UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පවෙහි සැහැසි බව පෙන්වන පේත කථා - 12:  අනාථ දරුවා සම්බුදු කරුණාවෙන් සනාථ වූ වගයි

අනාථ දරුවා සම්බුදු කරුණාවෙන් සනාථ වූ වගයි

" අසරණ දරුවන්ට පිහිට වන සත් පුරුෂයන් ද සිටින බව දරුවා වෙනුවෙන් ඉදිරිපත් වූ ගෘහපතියාගේ චරිතයෙන් පැහැදිලි වේ. එබැවින් දරුවන් කෙරෙහි දයාව දක්වා ඔවුන් පවින් වැළක් වීමට කටයුතු කිරීම දෙමාපියන්ගේ මෙන් ම ගුරුවරුන්ගේ ද යුතුමකි."

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයෙහි අනාථ දරුවෙකු අරභයා මෙම කථාව දේශනා කළහ.

සැවැත්නුවර වැසි බොහෝ උවැසි උවැසියෝ නගර මධ්‍යයෙහි අලංකාර මණ්ඩපයක් කරවා බුදුරදුන් ප්‍රධාන සංඝරත්නය වැඩමවා සඟසතු මහා දානයක් පිරිනැමූහ. එහි සිටි එක්තරා මසුරු පුද්ගලයෙක් එම උතුම් දානමය පුණ්‍ය කර්මය දැක එය හෙලා දකිමින් “මේ දානය මුඩු මහණුන්ට දීමට වඩා කසල ගොඩෙහි දැමුයේ නම් අගනේ ය” යනුවෙන් ප්‍රකාශ කළේ ය. ඒ ඇසූ සැදැහවත් උවැසි උවැසියෝ මහත් කළකිරීමට පත්වූහ. එහෙත් ඔහුගේ එම වචනයට කිසිවෙකුත් අයහපත් ආකාරයෙන් ප්‍රතිචාර නොදැක් වූ අතර එම පාපකාරී පුද්ගලයා කෙරෙහි සානුකම්පිත වූහ.

ඉක්බිති එම පුරුෂයාගේ මෑණියන්ට ඔහු කළ පාප කර්මය දන්වා ඔහු කැටුවගොස් බුදුරදුන් ප්‍රමුඛ සංඝයා ක්ෂමාකරවාගන්නා මෙන් ඇයැද සිටියෝ ය. එම පුරුෂයාගේ මෑණියෝ ද තම පුතු කළ අයහපත් ක්‍රියාවේ බරපතලකම වටහාගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටන දෙව්රම් වෙහෙරට ගොස් තුනුරුවන් කමා කරවාගෙන සත් දිනක් මුළුල්ලේ බුද්ධප්‍රමුඛ මහා සංඝයාට කැඳ දානයක් පූජා කළා ය. ඇයගේ පුත්‍රයා නොබෝ කලකින්ම කළුරිය කොට එම නගරයෙහි එක්තරා වෛශ්‍යාවකගේ කුස උපන්නේ ය. ඇය දරුවා උපන් විගසම පිරිමි දරුවෙකු යැයි හඳුනාගෙන සොහොනෙහි දමා පලා ගියා ය. පෙර ආත්මයෙහි බුදුන් ප්‍රමුඛ සංඝයාට කැඳ දානයක් පිදූ හෙයින් දරුවාගේ ජීවිතයට අනතුරක් නොවී ය.

අලුයම් කාලයෙහි මහාකරුණා සමාපත්තියෙන් ලොව බලා වදාරණ බුදුරජාණන් වහන්සේගේ කරුණා නෙතට මෙම ළදරුවා හසු විය. හිරු උදාවන වේලාවෙහි භාග්‍යවතුන් වහන්සේ සොහොනට වැඩම කළ සේක. බුදුරදුන් හිමිදිරි උදෑසන සොහොනට වඩින්නේ යම්කිසි හේතුවක් නිසා යැයි වටහාගත් මහජනතාව ද උන්වහන්සේ අනුව එහි ගමන් කළහ. මහා ජනයා සොහොනට රැස් වූ කල්හි භාග්‍යවතුන් වහන්සේ දරුවා දෙස බලා “මේ දරුවා ළාමක අයෙකුයැයි නොසිතන්න. යම් කිසි හේතුවක් නිසා දැන් සොහොන් බිම හැර දමන ලදුව අසරණව සිටියි. එහෙත් මතු අනාගතයේ මහත් ධනසම්පතකට හිමිකම් කියන බලවත් කෙනෙකු වන්නේ ය”යනුවෙන් වදාළහ.

