සමාජයක් බිහි කිරීම පරමාර්ථ කරගනිමින් රාජ්‍ය වෙසක් මහෝත්සවයට සමගාමීව ආගමික කටයුතු රැසක් සංවිධානය කොට ඇත. “චිත්තං දන්තං සුඛාවහං” “දැමුණු සිත සුව ගෙනදේ” යන්න මෙවර වෙසක් මහෝත්සවයේ තේමාවයි.

ප්‍රඥාවෙන් හා ශ්‍රද්ධාවෙන් යුතුව වෙසක් සතිය සමරනු වස් බොදු ජනතාව පෙළගැස්වීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් මෙම වසරේ ආරම්භයේ සිටම දුරුතු පුර පසළොස්වක පොහෝ දින සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම ශාසනාරක්ෂක මණ්ඩල ආවරණය වන පරිදි වෙසක් පූර්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වේ. එහි දී විහාරස්ථාන 1611 ක්, දහම් පාසල් 1209 ක්, භික්ෂූන් වහන්සේලා 4.166 ක්, දහම් පාසල් දරුවන් 210241 ක්, දහම් පාසල් ගුරු භවතුන් 13241 ක් ප්‍රතිලාභීන් වනු ඇත.

ආගමික හා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන්, භෞතික සංවර්ධන වැඩසටහන්, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් සමාජ සංවර්ධන වැඩසටහන් යන අංශ තුන කේන්ද්‍ර කර ගනිමින් මෙවර වෙසක් පූර්ව වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ආගමික හා අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් යටතේ බොදු නුවණැස පුබුදන ප්‍රත්‍යවේක්ෂා භාවනා මධ්‍යස්ථාන 34 ක් හා වැඩසටහන් 150 ක් ක්‍රියාත්මක ය. විශේෂ ආගමික වැඩසටහන් යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩල ආවරණය වන පරිදි සියලු විහාරස්ථානවල ධර්ම දේශනා උපහාර පින්කම්, පිණ්ඩපාත පින්කම්, ආගමික වැඩසටහන් හා බෞද්ධ වාර්තා චිත්‍රපට දර්ශනය සිදු වේ.

කුසලතාවන්ගෙන් හෙබි භික්ෂු සමාජයක් නිර්මාණය කිරීම සඳහා සාමණේර භික්ෂූන් වහන්සේලා සඳහා පුහුණු වැඩසටහන් 30 ක් සහ සිල් මෑණියන් වහන්සේලා සඳහා පුහුණු වැඩසටහන් 10 ක් ක්‍රියාත්මක ය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැරැණි විහාරස්ථානයන්හි පුස්කොළ පොත් හා පැරැණි ග්‍රන්ථ සංරක්ෂණය ද සත්කෝරළයට අයත් පෞරාණික රජමහා විහාර පිළිබඳ තොරතුරු ඇතුළත් විහාර වංශය රචනා කිරීම ද වෙසෙස් කාර්යභාරයන් ය. භෞතික සංවර්ධන වැඩසටහන් යටතේ බිංගිරිය දේවගිරි රජමහා විහාරයෙහි ටැම්පිට විහාරය සංරක්ෂණය, කෞතුකාගාරයක්, අභිනව ධර්ම ශාලාවක්, අභ්‍යන්තර හා බාහිර පිවිසුම් මාර්ග ඉදිකිරීම ද විහාරාංග අලුත්වැඩියා කිරිම හා වැසිකිළි කැසිකිළි පද්ධතියක් ඉදිකිරීම ද සිදු කෙරේ. බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථ අභයභූමි සංරක්ෂණය ද මෙම වැඩසටහන් මාලාවේ සුවිශේෂී වේ. එහි දී අක්කර 937 ක් වූ භූමිය ජෛව විවිධත්වයෙන් යුතු අභයභූමියක් ලෙස සංවර්ධනය කෙරෙනු ඇත. මීට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඌණ සංවර්ධිත විහාරස්ථාන 250 ක් හා දහම් පාසල් 300 ක් සංවර්ධනය කෙරේ. සාමණේර භික්ෂූන් වහන්සේලාගේ අඩු ආදායම් ලාභී, නිවාස අහිමි මවුපියන් සඳහා නිවාස 05 ක් ඉදිකිරීම ද වෙසෙස් පුණ්‍ය කටයුත්තක් ලෙස සිදුවේ.

