UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුපිළිමයේ උපත - 99: බුදුරජාණන් වහන්සේගේ අකුධාතූන් වහන්සේ නිධන් කර සෑදූ අනුරාධපුරයේ ථූපාරාමය

බුදුපිළිමයේ උපත - 99:

බුදුරජාණන් වහන්සේගේ අකුධාතූන් වහන්සේ නිධන් කර සෑදූ අනුරාධපුරයේ ථූපාරාමය

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ 
හිටපු සහූකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග
 
පුරාවිද්‍යා 
Msc පර්යේෂණ

ඓතිහාසික මහින්දාගමනයට පසුව දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහය හා මිහිඳු මහරහතන් වහන්සේගේ උපදෙස් අනුව පුරාණ ලක්දිව ප්‍රථම ස්තූපය බැඳ වීය. මෙහි බුදුරජාණන් වහන්සේගේ අකුධාතුන් වහන්සේ නිධන් කර ඇත. පසු කාලයේ දී ථූපාරාමය නමින් හැඳින් වූ මෙම ස්තූපය ලාංකික බෞද්ධයන්ගේ ඉමහත් සම්භාවනීයත්වයට පත්ව තිබේ.

මෙය අද පවා අනුරාධපුරයේ ඇති ප්‍රධාන වශයෙන් වැඳුම් පිදුම් පවත්වනු ලබන පුදබිම්වලින් එකකි. වර්ෂ දෙදහසකටත් වඩා දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම ස්තූපය බොහෝ වාරවල දී ප්‍රතිසංස්කරණවලට භාජනය වී ඇත. එහෙයින් ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස් කාලයේ දී පැවති ආකෘතිය වර්තමාන ස්තූපයෙහි ආරක්ෂා වී නොමැත. අනෙක් ලාංකික ස්තූප දෙකක් පිළිබඳව (අප මීට ඉහත දී විස්තර කළෙමු) විස්තරවන පුරාවෘත්තයන්හි එම ස්තූප ථූපාරාමයටත් වඩා පැරැණි බව කියැවේ. මින් එකක් නම් මහවැලි නදිය කඳු අතරින් මතුවන ස්ථානයට නුදුරින් ගංතෙර පිහිටි දැනට අලුත් නුවර යන නමින් ද හඳුන්වන මහියංගණයේ දාගැබ වේ. මහා වංසයේ පුරාවෘත්තයන් අනුව එහි පළමුවෙන් ම ස්තූපය පිහිටු වන ලද්දේ සමන්තකූටය වාසභවනය කොටගත් සමන් දෙවිඳුන් විසිනි. බුදුබව ලබා අටමස් ගෙවූ තැන ශාස්තෘන් වහන්සේ ලක්දිවට වැඩම කළ පළමු ගමනේ දී එම දෙවිඳුන්හට දෙන ලද කේශ ධාතූන් තැන්පත් කිරීම පිණිස කරවන ලදී. අනෙක් දාගැබ නම් කේශධාතු නිධන් කර සාදන ලද ගිරිහඬු දාගැබය. (ඊඩඥ ඉබභනච ඪද ඛ්ඥරතධද ර්‍ථපධට. ඉඥදචපචබ ර්‍ථචපචදචමඪබචදච සිංහල පරිවර්තනය මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක පි. 4. 2009 සිව්වන මුද්‍රණය අධ්‍යාපන ප්‍රකාශන දෙපා.)

පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ලෙසින් මහින්දාගමනයෙන් පසුව සාදන ලද ප්‍රථම දාගැබ අනුරාධපුරයේ ථූපාරාමයයි. මේ පිළිබඳ මහාවංසයේ සහ සමන්ත පාසාදිකා යන පුරාණ ග්‍රන්ථවල සඳහන් වී ඇත. මහාවංසයේ 17 වැනි පරිච්ඡේදයේ ථූපාරාමයෙහි නිධන් කිරීම සඳහා සර්වඥධාතූන් වහන්සේ (අකුධාතූන් වහන්සේ) වැඩම කරවන ලද ආකාරය මෙසේ ය. “මහත් ප්‍රඥා ඇත්තා වූ ස්ථවිරයන් වහන්සේ (මිහිඳු මහරහතන් වහන්සේ) වසන ලද වස් ඇත්තේ පවරා ඉල්මස පුර පසළොස්වක්හි මහජනට (දේවානම්පියතිස්ස රජුට) නරේන්ද්‍රයාණෙනි! අපගේ ශාස්තෘන් වූ සම්බුද්ධයන් වහන්සේ අප විසින් බොහෝ කලකින් පූර්වයෙහි දක්නා ලද්දේ ය. අනාථවාසයෙන් විසුම්හ. අපට මෙහි පූජනීය වස්තුවක් නැත්තේ ය. යි මේ වචන වදාළ සේක. වහන්ස, සර්වඥයන් වහන්සේ පිරිනිවි සේකැයි මට වදාළහු නොවේද යි රජ තෙමේ කීයේ ය ‘ධාතූන් දුටු කල්හි සර්වඥයන් වහන්සේ දක්නා ලද්දේ නම් වෙයි. (ස්ථවිරයන් වහන්සේ) වදාළ සේක. මා විසින් සෑයක් කරවීමෙහි වූ නුඹ වහන්සේලාගේ අභිප්‍රාය දන්නා ලද්දේ ය. මම ථූපයක් කරවන්නෙමි. නුඹ වහන්සේලා ධාතූන් දැන වදාරන සේක්වා යි නරේන්ද්‍ර තෙම කීයේ ය. ස්ථවිරයන් වහන්සේ සුමන සාමණේරයන් හා මන්ත්‍රණය කරවයි. රජහට වදාළ සේක. ධාතූන් කොයින් ලබමුදැයි ඒ තෙරණුවන්ට කීයේ ය. නරේන්ද්‍රයාණෙනි. පුරය හා මාර්ගය සරසවා පෙහෙවස් ඇත්තේහි පිරිස් සහිතව මඟුලැතු නැගී සේසත දරමින් තූර්යයන් සහිතව සවස් වේලෙහි මහානාග වන නම් උයනට යව, නරේන්ද්‍රය ධාතූ ප්‍රභේදාවබෝධය කළා වූ සර්වඥයන් වහන්සේගේ ධාතූන් එතැන්හි දී ලබන්නෙහි යැයි ඒ සුමන නම් තෙරණුවෝ සතුටු සිත් ඇති නරනිඳුහට වදාළහ.

