UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිත් දේශනාව 09: සංයම වූ සිත සුව ගෙන දෙයි

පිරිත් දේශනාව 09:

සංයම වූ සිත සුව ගෙන දෙයි

පච්චවෙක්ඛණා

අතීත සමාජයේ මෙන් ම වර්තමාන සමාජයේ ද බොහෝ දෙනෙක් ආස්‍රවයන් ක්ෂය කිරීම සඳහා විවිධ දුෂ්කර වෘත සමාදන් වී ඇත. අජ වෘත, ගෝ වෘත, සුනඛ වෘත වැනි දේ සමාදන්ව කයට පීඩා ලබාදීම මගින් විමුක්තිය ලැබිය හැකි යැයි කල්පනා කර තිබේ. බුදුදහම මේ මතය සම්ූර්ණයෙන් ම බැහැර කරයි. කයට දුක් දීම හේතුකොටගෙන තාවකාලිකව හෝ දීර්ඝ කාලීනව හෝ විමුක්තියක් ලද නොහැකිබව බෞද්ධ අදහසයි.

සමස්ත මානව වර්ගයාගේ ම මූලික අවශ්‍යතාවය වන්නේ ආහාර , නිවාස, ඉඳුම් හිටුම් හා සෞඛ්‍ය පහසුකම්. බුදුදහම මෙම කරුණ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය යන නාමයන්ගෙන් හඳුන්වා දී තිබේ.

මිනිසා අනුන් පීඩාවට පත් කරමින් සාරධර්ම, ගුණ ධර්ම නොතකමින් උත්සාහ ගන්නේ ධනය හා සම්පත් උපයා ගැනීමට ය. ධනය හා සම්පත් උපයා ගෙන මිනිසා සිදු කරන්නේ තම මුලික අවශ්‍යතාවයන් සපුරා ගැනීමයි.

මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ දී, ඒවා පරිහරණය කිරීමේ දි අරමුණු මෙනෙහි කරන විට වැරැදි සමාජ සම්මතයන්ට පටහැනි ලෙස අදැහැමි ලෙස ජීවත් වීම කිසිසේත් ම සුදුසු නොවන බව වටහා ගැනීම අපහසු නොවේ.

බුදුරදුන් පෙන්වා දෙන්නේ භික්ෂුව චීවර පරිහරණය කරන විට චීවර පරිහරණය කරන්නේ කුමක් සඳහා ද යන අවබෝධය ඇති කරගත යුතු බවයි. ඒ අනුව හැම මොහොතක ම නුවණින් ප්‍රත්‍යවේක්ෂා කොට එහි ප්‍රයෝජන පමණක් සලකා බැලිය යුතුªය. සීත නසනු පිණිස, උෂ්ණ නසනු පිණිස, මැසි මදුරු ආදීන්ගෙන් වන පීඩාවන් වළක්වනු පිණිස, සුළඟ, අව්ව, සර්පාදීන්ගෙන් වන ස්පර්ශයන්වලින් වැළකීම පිණිස’ ලජ්ජා ස්ථාන වසා ගැනීම පිණිස සිවුරු පරිහරණය කරන්නේ යැයි මෙනෙහි කරන ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. භික්ෂූන් වහන්සේ උදෙසා පෙන්වා දෙන ලද්දක් වුව ද ගිහියාට ද ඉතා වැදගත් මග පෙන්වීමකි. ඇඳුම්,ආභරණ අඳින පළඳින හැම මොහොතක ම ඒ පිළිබඳ ව නිවැරැදි ව ප්‍රත්‍යවේක්ෂණය කරන විට ඇඳුම්, කනකර ආභරණ, විසිතුරු ආයිත්තම් පිළිබඳව ඇතිවන ආසාව, කැමැත්ත, ගිජුබව අවම කර ගත හැකි ය. සැහැල්ලුවෙන් ජීවත් විය හැකි ය.

පිණ්ඩපාත යන්නෙන් අදහස් කරන්නේ ආහාර පානයි. භික්ෂුව කායික හා මානසික සමබරතාවය ආරක්ෂා කර ගැනීමට දානය හා කැපසරු පාන වර්ග වළඳයි. ඒවා වළඳන්නේ කුමක් සඳහා දැයි නුවණින් පරික්ෂා කරන්නේ නම්, කුඩා දරුවන් සේ ක්‍රීඩා කිරීම සඳහා බලය, මදය, පුරුෂමද, වැඩි දියුණුූ කරනු සඳහා සිරුරෙහි පැහැය වැඩිවීම පිණිස මම මෙම ආහාරපාන නො වළඳමි. ජීවිතයේ පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩගිනි වේදනා නැසීම පිණිස, බඹසර වසනු පිණිස මෙම ආහාරපාන වළඳමි. මෙසේ වැළඳීමෙන් පැරැණි වේදනා නසන්නෙමි. අලුත් වේදනා නූපදවන්නෙමි. නුසුදුසු සෙවීම් දුරු කිරීමෙන් දැහැමින් උපයාගත් බැවින් නිවැරැදි බවින් ද පමණ දැන වැළඳීමෙන් ද කාය බල ලබා පහසුවෙන් වාසය කිරීමට හැකියැයි සලකා මේ අහර වළඳමි. එවිට භික්ෂුවට ආහාර පිළිබඳ ව රස තෘෂ්ණාව ඇති නොවේ. ලැබෙන ඕනෑම භෝජනයකින් තම දිවි පැවැත්ම පවත්වා ගත හැකි ය.