රැස්ව සිටි පිරිස පුදුමයට පත්ව භාග්‍යවතුන් වහන්සේගෙන් එයට හේතු විමසූහ. භාග්‍යවතුන් වහන්සේ ළදරුවාගේ අතීත ජිවිතය පිළිබඳ පුවත ගෙනහැර දැක්වූහ. බුදුරදුන්ගේ දේශනාවට සවන් දුන් එතැනට පැමිණි එක් ගෘහපතියෙක් එම ළදරුවා තමාගේ යැයි භාරගත්තේ ය. භාග්‍යවතුන් වහන්සේගේ මැදිහත් වීම නිසා ළදරුවාට ආරක්ෂාව සැළසුන අතර රැස් වූ මහජනයා සතුටින් විසිර ගියහ. දරුවා බාරගත් ගෘහපතියා ඔහු මැනවින් පෝෂණය කළේ ය. කෙමෙන් වැඩුණු දරුවා වැඩිවියට පත් වූ කල්හී ගෘහපතියා මිය ගියේ ය. ගෘහපතියා විසින් ආරක්ෂාකරන ලද සියලු ධන සම්පත් තරුණයාට උරුම විය.

ධනසම්පතින් ආඪ්‍යව මහ ධනවතෙක් බවට පත් වූ තරුණයා සාර්ථක දිවි පෙවෙතක් ගතකරමින් දානාදි කුසල ධර්මයන් හි නිරත විය. දැහැමි දිවිපෙවතක් ගත කළ ධනපතියාගේ කීර්තිය හා යසස නගරය පුරා පැතිර ගියේ ය. එක් දිනක් දම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා අතර මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති විය. එකෙනෙහි ම එහි වැඩම කළ භාග්‍යවතුන් වහන්සේ මෙලොව දී පමණක් නොව මරණින් පසුව ද මේ තැනැත්තා සක් දෙව්රජුගේ පුත්‍රයාව ඉපිද මහත් වූ දිවසම්පතින් ආඪ්‍යව වාසය කරන්නේය යනුවෙන් ඔහුගේ අනාගතය පිළිබඳව ද කරුණු ගෙනහැර දැක්වූ සේක.පෙර කරන ලද අකුශල කර්මය නිසා යම් යම් බාධක ඇති වුවද ඇතැම් කෙනෙකුගේ උපධි සම්පත්තිය විනාශ නොවන බව මෙම කථාවෙන් පැහැදිලි වේ.

පේතවත්‍ථුපාලියේ ඇතුළත් වුවද සෙසු පේත කථාවලට වඩා මෙම කථාව තරමක් වෙනස් ය. පරිත්‍යාගය ලොව උස් හඩින් සම්මත සාධු ගුණයකි. කවරෙකු උදෙසා වුව යමක් පරිත්‍යාග කිරීම උතුම් පිළිවෙතක් වේ. එහෙත් ගුණවතුන්ට හා සිල්වතුන්ට යමක් පරිත්‍යාග කිරීම උසස් ආනිසංස ලැබෙන ක්‍රියාවකි. මෙම කථාවෙහි එන උවැසි උවසුවෝ සාමූහිකව එක්වෙමින් අගනා දානමය පින්කමක් සිදුකළහ. එහෙත් එහි සිටි මසුරු තැනැත්තා එම පරිත්‍යාගය හා දානය පහත්කොට සැළකුවේ ය.

එය ඔහු කළ බරපතල අකුශල කර්මයක් විය. දානයට හා පරිත්‍යාගයට ගරහන පුද්ගලයන් කොතෙකුත් සිටී. එක් අතකින් ඔවුන් කිසිවෙක් කිසිවෙකුට කිසිදු දෙයක් නොදෙමින් අන් අයගේ දානයට හා පරිත්‍යාගයට ගරහති. ඉතිවුත්තක පාලියේ එන දාන සංවිභාග සූත්‍රයේ දැක්වෙන පරිදි බුදුරජාණන් වහන්සේ එක්වරෙක දේශනා කළේ උන්වහන්සේ තරම් දානයේ හා පරිත්‍යාගයේ වටිනාකම සෙසු අයත් දන්නේ නම් කිසිවක් නොදී අනුභව නොකරන බවයි. අඩුම තරමින් තම ආහාර බඳුනේ ඇති අවසන් බත්පිඬ වුවද බෙදා ගැනීමට කෙනෙකු සිටී නම් එය බෙදා නොදී ආහාරයට නොගන්නා බවයි.

දීමෙහි, බෙදා ගැනීමෙහි ආනිසංස දන්නා තැනැත්තා නිතර පරිත්‍යාගයට ලැදිව කටයුතු කරන අතර අන්‍යයන්ගේ පරිත්‍යාගය ද ඇගයුමට ලක්කරයි. මෙම කථාවෙහි එන දනට ගැරහූ පුද්ගලයා තම මවගේ පෙළෙඹවීම නිසා තමා කළ වරදට සමාව ගත් හෙයින් ඔහුගේ අකුශල කර්මයේ විපාක බල රහිත විය. මවද යහපත් තැනැත්තියක් බව පැහැදිලි ය. තම දරුවා කළ වරද සඟවා තබා නොගෙන එයට නිසි පිළියම් යෙදුවා ය. ඇතැම් දෙමාපියෝ තම දරුවන්ගේ වැරදි සඟවාගෙන කටයුතු කිරීම හේතුවෙන් බොහෝ අර්බුද ඇතිකර ගනිති. කළ වරදට සමාව ගැනීම උතුම් ගුණයකි. වැරදි සිදුවීම සාමාන්‍ය ස්වභාවයයි. එහෙත් තමා දැනුවත්ව නොදැනුවත්ව සිදුකළ වරදක් වෙතොත් එයට නිසි පිළියම් යෙදීමෙන් එයින් වන හානිය අවමකරගත හැකිවේ.