ඉක්බිත්තෙන් ස්ථවිරයන් වහන්සේ රජුගෙන් නික්මවා සෑගිරියට වැඩ යහපත් මනෝගති ඇත්තා වූ සුමන නම් තෙරණුවන්, යහපත් වූ සුමනය (මෙහි එවයි) කැඳවා තෝ උතුම් වූ පුෂ්පපුරයට ගොස් තාගේ මුත්තනු වූ මහරජහට මෙසේ අපේ වචනය කියව. මහරජාණෙනි. යුෂ්මතුන්ගේ යහලු වූ දෙවියන්ට පි‍්‍රය වූ (දෙවනපෑතිස් නම් වු) මහරජතෙමේ බුද්ධශාසනයෙහි ප්‍රසන්න වූයේ ථූපයක් කරවනු කැමැත්තේ ය. නුඹ සමීපයෙහි බොහෝ (සුගත) ශරීර ධාතු ඇත්තාහ. සර්වඥයන් වහන්සේගේ ධාතූන් ද ශාස්තෘන්වහන්සේ විසින් පරිභෝග කරන ලද්දා වූ පාත්‍රය ද දෙවයි කියා පාත්‍රය පුරා ඒ ධාතූන් ගෙන සක්දෙව් පුරවරයට ගොස් ඒ සක්දෙව් රජහට මෙසේ අපේ වචනය කියව. දේවේන්ද්‍රයාණෙනි, තුන් ලෝ වැස්සන්ගේ දක්ෂිණාවට සුදුසු වූ (සර්වඥයන් වහන්සේගේ) දකුණු දළදාව ද දකුණු අකුධාතුව ද යුෂ්මතුන් සමීපයෙහි ඇත්තා හ. ඒ දළදාව ම පුදව ශාස්තෘහුගේ අකුධාතුව දේවසුරේන්ද්‍රය ලක්දිව් වැස්සාගේ කටයුත්තෙහි ප්‍රපංච නොවේවයි (කියවයි වදාළ සේක) ඒ මහත් වූ සෘද්ධිමත් වූ හෙරණනුවෝ ‘වහන්ස එසේ යයි. කියා එකෙනෙහි ම ධර්මාශෝක මහරජුහු කරා වැඩි සේක. එහි ශාලවෘක්ෂමූලයෙහි තබන ලද කාර්තිකෝත්සවයෙන් පුදනු ලබන්නා වූ යහපත් වූ බෝධිය ද දුටු සේක. ස්ථවිරයන් වහන්සේගේ වචනය කියා රජුහු සමීපයෙන් ලද්දා වූ ධාතූන් පාත්‍රය පුරාගෙන හිමවතට පැමිණි සේක. ධාතු සහිත වූ උතුම් පාත්‍රය හිමවත තබා ශක්‍රදේවේන්ද්‍රයා කරා ගොස් ස්ථවිරයන් වහන්සේගේ වචනය කී සේක. “ශක්‍රදේවේන්ද්‍ර තෙම සිළුමිණි සෑයෙන් දකුණු අකු ධාතුව ගෙන තෙරණුවන්ට දුන්නේ ය. සුමන සාමණේරයන්තෙම ඒ අකුධාතුව හා ධාතු පාත්‍රය ද ගෙන එතැනින් සෑගිරියට අවුත් ස්ථිවරයන් වහන්සේට එය දුන් සේක. සවස් වේලෙහි රාජසේනාව විසින් පෙරටු කරන ලද්දා වූ නරේන්ද්‍රතෙම කියන ලද විධියෙන් මහානාග වන නම් උයනට ගියේ ය. ස්ථවිරයන් වහන්සේ ඒ පර්වතයෙහි ම සියලු ධාතූන් තැබූ සේක. එහෙයින් මිශ්‍රක පර්වතය චෛත්‍ය පර්වත නම් විය. ස්ථවිරයන් වහන්සේ ඒ ධාතු පාත්‍රය සෑගිරියෙහි තබා අකුධාතුව රැගෙන (සාමණේරයන් විසින්) ලකුණු කරන ලද ස්ථානය වූ (මහා නාගවනයට) වැඩි සේක. නරේන්ද්‍රතෙම ඉදින් මේ සර්වඥයන් වහන්සේගේ ධාතුවෙක් නම් මාගේ ඡත්‍රය (ධාතූන් වහන්සේ දෙසට) තෙමේම නැමේවා හස්ති තෙමේ දනින් සිටීවා. මේ ධාතු කරඬුව ධාතු සමග අවුත් මාගේ මස්තකයෙහි පිහිටාවා’යි සිතුයේ ය. සිතන ලද එය එසේම විය. මිහිපති තෙම අමෘතයෙන් අභිෂේක ලද්දෙක් මෙන් අතිශයින් සතුටු වූයේ ය. ඒ ධාතු කරඬුව හිසින් ගෙන ඇත් කඳ මත්තෙහි තැබුයේ ය. සතුටු වූ හස්තිතෙම කුංච නාද කෙළේ ය. පොළව කම්පිත විය. (මහාවංසය සිංහල පරිවර්තනය – පූජ්‍ය හික්කඩුවේ සුමංගල නා හිමි හා බටුවන්තුඩාවේ පඬිතුමා 17 වැනි පරිච්ඡේදය පි. 67 – 68 )