ආහාර පාන ගැනීමේ අරමුණ මෙනෙහි කරන විට ආහාරපාන කෙරෙහි ඇති ගිජු බව , දැඩි ආසා, රස තෘෂ්ණාව අවම කර ගත හැකි ය. එමෙන් ම ධර්මය තුළ උගන්වන ආහාර මත්තඤ්ඤුතතාව හෙවත් පමණ දැන ආහාර ගැනීම කළ හැකි ය. එවිට කයේ සැහැල්ලු බව මෙන් ම මනසේ සැහැල්ලු බව ද ඇතිකර ගත හැකිවාක් මෙන් ම ලද ආහාරපානවලින් ජීවිතය පවත්වාගෙන යෑමට ද අවස්ථාව සැලසේ.

පැවිදි පිරිස තම වාසස්ථාන බවට පත් කර ගන්නේ ආරණ්‍ය , රුක්ඛමූල, ශුන්‍යාගාර යනාදියයි. ගිහි දායක කාරකාදීන් විසින් පුජා කරන ආරාම ආදියද තම වාසස්ථාන බවට පත් කර ගනී. මෙම සෑම ස්ථානයක දී ම පැවිද්දා වාසස්ථාන ප්‍රයෝජනයට ගන්නේ අරමුණු මෙනෙහි කරමිනි. එනම් සීත පීඩා නසනු පිණිස, උෂ්ණ පීඩා නසනු පිණිස, මැස්සන් මදුරුවන්ගෙන් වන පීඩා නැති කිරීමට, සුළඟ, අව්ව හා සර්පයන්ගෙන් වන දුක් පහස නසනු පිණිස, ඍතු උපද්‍රව, නසනු පිණිස, සිත එකඟ කර ගැනීමේ ඇලෙනු පිණිස සෙනසුන් ඇසුරු කරයි. මේ නිසා අධි සුඛෝපභෝගී ස්ථානවල වාසය කිරීමට අරමුණු පහළ නො වේ. සැහැල්ලු, සුන්දර, රුක් ගොමු, පර්වත ආදියෙහි වාසස්ථානයට සිත ඇලේ. ගිහියාට ද වාසස්ථානයක් වුවමනා කරන්නේ ජීවිතයට පැමිණෙන ගැහැටවලින් වැළකී සිටීමට බව මෙනෙහි කරන විට අධි සුඛෝපභෝගී, කාමභෝගී ස්ථානවල ඇලීමට සිත් පහළ කර නොගනී. තමාට ඇති ස්ථානයේ සැහැල්ලුවෙන් ජීවත් වේ. ඒ සඳහා වාසස්ථාන පරිහරණය කිරීමේ අරමුණු මෙනෙහි කළ යුතු ය.

බුදුරදුන්, භික්ෂුවට අනුමත කර ඇත්තේ දානය නො වළඳින අවේලාවන්හි දී කැප සරුප් පාන වර්ග වළඳන ලෙසයි. බෙහෙත් හේත් වැළඳීමේ දී තම ගිලන් බව ශාරිරිකව ඇතිවන දුක් වේදනා නසනු පිණිස ජීවිතය නීරෝගී ව පවත්වාගෙන යෑමේ උතුම් බව සලකා වැළඳිය යුතු ය. එවිට ශරීරය නීරෝගී ව පවත්වාගන්නා සේ ම වැඩි අපේක්ෂාවන්ගෙන් වෙන් ව ජීවත් විය හැකි ය. මෙම උපදේශය පැවිද්දාට මෙන්ම ගිහියාට ද අදාළ වන්නකි. බුදුරදුන් දේශනා කළ ප්‍රත්‍යවේක්ෂණය මගින් ගිහිපැවිදි දෙපාර්ශ්වයට ම තම මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ දි ඒවා ළඟා කර ගත යුත්තේ කවරාකාර ලෙසින් ද යන්න හඳුනා ගත හැකි ය.

පිරිත් සූත්‍ර ආරම්භයට පෙර මෙවැනි ප්‍රත්‍යවේක්ෂණයක් ඇතුළත් කිරීමෙන් දේශක පිරිස වන භික්ෂූන් වහන්සේලාට සිවුපසය පරිභෝජනය කිරීමේ දී තම සිතිවිලි කෙසේ පවත්වාගත යුතු ද යන්න පිළිබඳ ව මතක් කිරීමක් සිදු කරයි. එමගින් මනස සංයමයට බඳුන් වේ. ශ්‍රාවකයින් වන ගිහියන්ටද මෙතුළින් ජීවිතයේ අපේක්ෂාවන් කෙබඳු විය යුතු දැයි මග පෙන්වයි. එවිට ඔවුන් ද තමන්ට මූලික අවශ්‍යතා පිළිබඳව ඇති ගැටලු වෙත්නම් ඒවා සීමාකරගෙන ජීවත් වීමට අධිෂ්ඨාන කර ගනී. මෙමගින් දේශක පිරිසේ චිත්ත පාරිශුද්ධිය මෙන්ම ශ්‍රාවක පිරිසේ චිත්ත සංයමය ද ගොඩ නගා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

 

  බක් අමාවක පෝය


 බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 15 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]