සමාජ සංවර්ධන වැඩසටහන් යටතේ බෞද්ධ දර්ශනය පදනම් කර ගත් පරිසර හිතකාමී බෞද්ධයෙකු බිහි කිරීමේ අරමුණින් පාසල්, දහම් පාසල් දරුවන් හා ගුරුභවතුන් සඳහා පාරිසරික හා රුක් රෝපණ වැඩසටහන් 30 ක් පැවැත්වෙනු ඇත.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා බුදුදහම තේමා කරගනිමින් දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි දේශනා හා වැඩමුළු 61 ක් පැවැත්වේ. මීට අමතරව බුදුදහමින් පෝෂිත බෞද්ධ සාහිත්‍ය හා කලාව යහපත් වෘත්තීය ජීවිතයක් සඳහා බුදුදහම, සමාජ සංවර්ධනය, ආර්ථිකය හා බුදුදහම, දහම් පාසල් දරුවන් 500 ක් සඳහා ශිෂ්‍යාධාර ලබාදීම, අඩු ආදායම්ලාභී බෞද්ධ පවුල් නගා සිටුවීම, මතින් තොර සාරධර්ම සපිරි බෞද්ධ නායකයින් බිහි කිරිම සඳහා කල්‍යාණ මිත්‍ර සංසද පිහිටුවීම, ජංගම සේවා වැඩසටහන්, දහම් පාසල් ගුරු පුහුණු, මව්පිය දූ දරු සබඳතා ශක්තිමත් කිරීම සඳහා සෙනෙහස වැඩසටහන, සාරධර්ම පෙරහර, බෞද්ධ සමිති ශක්තිමත් කිරීම ආදී තවත් සුවිශේෂී වැඩසටහන් ක්‍රියාත්මක ය.

එමෙන් ම ප්‍රඥාවන්ත, ශ්‍රද්ධාවන්ත පිරිසක් ලෙස වෙසක් සතිය සැමරීම සඳහා බොදු ජනතාව පෙළ ගැස්වීමේ අරමුණින් මෙවර වෙසක් සතියේ වැඩසටහන් ලබන 26 දා සිට මැයි මස 02 දින දක්වා සංවිධානය කර ඇත. රාජ්‍ය වෙසක් උත්සව පුණ්‍ය මහෝත්සවය අපේ‍්‍රල් 28 දින බිංගිරිය දේවගිරි රජමහා විහාරස්ථානයේ දී අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලාගේ වැඩමවීමෙන්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, මැති ඇමැතිවරු, ප්‍රභූවරු ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත ය. අප්‍රේල් මස 29 වන වෙසක් පුන් පොහොය දින සීල සමාදාන වැඩසටහන සඳහා සැදැහැවතුන් 5000ක් දෙනා සිල්සමාදන් කරවීමට ද කටයුතු යොදා ඇත. වෙසක් සතිය තුළ දිවා කාලයේ දී පාසල් ළමයින් හා වැඩිහිටියන් සඳහා වෙසක් දින තේමාවත් මුල්කරගත් අධ්‍යාපනික වැඩසටහන්, හෙළ බොදු කලා අසිරිය, වෙසක් කලාපය, බොදු ගී, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය, බෞද්ධ නාට්‍යය, චිත්‍ර ප්‍රදර්ශනය හා ඇගයීම් ආදී විශේෂාංග රැසක් ද ක්‍රියාත්මක වේ.

 

  බක් අමාවක පෝය


 බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 15 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]