අනුරාධපුරයේ ස්තූපයන් අතුරෙහි ඉතා කුඩා එකක්වූ ථූපාරාමය එක් අතකින් ලංකාවේ අන් සියලු ම ස්තූපවලට වඩා වැදගත් ය. මේ රටේ ගොඩනගන ලද ඉතිහාසගත පළමු දාගැබ මෙයම හෙයිනි. වංසකතාවට අනුව (ඉහතින් සඳහන් අයුරු) ශක්‍රභවනෙහි සිළුමිණිසෑයේ තිබුණු සර්වඥයන් වහන්සේගේ දකුණු අකුධාතුව සුමන සාමණේරයන් වහන්සේ ලවා මෙහි ගෙන්වා ගන්නා ලදී. දැනට ථූපාරාමය ඇති පෙදෙස එකල කදම්බගසින් හා ආදාරි නම් කටුවැලින් ගහනව තිබුණු බවත් බිම්එළි පෙහෙලි කර අකුධාතූන් වහන්සේ ඇතුපිටින් බිමට වැඩමවන්නට උත්සාහ කළ නමුත් ඇතා ඊට ඉඩ නුදුන් හෙයින් ඇතාගේ උසට වියළි මැටි ගොඩකොට (අභය වැවෙන් ගත් මැටිවලින්) ධාතූන් වහන්සේ ඊ පිට වඩා හිඳ වූ බවත් ධාතු නිධන් කර දාගැබ බැන්ඳවීමට පෙර මහජනයා ඉදිරියෙහි අහසට පැන නැගුණු, අකුධාතූන් වහන්සේ මහ පෙළහර කළ බවත් සඳහන් වේ. එවකට තිබුණු එකම ථූපය නිසා මේ දාගැබ ථූප නමින් හැඳින්විණි. මෙම ථූපය හා සම්බන්ධ ආරාමය ථූපාරාමය වී දැන් ඒ දාගැබ හඳුන්වන්නේ ථූපාරාමය නමිනි. දේවානම්පියතිස්ස රාජ යුගයේ දී ථූපාරාමය කරවා ඇත්තේ වීගොඩක හැඩයට ය. දෙවැනි අග්බෝ රාජ යුගයේ දී මේ දාගැබ ගරා වැටී තිබී ප්‍රතිසංස්කරණය කරන ලදී. දාගැබ දැන් ඇති ආකාරයට ගණ්ඨාකාර හැඩය ඇති වූයේ 1962 කරන ලද සංරක්ෂණයේ දී ය. (අනුරාධපුර පැරැණි නගරය – ඩබ්ලිව්.බී. මාර්ක්ස් ප්‍රනාන්දුසහකාර කොමසාරිස් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පි. 18–19 (1964 )


පසුගිය සතියෙන්:  බුදුපිළිමයේ උපත - 98:  ඓතිහාසික මහියංගණ දාගැබ

 

  බක් අමාවක පෝය


 බක් අමාවක පෝය අප්‍රේල් 15 ඉරිදා පූර්ව භාග 08.37 ට ලබයි. 16 වන දා සඳුදා පූර්ව භාග 07.27 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අප්‍රේල් 15 වනදා ඉරිදා ය.
 

මීළඟ පෝය අප්‍රේල් 22 වන දා ඉරිදා ය


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29

Second Quarterඅව අටවක

මැයි 08


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]