කෙනෙකුගේ අනාගතය පිළිබඳ පුරෝකථන ඉදිරිපත් කළ නොහැකි ය. යමක් අනුමාන වශයෙන් ප්‍රකාශ කළ හැකිවුවද ඒ පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි ය. එබැවින් කොතෙක් වැරදි අඩුපාඩු නැතිබැරිකම් තිබුණත් කෙනෙකු පහත් කොට නොසැළකිය යුතුයි. ඇතැම් විට එසේ පහත් කොට සැළකූ තැනැත්තාගේ පිහිටාධාරය අවශ්‍යවන අවස්ථා උදාවිය හැකි ය. සොහොනෙහි අතහැර දැමූ ළදරුවාගේ අනාගත භාග්‍ය දුටුවේ බුදුරජාණන් වහන්සේ පමණි. එනිසා උන්වහන්සේගේ කාරුණික අවධානය යොමුවිය.

අවසානයේ දී අනාථ දරුවා මහා ධනපතියෙක් බවට පත්විය. කුඩා දරුවන් සම්බන්ධයෙන් අප වඩාත් සැළකිලිමත් විය යුතුයි. ඇතැම්විට අප විසින් නොසළකා හරින ලද ගැරහුමට ලක්කරන ලද දරුවා අනාගතයේ බලවත් උසස් අයෙකු බවට පත්වීමට ඉඩ තිබේ. එබැවින් කිසිම හේතුවක් නිසාවත් අන් අය පහත් කොට සැළකීමත්, තමන් හුවා දැක්වීමත් නොකළ යුතු ය. මෙය මෙත්ත සූත්‍රයේ එන “නාති මඤ්ඤෙථ කත්‍ථචිනං කඤ්චි” යන දේශනා පාඨයෙන් ද අවධාරණය කර ඇත. දරුවන්ට ආදරය හා කරුණාව දැක්විය යුතුය යන්න මෙම කථාවෙන් ඉදිරිපත්කරන තවත් ආදර්ශයකි. සොහොනෙහි අතහැර දමා ගිය කුඩා බිළිඳාගේ ජීවිත සුරක්‍ෂිතතාව සඳහා බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වූහ.

වර්තමානයේ ද බිළිඳු දරුවන් අතහැර දමා යන අවස්ථා දක්නට ලැබේ. යම් හේතුවක් නිසා තමාට දරුවෙකු රැකබලා ගත නොහැකි නම් කළයුතුවන්නේ එම දරුවාගේ ආරක්ෂාව හා පෝෂණය සඳහා පිහිටුවා ඇති නීත්‍යානුකූල ආයතනයකට ඔහු යොමු කිරීමයි. අනෙක් අතට දරුවෙකු බිහිවූුණ පසුව විනාශ කිරීම වෙනුවට දරුවෙකු පිළිසිඳ ගැනීමට තිබෙන හේතු සාධක වැළක්විය හැකි ය. එසේ නොකර මෙලොවට බිහිවුණ අහිංසක කිරිකැටියන් විනාශ කිරීම දරුණු ගනයේ පාප කර්මයකි. මෙම කථාවෙහි එන මව තම දරුවා කළ වරදට බුදුරදුන්ගෙන් සමාව ලබාගෙන ඔහු කළ අකුශල කර්මයේ විපාක අවම කරගත්තේ ය.

තම දරුවා පිළිබඳ අසල්වැසියන් ඉදිරිපත් කළ චෝදනා නුවණින් විමසා බලා අවශ්‍ය පිළියම් යෙදුවා ය. එහෙත් අභිසාරිකාව එයට හාත්පසින්ම වෙනස් චරිතයකි. තමාගේ ම වරද නිසා තම කුස පිළිසිඳගත් දරුවා සොහොන් බිමක අතහැර දමා ගියා ය. එවැනි අසරණ දරුවන්ට පිහිට වන සත් පුරුෂයන් ද සිටින බව දරුවා වෙනුවෙන් ඉදිරිපත් වූ ගෘහපතියාගේ චරිතයෙන් පැහැදිලි වේ. එබැවින් දරුවන් කෙරෙහි දයාව දක්වා ඔවුන් පවින් වැළක් වීමට කටයුතු කිරීම දෙමාපියන්ගේ මෙන් ම ගුරුවරුන්ගේ ද යුතුමකි.

 

  බක් මස අව අටවක පෝය


 බක් මස අව අටවක පෝය අප්‍රේල් 07 වන දා සෙනසුරාදා අපර භාග 11.32 ට ලබයි.
9 වන දා සඳුදා පූර්ව භාග 02.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 08 වන දා ඉරිදා ය.

 

මීළඟ පෝය අප්‍රේල් 15 වන දා ඉරිදා

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 08

Full Moonඅමාවක

අප්‍රේල් 15

First Quarterපුර අටවක

අප්‍රේල් 22

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 29


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]