UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දේවතා එළි

දේවතා එළි

ලෝකයේ විවිධ ස්ථානයන්හි අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වන බව අපි අසා ඇත්තෙමු. ඉන් පූජනීය ස්ථාන වැදගත් තැනක් උසුලයි. අනුරාධපුරය, සිතුල්පව්ව, කතරගම, මහනුවර වැනි අතිශයින් පූජනීයත්වයට පත් ස්ථානයන්හි සිදුවී ඇති මෙවන් සිදුවීම් අප්‍රමාණ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

මෙවැනි සිදුවීම්වල ඇති විශේෂත්වය වන්නේ ඇතැම් පුද්ගලයන් ඒවා දැකීමත්, නොදැකීමත්, ඇතැම් විටක සියල්ලෝ ම දැකීමත් ය.

ශ්‍රී පාද අඩවිය පිළිබඳව ඈත අතීතයේ සිට පැවත එන කතා පුවත් බොහොමයක් ම සමන් දෙවියන්ගේ අදෘශ්‍යමාන බලය කියාපාන ඒවාය. සිරිපා වන්දනා ගමන අතිමහත් දුෂ්කරව, ත්‍රාසජනකව පැවති අවධියේ පැවති ‘හාස්කම්’ අදට වඩා අතිශයින් වැඩි බව ද පැවසේ.

අවාරෙට සිරිපා වන්දනා කිරීම සාමාන්‍ය සිරිතක් නොවුණ ද එදා විවිධ පළාත්වලින් බැතිමත් හු ශ්‍රී පාද පුද බිමට පැමිණ අටසිල් සමාදන්වීම, පිරිත් කීම, භාවනා කිරීම, පුද පුජා සත්කාරවල නිරතවීම සිදුකර ඇත. දින හතක් පුරා එසේ ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීමට ඔවුහු පුරුදු වී සිටියහ. ඔවුන් පවසන පරිදි භාවනාව සඳහා හිමිදිරි පාන්දරම මළුවට යන විට දේවතා එළි මුළු පරිසරය ම ඒකාලෝක කරයි. හරිම ලස්සනය. සමහර දිනවල මධ්‍යම රාත්‍රියෙහි මළුවෙන් හේවිසි හඬ ඇසේ. හිමිදිරි පාන්දර ඝණ්ඨාර නාද කරන විට මළුවෙන් බුදුරැස් විහිදෙනවා සේ දර්ශනය වේ. ඒ සමඟම දෙපස කඳු වැටිවලින් පහතට බැහැගෙන එන උපාසක, උපාසිකාවන් සමහර අයගේ දෙනෙතට පෙනෙනවාලු. මළුවේ සිට නගන සාධුකාර හඬ මුළු තුන් ලෝකයටම ඇසෙනවා ඇතැයි කියා මතයක් ද පවතී. ඒ වගේ ම ඒ ඇත්තෝ රැගෙන යන මල් නැවත එන දවස දක්වා ම පරනොවී පවතී. කට වරද්දගෙන පාර වැරදුණු අය දින ගණන් කැලෑවේ සිටිය ද අවසානයේ පහන් එළියක් ඒ අයට මඟ පෙන්වන බව ද පැවසේ. ඒ වගේ ම සුදු අශ්වයෙක් පිට නැඟුණු සුදෝ සුදු මිනිසෙක් කෙම්මුර දිනවල මේ අඩවිය තුළ ගමන් කරන්නේ ය. යන මතය ද වේ.

පිළිවෙත් පුරා සිරිපා තරණය කරන ඕනෑම රෝගී පුද්ගලයකුට වුව ද සිරිපා තරණය කළ හැකි බව ද විශ්වාසයකි. සමන් දෙවියන් නිරතුරුව වැඩ සිටින මේ පින්බිම භක්තියෙන් හා ගෞරවයෙන් යුතුව වන්දනා කරන්නට යන්නේ නම් කිසිවෙකුටත් හිංසාවක් පීඩාවක් නොවෙන බව ද විශ්වාසයකි.

සෑම වසරක ම වෙසක් පෝයෙන් පසු ශ්‍රී පාද පද්මයට මහා වැසි වසින්නට පටන් ගනී. මේ මහ වැස්ස මුළු සමනල කන්දටම වසියි. එසේ ම මුළු සිරිපා අඩවිය ම සෝදා හරියි. ශ්‍රී පාද කන්ද වැසි වස්සවා පිරිසුදු කිරීම දේව කාර්යයක් ලෙස සැලකේ. මේ වැස්ස තෙමසක් වසින බවක් ද පැවසේ.

සමන් දෙවියන්ගේ වාහනය සුදු ඇතෙකි. එම සුදු ඇතා සිරිපා වන්දනා සමය නොපවතින අකාලයේ මුනි සිරිපා වන්දනා කරන බවට තවත් ජනප්‍රවාදයකි. මේ සුදු ඇතා ‘අලි ඇතා’ යනුවෙන් ද හඳුන්වයි. මහා වැස්සෙන් සමනල කන්ද සේ දී පිරිසුදු වූ පසු සමන් දෙවියන්ගේ සුදු ඇතා ඇහැළ කණුව අසළට පැමිණ මහා ශබ්දයකින් කුංචනා ද පවත්වා නමස්කාර කර ශ්‍රී පාද පද්මය වඳියි. දෙවියන් ශ්‍රී පාද පද්මය වඳින්නට පැමිණෙන්නේ ඉන් පසුව ය.

නැවත මිනිසුන් වෙනුවෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන තෙක් සිරිපා මළුව විවිධ වර්ණයෙන් යුක්ත ආලෝකයෙන් රාත්‍රියට බැබළෙයි. දෙවිවරු ශ්‍රී පාද වන්දනාවට එන්නේ විවිධ ආලෝක ධාරාවන්ගේ යුතුව බව ද පැවසේ. තෙමසක් පුරා දෙවියන් ශ්‍රී පාද පද්මය වඳින බවට ද විශ්වාස කෙරේ.

 

  බක් මස අව අටවක පෝය


 බක් මස අව අටවක පෝය අප්‍රේල් 07 වන දා සෙනසුරාදා අපර භාග 11.32 ට ලබයි.
9 වන දා සඳුදා පූර්ව භාග 02.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 08 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 15 වන දා ඉරිදා

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]